Google Assistant ට කරන්න පුළුවන් අරුම පුදුම දේවල් මොනවද කියලා දන්නවද? – 2 කොටස

දැන් ඔය ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන්ස් සහ වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් උපාංග පාවිච්චි කරන උදවියට Google Assistant කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එයා තමයි ඇන්ඩ්‍රොයිඩ් ලෝකෙට ඉන්න ස්මාට් තත්‍යාසන්න සහකරු. ආයෙ කෘත්‍රිම බුද්ධියක් සහිත ඩිජිටල් සහකරු කිව්වත් ගැටළුවක් නෑ. සම්පූර්ණයෙන්ම පරිපූර්ණ කෘත්‍රිම බුද්ධියක් නොවුණට, ස්මාට්ෆෝන් එකේ ඉඳන් අපි කියන දේවල් වලට ඇහුම්කන් දීලා, අපේ එදිනෙදා වැඩ ටිප් ටොප් එකට කරගන්න සහාය ලබාදෙන, අපේ කටහඬ විධාන වලට අනුව වැඩ කරන ස්මාට් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට Google Assistant හඳුන්වන එක නිවැරදියි. හැබැයි දැන් කාලේ හැම ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් උපාංගයකම වගේ Google Assistant හිටියට, ගොඩක් අය එයාගෙන් ගන්න පුලුවන් වැඩ ගැන, එයාට කරන්න පුලුවන් වැඩ ගැන ඒ තරම් දන්නෙ නෑ. ඒ නිසා අපි එක පාරකුත් Google Assistant ට කරන්න පුලුවන් අරුම පුදුම වැඩ සෙට් එකක් ගැන කිව්වා. ඒ වගේම, කම්මැලි වෙලාවකට Google Assistant එක්ක සෙට් වෙලා ගන්න පුලුවන් ආතල් කීපයක් ගැනත් ලිව්වා. හැබැයි එතනින් ඉවර නෑ. විශේෂයෙන්ම ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය වගේම යාවත්කාලීන වෙන Google Assistant ට කරන්න පුලුවන් තවත් ඇඩ්වාන්ස් වැඩ තියෙනවා. කියවලා බලන්න, Google Assistant ට කරන්න පුලුවන් මේ කියන අරුම පුදුම වැඩ කිඩ ඔයාලටත් කොයි තරම් ප්‍රයෝජනවත් වෙයිද කියලා!

 

01. මේං මේ සිංදුව හොයල දෙන්ඩකෝ!

දැන් සමහර වෙලාවට අපිට කොහේදි හරි සිංදුවක් ඇහෙනවා, හැබැයි සිංදුව මොකක්ද කියලා දන්නෙ නෑ කියමු. විශේෂයෙන්ම ඔය වෙනත් බාසා වල සිංදු එහෙම රේඩියෝ එකේදී, මගතොටදී ඇහෙනකොට, සිංදුව හොයාගන්න පුදුම වුවමනාවක් එනවනේ. ඒකට ගොඩක් අය Shazam වගේ ඇප්ස් පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් අය නොදන්න දේ තමයි, ඊටත් වඩා ඇඩ්වාන්ස් විදියට Google Assistant ට සිංදු හොයල දෙන්න පුලුවන් කියලා. Google Assistant ඔන් කරලා What’s this song කියලා අහලා සිංදුව අහන් ඉන්න දුන්නා නං වැඩේ ගොඩ.

 

හැබැයි Google Assistant ගේ සිංදු හෙවිල්ලේ හැකියාව එතනින් ඉවර නෑ. අපි කියමු සිංදුවක මියුසික් එක නැතිනම් මෙලඩි එකක් අපේ ඔළුවේ කරකැවෙනවා, හැබැයි සිංදුව මොකක්ද කියලා මතක නෑ කියලා. Google Assistant ඔන් කරලා,  What’s this song කියලා අහලා, අපේ ඔළුවේ තියෙන විදියට සිංදුවේ තාලය මුමුණන්න (අර නා නා නා, ලා ලාලා කියලා සිංදුවක ටියුන් එකක් හම් කරන්නේ, අන්න ඒක) තියෙන්නේ. එතකොට ඒක තාලෙට කරගන්න පුලුවන් වුණොත්, Google Assistant ට ඒ තාලේ තියෙන සිංදුව හොයාගන්න ට්‍රයි එකක් දෙන්නත් පුලුවන්!

 

02. වෙබ් පේජ් එක හයියෙන් කියවන්ඩ බලන්න!

දැන් අපිට මොකක් හරි සම්බන්ධයෙන් දෙයක් හොයාගන්න ඕන කියමු. “වට් ඊස් ද ලේටස්ට් සිටුවේෂන් ඔෆ් රෂියා ඇන්ඩ් යුක්‍රේන් වෝ” කියලා උදාහරණෙකට ගමු. දැන් ඕක අපි ගූග්ල් ඇසිස්ටන්ට් ට කිව්වහම, එයා පට් පට් ගාලා ඔය ගැන තියෙන වෙබ් පිටු සෙට් එකක්, ගූගල් සර්ච් එන්ජිම උදව් කරගෙන හොයලා දෙනවා. ඔන්න අපි යනවා ඒ ගැන තියෙන පළවෙනි වෙබ් පිටුවට. හැබැයි දැන් අපි ඕක කියවන්නත් එපැයි. ඒකත් ඇසිස්ටන්ට් ට කියලම කරවගන්න බැරි වෙයිද? බැරි නෑ, පුලුවන්. ආයෙමත් ගූගල් ඇසිස්ටන්ට් ට කියන්න “රීඩ් ඉට්” හරි, “රීඩ් ද වෙබ්” හරි ඒ වගේ මොකක් හරි. අන්න එතකොට, ගූගල් ඇසිස්ටන්ට් වෙබ් සයිට් එකේ තියෙන ඔක්කොම කටහඬින් කියවන්න පටන් ගන්නවා. අපිට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි.

 

03. ළඟම තියෙන කඩේ හොයන්ඩ!

දැන් ඔය ගොඩක් රෙස්ටුරන්ට්, කොෆී ෂොප්ස් විතරක් නෙවෙයි, සුපිරි වෙළඳසැල්, ඒටීඑම්, විවිධාකාරයේ කඩවල් එහෙම වුණත් ගූග්ල් මැප්ස් වලට ඇතුළත් කරලනේ තියෙන්නේ. ආන්න ඒ නිසා, අපිට පුලුවන් බොහොම පහසුවෙන් අපිට අවශ්‍ය දෙයක් ගුග්ල් මැප්ස් ඔස්සේ හොයාගන්න. හැබැයි ඔය වැඩේ ගූග්ල් ඇසිස්ටන්ට් එක්ක තව පහසුවෙන් කරගන්න බැරිද? උදහරණයක් විදියට අපිට ඌරු මස් කෑම තියෙන කඩයක් හොයාගන්න ඕනැයි කියලා. අපි අහනවා “පෝර්ක් රෙස්ටුරන්ට්ස් නියර් මී” කියලා හරි නිකම්ම “පෝර්ක් රෙස්ටුරන්ට්ස්” කියලා හරි. අන්න එතකොට ගුග්ල් ඇසිස්ටන්ට් පට ගාලා අපිට පෝර්ක් කෑම තියෙනවා කියලා කියන රෙස්ටුරන්ට් සෙට් එකක් පෙන්නනවා. ඔව්වා විතරක් නෙවෙයි, වෙන වෙන ෂොප්ස් වුණත් ඔය විදියට අපිට හොයාගන්න පුලුවන්. උදාහරණයක් විදියට, අපිට අත්කම් බඩු අනං මනං තියෙන ෂොප් එකක් හොයාගන්න ඕන නම්, අපිට ගූග්ල් ඇසිස්ටන්ට් ට කියන්න තියෙන්නේ “හැන්ඩික්‍රාෆ්ට් ෂොප්ස් නියර් මී” කියලා විතරයි. අන්න එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් මැප් එකෙන් බලලා, අපිට ළඟම තියෙන අත්කම් බඩු තියෙන කඩ ලැයිස්තුවක් ලබාදෙනවා.

 

04. මැච් එකේ ස්කෝර් එක කීයද?

ඔය ස්පෝර්ට්ස් පිස්සෝ ඉතින් ආයෙ අතේ පිටිඅල්ල වගේ මැච් වල ස්කෝර්ස් දන්නවනේ. හැබැයි අපිට මොකක් හරි මැච් එකක ස්කෝර් එක හදිසියේ වැඩක ඉන්න ගමන් වගේ හොයාගන්න ඕන වුණොත්, ආන්න එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් සහායට එනවා. අපි කියමු ඊයෙ තිබ්බ නවසීලන්ත-ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එකේ ස්කෝර් එක ඕන කියලා. එතකොට සරලවම ගූග්ල් ඇසිස්ටන්ට් අමතලා අහන්න තියෙන්නේ “හූ වොන් යෙස්ටර්ඩේ’ස් නිව්සීලන්ඩ් ශ්‍රී ලංකා මැච්” කියලා විතරයි. එහෙම නැතිනම් “වට් වොස් ද ස්කෝර් ඔෆ් යෙස්ටර්ඩේ’ස් නිව්සීලන්ඩ් ශ්‍රී ලංකා මැච්” කියලා ඇහුවත්, ගූගල් ඇසිස්ටන්ට් ඒක තේරුම් අරගෙන, අපිට ඊයෙ මැච් එකේ ස්කෝර් එකේ හයිලයිට්ස් ටික දෙනවා. හරිම සරලයි!

 

05. මොකද්ද ඒ බෝඩ් එකේ කියල තියෙන්නේ?

දැන් ඔය අපි යන එන තැනක සිංහලෙන් ගහලා තියෙන බෝඩ් එකක් කියෝගන්න එක ගේමක් නැහැනේ ගොඩක් දෙනෙක්ට. ඉංග්‍රීසියෙන් තියෙන බෝඩ් එකක් වුණත් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා හරි කියෝගන්න පුලුවන්. හැබැයි වෙන භාෂාවකින් තිබ්බොත් බඩුම තමයි. උදාහරණෙකට පෝට් සිටි පැත්තේ ඇවිදින්න ගිහින් චීන බාසාවෙන් තියෙන බෝඩ් එකක් දැක්කොත් කියෝගෙන හමාරයි. වෙන රටකට ගියපු වෙලාවකට වුණත් ඒ රටේ බාසාවෙන් ලියලා තියෙන එකක් කියෝගන්න එක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. හැබැයි කලබල වෙන්න එපා. ඒකටත් ගූග්ල් ඇසිස්ටන්ට් ඉන්නවා. කරන්න තියෙන්නේ අවශ්‍ය බෝඩ් එකට කැමරාව පොයින්ට් කරලා, ගූග්ල් ඇසිස්ටන්ට්ගෙන් අහල බලන්න මොකද්ද ඒ කියන්නේ කියලා. එතකොට කැමරාවෙන් පේන බෝඩ් එකේම, ඒකේ තේරුමත් පෙන්නනවා. හැබැයි මේක වැඩ කරන්නේ ඔය ඔග්මෙන්ටඩ් රියැලිටි තියෙන නවීන උපාංග වල විතරයිලු.

 

06. පොඩ්ඩක් පරිවර්තන සහාය දෙනවද?

 

දැන් ඔය එක එක එව්වා පරිවර්තනය කරගන්න අපිට පහසු ක්‍රම තියෙනවනේ. ඒකෙනුත් ජනප්‍රියම ක්‍රමේ තමයි ගූග්ල් ට්‍රාන්ස්ලේටර්. එතකොට අපිට තියෙන්නේ ගූග්ල් ට්‍රාන්ස්ලේටර් වෙබ් පිටුවට ගිහින්, එහෙම නැතිනම් ගූගල් සර්ච් එකේ ට්‍රාන්ස්ලේටර් බොක්ස් එකට ගිහින්, එහෙමත් නැතිනම් ගූග්ල් ට්‍රාන්ස්ලේටර් ඇප් එක ඕපන් කරලා අවශ්‍ය පරිවර්තන කාර්යය කරගන්න. ඕක අවශ්‍ය නම් කටහඬින් අවශ්‍ය දේ කියලා කරගන්නත් පහසුකම තියෙනවා. හැබැයි අපිට ගූගල් ඇසිස්ටන්ට් එක්ක ඔය කාර්යයම කරගන්න පුලුවන්, ඔය තරම් මහන්සි නොවී. කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි කියමු අපිට ඉංග්‍රීසියෙන් කියන දෙයක් ස්පාඤ්ඤ භාෂාවට පරිවර්තනය කරගන්න ඕන කියලා. කරන්න තියෙන්නේ “හේ ගූග්ල්, බී මයි ස්පැනිෂ් ඉන්ටර්ප්‍රිටර්” කියලා කියන්න විතරයි. ඊට පස්සේ ඕපන් වෙනවා බොක්ස් එකක්. දැන් අපිට ඉංග්‍රීසියෙන් කියන්න ඕන එක කිව්වහම, ගූග්ල් ඇසිස්ටන්ට් ඒක ස්පැනිෂ් වලට පරිවර්තන කරලා, ඊට පස්සේ ඒක කටහඬිනුත් කියලා පෙන්නනවා. ඒ වගේම අපිට ස්පාඤ්ඤ භාෂාවෙන් කියන දෙයක් ඉංග්‍රීසියට ආපහු පරිවර්තනය කරගන්න ඕන නම්, ඒකටත් පහසු විකල්පයක් එතනම ලබාදීලා තියෙනවා.

 

07. කම්මැලි කමට මාත් එක්ක සෙල්ලමක් කරමුද?

දැන් කාලේ බොහොම සංකීර්ණ ගේම්ස් ස්මාට් උපාංගයක තියෙනවනේ. පබ්ජී වලින් පටන් ගත්තහම නානාප්‍රකාර ගේම්ස් තියෙනවා. හැබැයි සමහර කම්මැලි වෙලාවලට අපිට ඕන කරන්නේ ඔය හොරෙන් ගිහින් වෙඩි තියලා හෙනම මිෂන් එකක් දිනන තාලේ සංකීර්ණ ගේම්ස් නෙවෙයි. බොහොම සරල ගේම්ස්. උදාහරණයක් විදියට ඔය ටික්-ටැක්-ටෝ වගේ එව්වා. එව්වා ඉතින් ඕන නම් කෙලින්ම ගූග්ල් ප්ලේ හරහා ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. හැබැයි ඊට වඩා ලේසියෙන්, ගූග්ල් ඇසිස්ටන් එක්ක සෙල්ලමක් කරන්න පුලුවන්. ගූග්ල් ඇසිස්ටන්ට කතා කරලා අහන්න “කැන් යූ ප්ලේ අ ගේම් විත් මී” කියලා. එතකොට ගේම්ස් ලිස්‍ට් එකක් එනවා, ගූග්ල් ඇසිස්ටන්ට් අපිත් එක්ක සෙල්ලං කරන්න කැමති. දැන් ඔතනින් බයිට් සයිස් ගේම් එකක් තෝරගෙන ගහන්න තමයි තියෙන්නේ!

Google Assistant ට කරන්න පුළුවන් අරුම පුදුම දේවල් මොනවද කියලා දන්නවද?

Google Assistantගෙන් ගන්න පුළුවන් ආතල් ටිකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *