ස්ප්‍රින්ග් රෝල්ස් වල උපත චීනෙ කියල තමා කියන්නෙ. වසන්ත සමයේ නැවුම් අස්වනු වලින් ගන්න අලුත්ම එළවලු තමාලු ස්ප්‍රින්ග් රෝල් ෆිලින් එක හදන්න එයාලා යොදාගන්නෙ. මේකට ගන්න ෆිල්න්ග් එකේ හැටියට සහ පිස ගන්න පාවිච්චි කරන ක්රමයේ හැටියට එක එක නම් පාවිච්චි වෙනව. ඩීප් ෆ්‍රයිඩ් වගේම ස්ටීම් කරල හදන ක්‍රමේකුත් තියෙනව. ඉතින් අද අපි මේ අරන් ආවෙ චීනෙ වසන්තයේදි හදන රසම රස ස්ප්‍රින්ග් රෝල් රෙසිපි ටිකක්. මුලින්ම ස්ප්‍රින්ග් රෝල් ශීට් එක හදාගමු. නැත්නම් සුපිරි වෙළඳ සැල් වල මේ ශීට්ස් පැකට් ගන්නත් තියෙනව.
1. ස්ප්‍රින්ග් ශීට්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන් පිටි කෝප්ප 1 1/2ක්
- කෝන්ෆ්ලා කෝප්ප 1/2
- ලුණු තේ හැඳි 2
- දෙහි යුෂ තේ හැඳි 1
- එළවළු තෙල් ටිකක්
- වතුර
- පාන් පිටි, කොන්ෆ්ලා, ලුණු හා දෙහි යුෂ දමා ජලය ටිකෙන් ටික දමා කළවම් කර සෝෆ්ට් ඩෝ එකක හදාගන්න. එය විනාඩි 15 ක් පමණ අනාගන්න.
- ඊළඟට ඒ මිශ්‍රණයෙන් කුඩා බෝල හදාගන්න. දැන් ඒ බෝල උඩින් තෙල් ටිකක් ඉස ගෙන විනාඩි 20ක් පමණ වසා තියන්න.
- පිටි ඉහගත්ත ලෑල්ලක මේ කුඩා පිටිබෝල එක බැගින් තුනී කර ගන්න. මේ විදිහට පිටි බෝල 4 ක් තුනී කරගෙන, තුනී කරගත් රොටි වලට එළවළු තෙල් ගාගෙන පාන් පිටි ටිකක් උඩින් ඉහගන්න. දැන් ඒ රොටි 4 එක උඩ එක තියා ගෙන නැවත එය හොඳට තුනී කරන්න.
- ඊට පස්සේ හොඳට තුනී කරගත් රොටිය මඳ ගින්දරේ විනාඩි 2ක් පමණ තැටියක දෙපැත්තම රත් කරගන්න. දුඹුරු ලප එනකම් පුච්චගන්න එපා. මේ රොටිය හතරැස් හැඩයට කපාගෙන ලේයර්ස් වෙන් කරගන්න.
- ඉතිරි පිටි බෝලත් මේ විදියටම හදාගන්න. එක ලේයර් එකක් එක ස්ප්‍රින්ග් රෝල් ශීට් එකක් විදියට ගන්න පුළුවන්.
2. වෙජිටබල් ස්ප්‍රින්ග් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ප්‍රින්ග් රෝල් ශීට් කීපයක්
- තලාගත් ඉඟුරු තේ හැඳි 1
- තලාගත් සුදුළූණු බික් 2
- චොප් කරගත් අමු මිරිස් කරල් 2
- චොප් කරගත් ළූණු ගෙඩි 1
- කුරුඳු පොතු කෑල්ලක්
- ලුණු
- ගම්මිරිස් ස්වල්පයක්
- තම්බා ගත් අල ගෙඩි 3
- කැරට් අල 1
- කපාගත් ලීක්ස් කෝප්ප 1/2
- කපාගත් ගෝවා කෝප්ප 1 /2
- කපාගත් බොක් චෝයි ටිකක්
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
- පෑන් එකට තෙල් ටිකක් දාලා ඉඟුරු, සුදුළූණු, ළූණු හා අමුමිරිස් දාගන්න. ලුණු හා ගම්මිරිස්කුඩුත් දාගන්න. ග්‍රේට් කරගත් කැරට්, ලීක්ස් හා ගෝවා දාලා යන්තම් තෙම්පරාදු කරලා ඒකට කපාගත්ත බොක් චෝයි එකතු කරන්න.
- දැන් තම්බාගත් අල ටික දලා රස අනුව ලුණු අවශ්‍ය නම් තව එකතු කරගන්න. අන්තිමට ෆ්‍රෙශ් මිල්ක් දාල කළවම් කරගන්න.
- ශීට් එකක කෙළවරින් මිශ්‍රණයෙන් ටිකක් තියාගෙන රෝල් කරගන්න. බිත්තර සාරු කෙළවර තවරලා හොඳට අලවගන්න.
- ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.
3. ෆ්‍රෙෂ් ස්ප්‍රින්ග් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- රයිස් පේපර්ස් 7-8
- රයිස් නූඩ්ල්ස් ග්‍රෑම් 200
- ඉස්සන් කෝප්ප 1
- සොසේජස් 4-5
- කැරට් අල 2
- මාළු මිරිස් කරල් 2
- ගර්කින් ගෙඩි 1
- ගෝවා ග්‍රෑම් 100
- ළූණු කොළ ස්වල්පයක්
- කොත්තමල්ලි කොළ ස්වල්පයක්
- අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්
- සලාද කොළ ස්වල්පයක්
- මුලින්ම ඉස්සො ටික සුද්ද කරගෙන සෝදල නටන උණුවතුරට දමා ටික වේලාවක් තම්බගන්න. ඒ ඉස්සන් ටික සීතල වතුර ටිකකට දමා වතුර ටික බේරා හරින්න. මේ විදිහටම රයිස් නූඩ්ල්ස් ටිකත් හදාගන්න.
- ඉස්සන්ගේ පිටේ දාරය දිගේ දෙකට කපල වෙන් කරගන්න. එළවළු ටික කුඩා තීරු ආකාරයට කපාගෙන පසෙකින් තබාගන්න.
- සොසේජස් බැදගෙන එළවළු වගේම තීරු කපා ගන්න. ළූණු කොළ ටිකක් දිගට කපා ගන්න. අයිස් බර්ග් ටික සහ සලාද කොළ කුඩාවට කපාගන්න.
- රයිස් පේපර්ස් එකක් ගෙන එය මද රස්නෙ වතුරෙ තප්පර 5ක් විතර පොඟවා ගෙන ඒක තෙත මිරිකගත්ත කුඩා ටවල් එකක් මත අතුරා ගන්න.
- දැන් රයිස් නූඩ්ල්ස් ටිකක් සහ එළවළු සහ සලාද කොළ ජාති දෙකෙන් ටික ටික සහ සොසේජස් තීරු දෙක තුනක් ගෙන එකට තියලා රයිස් පේපර් එකෙන් බාගයක් දුරට රෝල් කරගෙන ආපහු ළූණු කොළ, ඉස්සන් තුනක් පමණ තබා ඉතුරු ටික රෝල් කර ගන්න. මෙය කැමති සෝස් වර්ගයක් සමඟ ආහාරයට ගන්න.
4. චිකන් ස්ප්‍රින්ග් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- ස්ප්‍රින්ග් රෝල් ශීට් කීපයක්
- චිකන් ග්‍රෑම් 500
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- ලුණු තේ හැඳි ½
- එළවළු තෙල් මේස හැඳි 2
- සුදුළූණු මේස හැඳි 1
- හීනීයට ලියාගත් ළූණු ගෙඩි 2
- ගෝවා කෝප්ප 1
- හීනියට කපාගත් කැරට් කෝප්ප 1
- සෝයා සෝස් මේස හැඳි 1
- කෑලි මිරිස් තේ හැඳි 1
- ළූණු කොළ කෝප්ප 1/4
- චිකන් පොඩි කෑලි කපලා ගම්මිරිස්, ලුණු දාලා පැයක් මැරිනේට් කරගන්න. පෑන් එකක් අරන් තෙල් දාලා මධ්‍යම ගින්නෙන් විනාඩි 5ක් විතර චිකන් ටික ෆ්‍රයි කරන්න.
- දැන් පෑන් එකකට තෙල් ටිකක් දාලා සුදුළූණු, ළූණු, ගෝවා, කැරට්, චිකන්, සෝයසෝස්, ලුණු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් පිළිවෙලින් දමා හොඳින් කළවම් කර අන්තිමට ළූණු කොළ දමා නැවත හොඳින් කළවම් කරන්න.
- ඊළඟට ස්ප්‍රින්ග් ශීට් එකක් අරන් ඒ කෙළවරට හදා ගත් පේස්ට් එක දාලා රෝල් කරන්න. දැන් ගැඹුරු තෙලේ රන්වන් පැහැ වනතුරු බැදගන්න.
5. ස්ටීම්ඩ් ස්ප්‍රින්ග් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- නූඩ්ල්ස් 200g
- එළවළු තෙල් තේ හැඳි 1
- චොප් කරගත් බෙල්පෙපර් කෝප්ප 1
- ලුණු ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1
- චිලී සෝස් මේස හැඳි 3
ශීට් එකට
- පාන්පිටි කෝප්ප 1 1/2
- බේකින් පවුඩර් තේ හැඳි ½
- එළවළු තෙල් තේ හැඳි 1
- වතුර
- නූඩ්ල්ස් වලට ලුණු ටිකක් දමා තම්බාගෙන පෙරාගන්න.
- පෑන් එකක් රත් වෙන්න තියලා ඒකට තෙල් දාලා රත් වුනාම බෙල්පෙපර්, ලුණු, ගම්මිරිස් කුඩු, චිලී සෝස් දාලා තෙම්පරාදු කරගෙන එකටම තම්බා ගත් නූඩ්ල්ස් එකතු කරලා හොඳට කළවම් කරන්න.
- ශීට් එක සාදා ගැනීමට පාන්පිටි එකට ලුණු, බේකින් පවුඩර්, තෙල්, වතුර දාලා හොඳට කළවම් කරලා ස්මුත් ඩෝ එකක් හදාගන්න.
- ඒකෙන් පොඩි බෝල හදාගෙන රොටියක් විදියට එය තුනී කර එය මැදට කලින් සාදා ගත් පේස්ට් එක දමා රෝල් කරගන්න. ගොඩාක් තුනීයට රෝල් ශීට් එක හදාගන්න ඕනේ.
- ස්ටීමරයකට රෝල් පිළිවෙළට අතුරා විනාඩි 30 ක් පමණ ස්ටීම් කරන්න.
6. වියට්නාම් ස්ප්‍රින්ග් රෝල්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- නුඩ්ල්ස් කෝප්ප 100g
- රයිස් පේපර්ස් 8-10
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- අඹරා ගත් පෝක් 500g
- පැළ මුං කෝප්ප 250g
- ෆිෂ් සෝස් මේස හැඳි 5
- කොත්තමල්ලි කොළ කෝප්ප 1/2
- හතු 30g
- ළූණු ගෙඩි 2
- කැරට් අල 2
- බිත්තර 1
- ලුණු තේ හැඳි 1
- පාන්පිටි තේ හැඳි 1
- එළවළු තෙල්
- හතු හා නූඩ්ල්ස් වෙන වෙනම පැයක් විතර සීතල වතුරේ පෙඟෙන්න තියන්න. පැයකට පස්සේ හතු ටික පෙරා ගෙන ග්‍රයින්ඩ් කරගන්න. නූඩ්ල්ස් ටික පොඩියට කපාගන්න.
- කැරට් ග්‍රේට් කරගෙන ළූණු පොඩියට කපාගන්න. පෑන් එකකට තෙල් ටිකක් දාල රත්වෙන්න ඇරල අඹරගත්ත පෝක් ටික හොඳට පිසගන්න.
- ඒකට නූඩ්ල්ස්, හතු, පැළ මුං, කැරට්, ළූණු, ෆිෂ් සෝස්, ලුණු, ගම්මිරිස් කුඩු දමා හොඳින් කළවම් කරන්න. ඒකටම බිත්තරය කඩල දාගන්න.
- රයිස් පේපර්ස් අරන් උණු වතුරේ තප්පර පහක් හයක් පොඟවලා අරන් ඒ මැදට කලින් සාදාගත් පේස්ට් එක පුරවලා රෝල් කරන්න.
- පිටි ටිකක් දිය කර ඒ රෝල් එක අලවා ගන්න. ඊට පස්සේ ගැඹුරු තෙලේ විනාඩි 5ක් විතර බැඳගන්න. එය පැය 4ක් විතර ෆ්‍රීසර් එකේ තියලා නැවත අරන් විනාඩි 3ක් ක් පමණ බැඳගන්න. (එහෙම බැද්දම හොඳට ක්‍රිස්පි ගතිය එනවා).
Leave a Reply