දැන් විවාහ වෙන සහ විවාහ වුණු ඕනම කෙනෙක් බොහෝ විට එක්කෝ සෙට් වෙලා ලව් කරලා තමයි කසාද බඳින්නේ. එහෙම නැතිනම් කපුවෙක් මාර්ගෙන් හරි වෙන කවුරුහරි මාර්ගෙන් හරි අම්මලා තාත්තලා වැඩිහිටියෝ හොයලා දීලා, එහෙම නැතිනම් තමන්ම හොයාගෙන යෝජිත විවාහයකින් තමයි කසාද බඳින්නේ. එහෙමනේ. සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටවල ඉස්සර කාලේ නම් යෝජිත විවාහ තමයි ගොඩක් දුරට තිබුණේ. හැබැයි දැන් නම් සෑහෙන්න විවාහ ලව් කරලා සිද්ධ වුණත්, තාමත් යෝජිත විවාහ වලටත් සෑහෙන්න තැනක් තියෙනවා. බොරු නම් ගිහින් මංගල කිංකිණි පිටුව අරගෙන බලන්න කොයි තරම් මංගල යෝජනා තියෙනවද කියලා!
හරි. දැන් ඇත්තටම ආදර විවාහයක්ද වඩා හොඳ යෝජිත විවාහයක්ද? ඒක ටිකක් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් වගේ නැද්ද? හැබැයි අපි කියනවා යෝජිත විවාහයක සෑහෙන්න හොඳ දේවල් තියෙනවා. යෝජිත විවාහයක තියෙන ආතල් ගැන අපි කලින් ලියලත් තියෙනවා. ඒ හොඳ දේවල් දිහා බැලුවහම නම් යෝජිත විවාහයක් හොඳයි කියලා සමහරු කියන්න පුලුවන් කියන එක. ඉතින් අපි හිතුවා ඒ නිසා යෝජිත විවාහයක තියෙන හොඳ දේවල් ගැන කියන්න.
01. කේන්දරෙන් සම්බාධක වැටුණට අවුලක් නෑ!
මේක ඉතින් සමහරු එකඟ වෙන, සමහරු එකඟ නොවෙන, තවත් සමහරු වැට උඩ ඉඳන් කතා කරන කාරණාවක්. ඒ තමයි කේන්දර පොරොන්දම් ගැලපිල්ල. දැන් කේන්දර පොරොන්දම් ගලපන කතන්දරේ එක්ක ගත්තහම කොහොමද යෝජිත විවාහයක් හොඳ වෙන්නේ? ඒක මෙහෙමයි. දැන් සමහර ගෙවල් වල අම්මලා තාත්තලා වැඩිහිටියෝ ඉන්නවා, කේන්දර ගලපන්නෙ නැතුව මළාට මගුලක් කරන්න දෙන්නෙ නෑ. ඒ තරමටම කේන්දර කියන දේ අදහනවා. දැන් අපි කියමුකෝ දෙන්නෙක් ලව් කරලා අහක් වෙලා විවාහ වෙන්න යනවා කියලා. ඔන්න එතකොට ඔය ඩයි හාඩ් කේන්දර අම්මලා තාත්තලා කේන්දර බලනවා. දැන් ඔය කේන්දර නොගැලපුණොත්? සමහර කේන්දර බලලා ජ්යාතීර්වේදියෝ කියනවා මුන් දෙන්න බැන්දොත් එකෙක් මැරෙනවාමයි කියලා. ඉතින් ඔන්න අම්මලා තාත්තලා බය බිරාන්ත වෙලා මේ මගුල කරන්න දෙන්නෙ නෑ කියනවා. සමහර ඩයි හාඩ් කේන්දර ෆෑන් දෙමාපියෝ නං සුළුවට කේන්දර නොගැලපුණත් අවුරුදු ගාණක ලව් කරපු දෙන්නා කසාද බඳිනවට විරුද්ධ වෙනවා. ඉතින් දෙන්නා වියෝ ගීයක් කියලා එක්කො වෙන් වෙන්න ඕන. එහෙම නැතිනම් අම්මලා තාත්තලාට කේන්දර කාරයා එක්කම කුද ගහගන්න කියලා තනි මතේට කසාද බඳින්න ඕන!
හැබැයි දැන් අපි හිතමු යෝජිත විවාහයක්. එහෙම එකකදී මුලින්ම පටන් ගන්නෙම කේන්දර කොපි හුවමාරු කරගෙන, පොරොන්දම් ගලපලා බලලා. ආයෙ සුළු හරි නොගැලපීමක් තියේ නං ආයෙ ඒක කෙරෙනෙ නෑ. වෙන යෝජනාවක් බලනවා. කෙල්ලගෙ ගෙදර සිරිතට ගිහින් කෙල්ලයි කොල්ලයි මුලින්ම මුණ ගැහෙන සීන් එක පවා වෙන්නේ කේන්දර ගොඩ නං විතරයි. ආන්න එතකොට ඔය කේන්දර නොගැලපීම් නිසා ප්‍රශ්න එන්නෙ නෑ! ඒක යෝජිත විවාහයක වාසියක්!
02. කේන්දරේ රොක්ස්!
අපි ජීවත් වෙන්නේ සිරි ලංකාවෙනේ. තාමත් මෙහේ ගොඩක් අය කේන්දර වලින් කියන දේවල්, ගලපන දේවල් සෑහෙන්න විශ්වාස කරනවනේ. ආන්න ඒ නිසා, යෝජිත විවාහයක හොඳ ගැන කියන දෙවෙනි කාරණාවත් කේන්දරේට සම්බන්ධයි. දැන් අපිට සාමාන්‍යයෙන් ලව් කරලා ටික කාලයක් යනකොට, එයා මෙයා එක්ක එකට ජීවත් වෙන්න ගැලපෙනවද නැද්ද කියන කාරණාව ගැන යම් අදහසක් එනවා. හැබැයි ඉතින් අවුරුදු ගණන් ලව් කරලත්, ඒවා කැඩිලා යන අවස්ථාත් ඕන තරම් තියෙනවා. අන්න එතකොට හිතෙනවා කොහොමද අප්පා මනුස්සයෙක්ව අවුරුදු ගාණක් ආශ්‍රය කළත් තමන්ට එකට ජීවත් වෙන්න හරියටම ගැලපෙනවද කියලා හිතාගන්නේ කියලා.
හැබැයි කේන්දර සීන් එකේ තියෙනවනේ පොරොන්දම් බලලා දෙන්නට දෙන්නා ගැලපෙනවද කියලා චෙක් කරන සීන් එක. ඔය කේන්දර ගැන දන්න එක්ස්පර්ට්ලා කියන්නේ කේන්දර බලන සාස්තරේ හරියට දන්න කෙනෙක්ට ආයෙ දෙන්නෙක්ගේ ගතිගුණ වල ඉඳන් ලිංගික ජීවිතේ දක්වා ගැලපෙන ආකාරය ගැන කියන්න පුලුවන් කියලා තමා. ආන්න යෝජිත විවාහයේ වාසිය. ආයෙ මුලින්ම කේන්දරේ බලලා දෙන්නා ගලපලා යෝජිත විවාහයක් කරන නිසා, අර ලව් කරලා වුණත් මූ හෝ මේකි ඇත්තටම තමන්ට ගැලපෙනවද කියන ප්‍රශ්නෙට හොඳ විසඳුමක් ලැබෙනවා. හැබැයි ඉතින් මේක හරියන්නේ කේන්දර විශ්වාස කරන අයට විතරයි හරිද!
03. ඔප්ෂන්ස්
මේක ටිකක් විතර කට්ටිය අවුල් යන, පොදුවේ මිනිස් වටිනාකම් වලට එකඟ නැති කතාවක් වෙන්න පුලුවන්. හැබැයි ප්‍රායෝගික ලෝකෙදී මේක බොරුවකුත් නෙවෙයි. දැන් අපි ලව් එකක් පටන් ගන්නවනේ. හැබැයි අපි හැමෝටම එකඟ වෙන්න වෙනවා, ඒ හැම එකක්ම අර සුරංගනා කතන්දර වල තියෙන විදියේ, ජීවිතේ අවසානය වෙනකල්ම පිස්සුවෙන් ලව් එකක් තියෙන විදියේ ආදර කතන්දර දකින්න ලැබෙන්නේම හරිම කලාතුරකින් කියන එක. එතකොට ගොඩක් අය ලව් කරලා බඳින්නෙ ඇයි? සමහරු ලව් කරලා කාලයක් ගියාම, ඒ ලව් එක ඒ විදියටම නැති වුණත්, දෙන්නට දෙන්නා පුරුද්දට ඉන්නවා. ඒ නිසාම බඳිනවා.
හැබැයි යෝජිත විවාහ වලදී ඒ ප්‍රශ්නෙ නෑ. මුලින්ම කේන්දර බලලා, පෙනුම තමන්ට ගැලපෙනවද බලලා, පොදුවේ අදහස් ගැලපෙනවද බලලා තමයි එකට ඉන්නවද නැද්ද කියන එක හිතන්නේ. ඊටත් පස්සෙ තමයි ලව් කරනවද කියන තැනට යන්නේ. එතකොට උඩ ප්‍රශ්නේ මුලින් එන්නෙ නෑ.
හැබැයි තව දෙයක්. ලව් කරද්දි වුණත් මුලින් ප්‍රමාණවත් කාලයක් යාළු ෆිට් එකෙන් ආශ්‍රය කරලා, හෙමි හෙමිහිට ආදරේට අඩිතාලම දාගත්තු අයට අපි මේ කියපු ප්‍රශ්නේ කොහොමටවත් එන එකක් නෑ බොහෝ දුරට.
04. දෙමාපිය වැඩිහිටි ගේම ඉල්ලීම්
දැන් ලව් එකක් පටන් ගත්තට පස්සේ හොරෙන්මනේ කරගෙන යන්නේ ගොඩක් දුරට ඔය නව යෞවන වියේ එහෙම අපි ඉන්නකොට. පස්සෙ තමයි ෂේප් එකේ ගෙදරට කියන්නේ. එහෙම ගෙදරට කිව්වහම ඉතින් ගෙවල් වලිනුත් කැමති වුණොත් ගැටළුවක් නෑ. හැබැයි පුතෝ ගෙදරින් කැමති නැතිවුණොත් තමයි කේස් එක. සමහර ගෙවල් වලින් කැමති නැතිවුණත් කට්ට කාලා, ෂේප් කරගෙන කාලයක් ගිහින් හරි කැමති කරගන්න පුලුවන් වෙනවා. හැබැයි තවත් සමහර ගෙවල් වල කේස් එක කොයි තරම් දරුණුවට යනවද කිව්වොත්, “ඕක උඹට කරගන්න වෙන්නෙ මේ අම්මගෙ මළකඳ උඩින්” කියලා කියන ලෙවල් එකටම යනවා. ඉතින් ඔය ගෙවල් වල කේස් නිසා අත්ඇරුණු ලව්ම කොයි තරම් තියෙනවද!
හැබැයි යෝජිත විවාහයක ඔය කචල් බචල් මොකුත් නෑනේ. ආයෙ අම්මලා තාත්තලා තමයි කැමති වෙලා අපෙන් අහන්නේ මොකද හිතන්නෙ ඒ දරුවා ගැන කියලා. එතකොට ඔය අම්මලා තාත්තලා අමුතුවෙන් කැමති කරගන්න කට්ට කන පාට් එක එතන ඇත්තෙම නෑ.
හැබැයි ඉතින් බැන්දට පස්සේ කලාතුරකින් සමහර නැන්දම්මලා, මාමණ්ඩිලා ගේමට සෙට් වෙනවා. එව්වා වෙනම කතන්දර!
05. කෙලින් කතා කරගන්න පුලුවන්
දැන් යෝජිත විවාහයකදී කෙල්ලයි කොල්ලයි හරියට දැනඅඳුනගෙන සෙට් වෙන්න කලින්ම තමයි ඔය ලොජිස්ටික්ස් එහෙම දෙපැත්තේ වැඩිමහල්ලෝ කතා බතා කරගන්නේ. ඒ කියන්නේ දුවට දෑවැද්දට ගොඩ ඉඩම් අක්කර මෙච්චරයි, රත්තරං මෙච්චරයි දෙනවා කියලා ඒ පැත්තෙන් කියනකොට, අපේ පුතාට තමයි ඉතින් ඔය සාගරේ වගේ තියෙන ගේත් කියලා මේ පැත්තෙන් කියනවා. ආයෙ දෙගොල්ලොම හරි විදියට පොරොන්දු ඉෂ්ට කළොත්, කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ. එතකොට ඉතින් දුවයි පුතයි ඔය දුව ගේන්න ඕන දෑවැදි ගැන, එතකොට කොල්ලට තියෙන්න ඕන වත්කම් ගැන එහෙම තකන්නෙ නැති නවීන අදහස් තියෙන ඩබලක් වුණත් ගැටළුවක් නෑ. මහ උන්දැලා ඒවා ගැන කතා කළත් නොකළත් ඒ දෙන්නට කතා කරගන්න පුලුවනිනේ ‘අනේ මට නං ඔය දෑවැදි වත්කම් මගුල් අදාළම නෑ; කියලා.
හැබැයි ලව් මැරේජ් එකකදී ඔය සීන් එක පොඩ්ඩක් ගැස්සෙන්න පුලුවන්. මොකද ලව් කරන්න කෙනෙක්ට හිත ගිය ගමන් ගිහිල්ලා අහනවද ඔයා මොනවද දෑවැද්දට ගේන්නේ කියලා, නැතිනම් ඔයාට මොනවද තියෙන වත්කම් කියලා! එතකොට ලව් කරලා කසාද බඳින්න කියලා හිතුවහම තමයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න එන්නේ. ඇත්තම කිව්වොත් ඔය ප්‍රශ්න එන්නේ මහ මිනිස්සුන්ටනේ. එතකොට ඉතින් මහ මිනිස්සුන්ගේ අදහස් වලට, ආකල්ප වලට සහ අපේක්ෂාවන් වලට එව්ව ගැලපුනේ නැති වුණහම ඔන්න ප්‍රශ්න!
06. සමහරුන්ට අවුල් වෙන පවුල් පසුබිම්
දැන් ඔය සමහරු ඉන්නවා ලව් කරන්න පටන් ගන්න කලින්ම හොයලා බලනවා තමන්ට හිත ගියපු කෙල්ල හෝ කොල්ලා කොයි වගේද, මොනවද කරන්නේ, පවුලේ අය කොහොමද, පවුලේ පසුබිම මොකක්ද වගේ කතන්දර. හැබැයි එහෙම වෙන්නේ ඉතින් අතිශයින්ම කලාතුරකින්. බොහෝ විට වෙන්නේ තමන්ට සෙට් වෙන විදියේ, හිත ගියපු විදියේ කෙනෙක් එක්ක ලව් එකක් පටන් ගන්න එක. හැබැයි අපි කියමු එහෙම ලව් එක කරගෙන යනකොට තේරෙනවා තමන්ගේ පවුල් පසුබිම් එහෙම එකිනෙකට වෙනස් කියලා. එතකොට? ඇත්තටම ඔය පවුල් පසුබිම් අනං මනං නොතකන කෙල්ලෙක්ට කොල්ලෙක්ට ඔව්වා ප්‍රශ්න වෙන්නෙ නෑ. හැබැයි ඉතින් අමතක කරන්න එපා. එව්වා ගැන හිතන අයත් ඉන්නවා. විශේෂයෙන්ම එව්වා හිතන වැඩිහිටි උදවිය ඉන්නවා. ආන්න ඒ කට්ටියට එතකොට ඇතිවෙන ප්‍රශ්න විසඳන්න වෙනම ගේමක් දෙන්න ඕන.
හැබැයි යෝජිත විවාහයකදී ඔය ප්‍රශ්නෙ එනවද? නෑනේ. දෙපැත්තෙන් එක පැත්තකට හරි කොළේ වහලා දීග කතා කළේ නැත්තං, දෙගොල්ලොම පවුල් පසුබිම් අනං මනං හොයලා බලලා තමයි විවාහෙට කැමති වෙන්නේ. ආන්න එතකොට පවුල් පසුබිම් ප්‍රශ්න විසඳන්න කාලෙ නාස්ති කරන්න්න ඕන නෑ!
07. ආතල් එක
මේක ඉතින් අන්තිමට ලියන්න හිතුවේ, යෝජිත විවාහයකින් වැඩේ සෙට් කරගන්න එක බැලුවහම ඒකත් වෙනම ආතල් එකක් නිසා. නිකමට හිතන්න. ඔන්න කේන්දර බලලා, පවුල් පසුබිම් හොයලා දෙපැත්තෙම වැඩිහිටියෝ කැමති වුණාට පස්සේ, දැන් කාලෙ නම් ගොඩක් වෙලාවට කෙල්ලයි කොල්ලයි කතා බහ කරන්න, චැට් කරන්න පටන් ගන්නවා. ඒකත් පොඩ්ඩක් නැගලා යන්න පටන් ගත්තට පස්සේ කෙල්ලව සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර අනුව බලන්න යන්න දාගන්නවා. ඊට පස්සේ එහෙම ගිහින්, ගෑණු ළමයා බුලත් හෙප්පු අරගෙන එන චාරිත්‍ර එහෙමත් ඉෂ්ට කරලා, සමහර වෙලාවට ඉස්ඉස්සෙල්ලම කෙල්ලයි කොල්ලයි එකිනෙකාව දැකලා, ලැජ්ජාවෙන් ඇඹරිලා, පොඩ්ඩක් පැත්තකට ගිහින් කතා කරලා කාරිය වැඩේ තව පියවරක් ඉස්සරහට අරගෙන යනවා. ඊට පස්සේ දෙගොල්ලෝම වැඩේට මනාප නං, කෙල්ලයි කොල්ලයි දැනඅඳුන ගන්න ඔන්න හම්බුවෙන්න, කතා බහ කරන්න පටන් ගන්නවා. තාම ලව් එකක් මෝරලා නැති වුණාට ඔන්න ටික ටික හැඟීම් එහෙමත් මෝදු වෙලා එනවා. හා ආතල් නැද්ද?
දැන් එතකොට තව කෙනෙක් ඇවිත් කියන්න බැරිද යෝජිත විවාහයකට එහෙම නැතිනම් ඇරේන්ජ් මැරේජ් එකකට වඩා ආදර විවාහයක්, ඒ කියන්නේ ලව් මැරේජ් එකක් හොඳයි කියලා? මොකද බැරි. එහෙමත් කියන අය ඉන්නවා. ආන්න ඒ අය වෙනුවෙන් ලව් මැරේජ් එකක තියෙන හොඳ දේවල් ගැනත් අපි කියන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට!
Leave a Reply