ඔන්න අපි කොහේ හරි ට්‍රිප් එකක් යනවා. එතකොට සාමාන්‍යයෙන් ඔය සොබාවික සවුන්දර්යය අත්විඳිනවා වගේම තමයි, කන්න බොන්න තැනුත් හොය හොයා යන්නේ. එහෙම යනකොට ඔන්න මුණගැහෙනවා අමුතු විදියේ කන බොන තැන්. අමුතුයි කියන්නේ ඇත්තටම විශේෂයි කියන එක. එක්කෝ අපි කියමු තේ ෆැක්ටරියකින් කරන පොඩි ටී අවුට්ලට් එකක්. විශේෂය වෙන්නේ තේ ෆැක්ටරියේ හොඳම තේ වලින් එතන තේ හදලා දෙන එක. ආන්න ඒක එතකොට වෙනස්ම අත්දැකීමක්. එතකොට තව සමහට තැන් ට්‍රිප් යනකොට යන්නම අනාදිමත් කාලෙක ඉඳලා ප්‍රසිද්ධ වුණු බ්‍රෑන්ඩ්ස්. ඇත්තටම ඒ වගේ තැන් හැංගිච්ච රහස් නෙවෙයි. හැබැයි තමන් ගිහිල්ලා රසවිඳලා නැතිනම් ගොඩක් අය එහෙම තැන් නොදන්න තරම්. ආන්න ඒ නිසා අපි හිතුවා එහෙම තැන් කීපයක ලිස්ට් එකක් හදන්න. එතකොට ඒ ඒ පැතිවලට ට්‍රිප් එකක් එහෙම යනකොට ඊලඟ දවසේ ට්‍රයි කරලා බලන්න පුළුවන්.
1. අම්මාච්චි – කිලිනොච්චි
යාපනේ එහෙම යනකොට, කිලිනොච්චි හරියේදී බඩගින්නක් ආවොත් නවත්තන්න තැන් ඕන තරමට තියෙනවා. හැබැයි විශේෂයෙන්ම පාර අයිනේ කොළ පාට තේමාවකින් තියෙන අම්මාච්චි බොජුන් හල කියන්නේ අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන තැනක්. ඇත්තටම මේක හෙළ බොජුන් හල් ජාලයේ එක රෙස්ටුරන්ට් එකක්. හැබැයි විශේෂත්වය කියන්නේ මෙතන තියෙන හැමදේම උතුරු පළාතට ආවේණික කෑම බීම වීම. විශේෂයෙන්ම දකුණේ ඉඳලා එන අයට නම් ඒක විශේෂම අත්දැකීමක් වෙයි. වඩේ, තෝසේ වල ඉඳලා තියෙන විවිධාකාරයේ කෑම බීම වල මිල ගණන් එහෙම නම් ඉතාම අඩුයි. ඒ වගේම මෙතනින් ඒ අයම කරන තේ කොළ, කෝපි ජාති එහෙමත් ගන්න පුළුවන්. ඉතාම අඩු ගාණකට බඩ පිරෙන්න කෑමක් ගන්නත් පුළුවන්.
තැන මෙතන:
2. ඇන්ඩොස් චොකලට් ලෝන්ජ් – පූගොඩ
පූගොඩ පැත්ත පහුකරගෙන යනකොට පාර අයිනේ ඔය ෆැන්සි රෙස්ටුරන්ට් එහෙම සෑහෙන්න පහුවෙනවා. හැබැයි ඒ අතරේ කෙනෙක්ට නවත්තන්නම හිතෙන අපූරු චොකලට් පාට ලෝන්ජ් එකක් තියෙනවා. ඒ තමයි ඇන්ඩොස් චොකලට් ලෝන්ජ්. ඇත්තටම කෙනෙක්ට අහලා පුරුදු නැති වුණත්, ඇන්ඩොස් කියන්නේ ලංකාවෙන් පිටරට යවන චොකලට් බ්‍රෑන්ඩ් එකක්. මේ චොකලට් ලෝන්ජ් එක ඇත්ත වශයෙන්ම තියෙන්නෙත් ඇන්ඩොස් චොකලට් ෆැක්ටරිය ඉස්සරහා තමයි. ඉතින් ගිහිල්ලා බැලුවහම ආයෙ ඒ අයගේ චොකලට් වලින් හදපු අයිස්ක්‍රීම්, මිල්ක්ෂේක්, කුකීස්, මෆින්, චොකලට් වල ඉඳලා විවිධාකාරයේ දේවල් ගන්න තියෙනවා. ඒ වගේම හිතාගන්න බැරි විදියට මේවල මිල අඩුයි. ඊට අමතරව කොකෝවා පවුඩර්, චොකලට් චිප්ස්, මිල්ක් පවුඩර් වගේ විවිධාකාරයේ නිෂ්පාදනත් මෙතනින් මිලදී ගන්නත් පුළුවන්.
තැන මෙතන:
3. ගෝල්ඩන් හිල් ටී සෙන්ටර් – හපුතලේ
බදුල්ල පැත්තට යනකොට බෙරගල, හපුතලේ හරිය කියන්නේ ට්‍රිප් එකේ අතිසුන්දරම කොටස් තියෙන තැන් කීපයක් කිවුවොත් වැරදි නැහැ. හැබැයි ඉතින් එහෙට මෙහෙට ඇඹරි ඇඹරී ඇදුණු කඳු නගින්න තමයි තියෙන්නේ. ඔහොම කඳු නැගගෙන නැගගෙන යනකොට පාරේ අයිනේ දකින්න ලැබෙනවා අපූරු හැඟීමක් එකතු කරන තැනක්. ගෝල්ඩන් හිල් ටී සෙන්ටර්. ඒක හදලා තියෙන විදියටද කොහේද, එතන නවත්තන්නම හිතෙනවා. මේක පරිසර හිතකාමී විදියට තමයි හදලා තියෙන්නෙත්. ඔලිව් ටී එස්ටේට් වලට අයිති මෙතන රසම රස තේ කෝප්පයක් ලැබෙන්නේ මේ අයගේම තේ කොළ වලින්. එතකොට ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එකක් එහෙම ගත්තොත්, ඒ ස්ට්‍රෝබෙරිත් මේ අයගේ වගාවන්ගෙන්ම ලැබුණු ඒවා කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒකට දාන ෆ්‍රෙෂ් මිල්ක් වුනත් ඒ අයගේම ප්‍රඩක්ට්ස් තමයිලු. කොහොම වුනත් මෙතන රෙස්ටුරන්ට් එකකුත් තියෙන නිසා, ඕනම දෙයක් කන්න බොන්න ගන්න පුළුවන්.
තැන මෙතන:
4. නිව් මෝනිස් බේකරි – මග්ගොන
දකුණු රටට ට්‍රිප් එකක් යනකොට දැන් ගොඩක් අය හයිවේ එක පාවිච්චි කරනවනේ. හැබැයි ඉස්සර ගියපු විදියට ගාලු පාරෙන් දකුණු රටට ට්‍රිප් එකක් කාරිය යනකොට සම්ප්රදායක් විදියටම තේ බොන්න නවත්තන තැන තමයි නිව් මෝනිස් බේකරි කියන්නේ. එතන අමතක නොවෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි මෝනිස් රස්ක් බිස්කට්, මෝනිස් සව්බොරෝ සහ මෝනිස් ඥාණකතා ඇතුලු මෝනිස් බේකරි නිෂ්පාදන. අනික් එක තමයි ලෝකේ ප්‍රීතිමත්ම මනුස්සයා කියන විරුදාවලිය ලබාගත් නිව් මෝනිස් එකේ වාහන පාක් එකේ ඉන්න ආරක්ෂක නිලධාරියා ඩබ්.වී.සුගතපාල මහත්තයා. 1896 දී මග්ගොන මෝනිස් මුදලාලි පටන් ගත්තු මෝනිස් බේකරි නිෂ්පාදන රසය අදටත් වෙනස් වෙලා නැහැ කියලා තමයි දන්න අය කියන්නේ.
තැන මෙතන:
5. ජිනදාසගේ තලගුලි – වරකාපොළ/අඹේපුස්ස
නුවර පැත්තට නැතිනම් අඹේපුස්සෙන් හැරිලා කුරුණෑගල පැත්තට චාරිකාවක් යන ඕනම කෙනෙක්ට මුණගැහෙන, දැක්කහමත් පරණ පුරුද්දට නවත්තන්න හිතෙන තැනක් තමයි ජිනදාස තලගුලි. ඇත්තටම ජිනදාස එක නමෙන්ම තලගුලි වලට චිරප්රසිද්ධ වුනාට, ජිනදාස එකේ තියෙන්නේ තලගුලි විතරක් නම් නෙවෙයි. දැන් වෙනකොට දේශීය ක්‍රමේකට කැවුම්, කොකිස්, මුං ගුලි, අලුවා, වැලිතලප වගේ කෑමක් එක්කලා රසම රස කිරිතේ කෝප්පයක් බොන්න මෙතනින් පුළුවන්. ඔන්න විදේශික මිතුරු මිතුරියන් එක්ක චාරිකාවක් යනවා නම්, ලංකාවේ දේශීය කැවිලි වර්ග පෙන්නන්න සහ රස බලන්න අවකාශ හදලා දෙන්න මෙතන මරු.
හැබැයි කැවිලි විතරක් නෙවෙයි, උදේ දවල් රෑ කෑම බීම ඕනැම එකකුත් ජිනදාස එකෙන් ගන්න පුළුවන්.
තැන මෙතන:
6. එඩින්බරෝ ටී ට්‍රේන්
මේ තැන නම් ඇත්තටම එහෙම ටී එස්ටේට් එකකින් කරන තැනක්ද කියන්න අපි දන්නෙ නෑ. හැබැයි නුවර එළියේ යනකොට නානුඔය හරියේ තියෙන මේ සුන්දර ටී ලෝන්ජ් එක ගොඩවැදිලාම යන්න ඕන තැනක්. සුන්දර දර්ශනයක් එක්ක පාර අයිනේ පොඩි තේ වත්තක් මැද තියෙන එඩින්බරෝ ටී ට්‍රේන් එකෙන් උදේ කෑම එහෙමත් ගන්න පුළුවන් වුනත්, මෙතනින් තේ කෝප්පයක් නම් බීලා බලන්නම වටිනවා. විශේෂයෙන්ම දන්න කියන ප්ලේන් ටී, ග්‍රීන් ටී, කිරි තේ වලට අමතරව මසාලා කිරි තේ, ස්ට්‍රෝබෙරි තේ, වැනිලා තේ, ඉඟුරු තේ වගේ විශේෂ තේ වර්ගත් මෙතන තියෙනවා. එතකොට මේ ටී ට්‍රේන් කට්ටියටම ආවේණික ග්‍රීන් ටෝ මිස්ට්‍රි ඩ්‍රීම් වගේ, බනානා ස්මූදි වගේ විශේෂත් මෙතන තියෙනවා. මීට අමතරව තව බොන්න ජාතිත්, කන්න ජාතිත් සෑහෙන්න හොයාගන්න පුළුවන් මෙතනින්. ඒ වගේම ඕන නම් හොඳ ශ්‍රී ලංකන් ප්‍රීමියම් තේ කොළ එකක් ගෙනියන්න ගන්නත් පුළුවන්.
තැන මෙතන:
7. ඇඩ්මා ඇග්‍රෝ ස්ට්‍රෝබෙරි ෆාම් ෂොප්
නුවර එළියේ ගිහිල්ලත් ස්ට්‍රෝබෙරි අරං එන්න බැරි නම් ඒ නුවර එළි ගමන මක්කටෙයි කියලා හිතනවා නම්, ස්ට්‍රෝබෙරි ටිකක් ගන්න කියලා ගොඩක් දෙනෙක් ගොඩවදින තැනක් තමයි මේ. ඇත්තටම මේක ස්ට්‍රෝබෙරි වගා කරන බ්‍රෑන්ඩ් එකක්. ඒ අයගේ ස්ට්‍රෝබෙරි ප්‍රඩක්ට්ස් වෙනුවෙන් තමයි මේ ෆාම් ෂොප් එක ඇරලා තියෙන්නේ. හැබැයි මෙතන ඉතාම රසවත් ස්ට්‍රෝබෙරි නිෂ්පාදන තියෙන අපූරු ස්ට්‍රෝබෙරි මෙනු එකක් තියෙනවා. ෆ්‍රෙෂ් පිට කන්න තියෙන ස්ට්‍රෝබෙරීස් වගේම, ස්ට්‍රෝබෙරි ෂේක්, ස්ට්‍රෝබෙරි ජූස්, ක්‍රීම් විත් ස්ට්‍රෝබෙරි, අයිස්ක්‍රීම් විත් ස්ට්‍රෝබෙරි, පෑන්කේක් විත් ස්ට්‍රෝබෙරි, චොකලට් තවරපු ස්ට්‍රෝබෙරි විතරක් නෙවෙයි, ස්ට්‍රෝබෙරි පීසා ගන්නත් තියෙනවා! ඇත්තටම ස්ට්‍රෝබෙරි පීසා එක නම් අපිට අමුතුම අත්දැකීමක් වුනා. ඒ නිසා නුවර එළියේ ස්ට්‍රෝබෙරි රස විඳින්න නම් මෙන්න ගොඩවදින්න ඕන තැන.
තැන මෙතන:
Leave a Reply