කාසි දැමූ විට දුරකථන ඇමතුම් ලබාගත හැකි දුරකථන ඇමතුම් යන්ත්‍ර වර්ෂ දෙදාහේ මුල් දශකය තුල වඩාත් ජනප්‍රිය විය. අප රටේ වඩාත් ප්‍රචලිත නොවූවත් මුදල් හෝ කාසි යෙදීමෙන් බඩු බාහිරාදිය ලබාගත හැකි අලෙවි යන්ත්‍ර ලොවට පැමිණිලා නම් බොහෝ කාලයක් වේ. මීට වසර 2000කට ප්‍රථම ඊජිප්තු ග්‍රීක ගණිතඥයෙකු විසින් කාසියක් දැමීමෙන් ශුද්ධ වූ ජලය ලබාගත හැකි යන්ත්‍රයක් නිපදවනු ලැබීය. එයින් ඇරඹි මෙම අලෙවි යන්ත්‍ර සේවකයින් රහිතව බඩු බාහිරාදිය විකිණිය හැකි කදිම ක්‍රමයක් වූ බැවින් විවිධ දේ විකිණීම සදහා භාවිතා වන්නට විය. එයින් තරමක වෙනස් අන්දමේ ස්වයංක්‍රීය අලෙවි යන්ත්‍ර කිහිපයක් ගැන අපි දැනකියා ගනිමු.
1. කකුළුවන් බෙදන යන්ත්‍රය
චීනයේ ශින්ජියෑන් හි අගනුවර වූ හංශු පලාතේ මෙම පණ ගහන කකුළුවන් බෙදන යන්ත්‍රය තිබේ. කකුළුවන් යනු පණපිටින්ම විකිණෙන විශාල අඬු සහිත මුහුදු ජීවියෙකි. පණ ගියොත් කකුළුවාගේ අගය සැණෙන් බිඳ වැටේ. මෙම යන්ත්‍රයෙන් ගන්නා කකුළුවෙකු පණ නැති මියගිය එකෙක් වුවහොත් එ් සඳහා අලුත්ම කකුළුවන් තුන් දෙනෙකු ඒ අය වෙත නිකුත් කරන්නට ද මෙම යන්ත්‍රයෙන් කකුළුවන් බෙදන ආයතනය තීරණය කොට තිබේ.
2. අයිස් ක්‍රීම් බෙදන යන්ත්‍රය
අයිස් ක්‍රීම් බෙදන තැන්වලදී විවිධාකාර පාට සහ රස ඇතුලත් අයිස් ක්‍රීම් ආස්තරයන් ඇසට ප්‍රිය පරිදි පිලියෙළ කොට ලබාදීම සිදුකරනු ලැබේ. ඒ ආකාරයටම අයිස් ක්‍රීම් වර්ග තෝරාගත් විට අදාල මුදල ගෙවූ පසු අයිස් ක්‍රීම් තට්ටු තට්ටු ඒ නියමිත ද්‍රව්‍යද සමගින් නිකුත් කිරීමට මෙම අයිස් ක්‍රීම් බෙදන යන්ත්‍ර සමත්ය.
3. පීසා බෙදන යන්ත්‍රය
පීසා එකක් කන්නට පීසා කඩයකට ගොඩ වූ පසු එය හදන්නට විනාඩි 15ක් විස්සක් කොහොමත් ගත වෙන බව පීසා කන්නට හදිසියේ හෝ ගිය අයෙකු දනී. එහෙත් ඇමරිකාවේ ඔහියෝ සරසවියේ සිසුන් නිපදවා තිබූ ආදර්ශ මෙම පිසා මැෂිමෙන් පීසා මාදිලි 12ක පීසා එවෙලේම තනා නිකුත් කරන්නට සමත්ය. පීසා එකට අන්තර්ගත විය යුතු ටොපින් ආදිය ද මෙම පීසා දෙන යන්ත්‍රයේදී තෝරාගත හැකිය. එහෙත් ඒ වැඩිපුර දේවල් එකතුකරගන්නවා නම් ඒ සදහාද මුදලක් ගෙවූ පසුයි පීසා එක හැදීම හා නිකුත් කිරීම සිදුවන්නේ.
4. නූඩ්ල්ස් මැෂිම
බස්නැවතුම දුම්රිය පොලක සිටින විට අහල පහල තැනක විශ්වාසදායිව කටට රසට නූඩ්ල්ස් ටිකක් පිරිසිදුවට කන්න තිබෙනවා නම්? අපිරිසිදු කඩවල් වලින් බඩ ගැන අවිශ්වාසයට කනවාට වඩා එය හොඳ තෝරාගැනීමක් නේද? ඒ අවශ්‍යතාවය අඳුනාගත් චීනයේ නිශ්පාදකයින් නූඩ්ල්ස් නිෂ්පාදන මැෂින් සහ ඒවා මුදලට බෙදන මැෂින් නිෂ්පාදනය කොට තිබෙනවා. අවශ්‍ය රස සහ වර්ගය තෝරාගෙන අදාල මුදල් ගෙවීමෙන් නූඩ්ල්ස් පිඟානක් එවෙලේම ස්වයංක්‍රීයව ඔබට ලබාගන්නට මෙම නූඩ්ල්ස් මැෂිම හරහා හැකියි.
5. බැගැට් බෙදන Baguette යන්ත්‍රය
ඉස්සර ගම්වල මලගෙදරක, සංගීත සංදර්ශනයක, පිංකමක, කඨිනකයක හෙම රෑ නිදිමරලා කොල්ලෝ කුරුට්ටෝ පාන්දරින් ගෙවල් වල යද්දි බේකරිය ගාවදි බේකරියේ පාන් සහ බනිස් නිශ්පාදන වලින් හමන සුවඳ කොලු පිරිස බේකරිය දෙසට අද්දවන්නට සමත්. ඉතිං බේකරියේ වැඩ කරන අය දොරවල් වහගෙන ඒ වෙලාවේ ගජරාමෙට පාං බනිස් හදන වැඩ වුණත් මේ කොල්ලෝ කුරුට්ටන්ගේ ගේට්ටුවට හෝ දොරට ගැසීමේ කරදරයෙන් ගැලවෙන්න අමාරුයි.
ප්‍රංශයේ පාං වර්ගයක් වන බැගට් නිශ්පාදක බේකරි මහත්මයෙකුටත් පෑ 24ම පාන් ඉල්ලලා දොරට තඩි බාලා වද දෙන පාරිභෝගිකයින්ගෙන් ගැලවෙන්නට උවමනා වුණා. ඔහුත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ගෙනත් සවිකලා වෙන්ඩින් මැෂිමක්. ඒකෙදි බැගට් කියන ප්‍රංශ පාන් ජාතිය හදලා ලෝඩ් කරලා තියෙනවා රෑකට සරිලන්න. ඉන් පස්සේ අවේලාවේ ඇවිල්ල පාන් අවශ්‍ය අයට මුදල් ගෙවලා පාන් රැගෙන යන්න අවස්ථාව මෙම බැගට් බෙදන යන්ත්‍රය නිසා ඒ අවට ජනතාවට උදා වෙලා තිබෙනවා.
6. ගිටාර් ස්ටික් සහ ඩ්‍රම් ස්ටික්
ඩ්‍රම් ස්ටික් කියලා බැදපු කුකුල් කකුල් වලටත් කියනවා. මේ ඒ ගැන නම් නෙමෙයි කතාව. ගුත්තිල මූසිල කතාවෙදි මූසිල වැඩ දාන්න ගිහින් වීනාවේ ස්ට්‍රින්ග් එක කඩාගන්නවා. ඉතිං ලගපාත ස්ට්‍රිං එකක් නැති නිසා හෝ තිබුණත් අමුනාගැනීම වෙලා යන වැඩක් නිසා මූසිල පරාද වෙනවා. මහ රාත්‍රියේ මෙටල් මියුසික් වලට රොක් මියුසික් වලට ඩ්‍රම් සෙට් පුපුරන්න ගිටර් ස්ට්‍රිං කැඩෙන්න සෙල්ලම් කරන පිරිස ඒවා කඩාගන්න එක ඇමරිකාවේ ඔරෙගන් වල නිතර සිද්ද වෙන්න ගත්තා. ඉතිං මහ රෑ වුණත් විසිහතර පැයේම ඇරපු ATM මැෂින් වලින් සල්ලි ගන්නවා වගේ ලේසියෙන් ඩ්‍රම් ස්ටික් සහ ගිටාර් ස්ට්‍රිංග්ස් වෙන්ඩින් මැෂිමෙන් ගන්න දැන් ඔරෙගන් වල රෑ පාටි දාන අයට හැකියි.
7. බයිසිකල් පාට්ස්
පදින බයිසිකලයක් සමන්විත වෙන්නේ සරල උපාංග කිහිපයකින්. ඒ ඇතැම් කොටසක් ගැලවී ගියොත් අපිට වුණත් විංකල් එකට එනකල් හෝ ටවුමට ගිහින් එනකල් බයිසිකල පදින්නට වෙන්නේ නෑ. වාහන ආගමනය සමග අපේ නගරවලින් බයිසිකල් ඈත් වුනාට ලෝකයේ දියුණු රටවල දැන් දැන් ආයෙමත් අලුතින් බයිසිකල් පාරවල් වෙන්කරලා, බයිසිකල් පදින අයට පාකින් එහෙම දීලා දියුණු කරලා තිබෙනවා. මේ බයිසිකල් පාට්ස් වෙන්ඩින් මැෂින් එක නිව්යෝක් වල බෘෘක්ලින් වල තමයි පිහිටලා තිබෙන්නේ. බයිසිකල් එකේ පාට්ස් ගියාද කෙලින්ම මැෂිම ගාවට ගිහින් අවශ්‍ය ඩොලර් ගාණ ගෙවලා බයිසිකල් පාට්ස් මිලදි ගන්නට මේ හරහා හැකියි.
8. අපේ කොන්ඩම් මැෂිම
පසුගිය වකවානුවේ කොන්ඩම් විකිණීමට අලෙවි යන්ත්‍රයක් පැමිණිම අපේ ඇතැමුන්ට විශාල ප්‍රවෘත්තියක් වුණා. රාග සිතුවිලි ඇවිලෙන්නට නියමිත තැනක් වෙලාවක් නැහැ. ලිංගික සංසර්ගයකට කටයුතු යෙදන හැම වෙලාවකටම ෆාමසි ඇරලා තිබේද කියා සිතන්ටත් අමාරුයි.ඇතැම් අය තවමත් කඩයකට ගොස් කොන්ඩම් මිලදී ගන්නටත් බයයි. අනවශ්‍ය ගැබ්ගැනිම් වළකන දරුණු ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා කරන උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් කියන්නෙ බොහෝම සාමාන්‍ය දෙයක්. එය වෙන්ඩින් මැෂිමක තිබීමත් පුවත් මැවිය යුතු තරම් අරුමැති දෙයක් නෙමෙයි.
9. වෙන්ඩින් මැෂින් සහ අපි
වෙන්ඩින් මැෂින් කියන්නේ කොළඹ සිටින අයට පවා තවමත් අලුත් සංකල්පයක්. කිසිදු සහායකයෙක් නැතිව ඒ ටී එම් මැෂිමකින් මුදල් ගන්නවා හා සමානව බඩුබාහිරාදිය , කෑම වර්ග ආදිය ලබාගන්නට හැකිවීම වෙන්ඩින් මැෂින් වල වාසියක්. ලෝකයේ වෙන්ඩින් මැෂින් සංකල්පය පුළුල් ලෙස පතල වී තිබෙනවා. තාක්ෂණය පැමිණීමත් සමග අලෙවි ක්‍රමවේදත් ඒ හා සමානවම වෙනස් වී තිබෙනවා. කැමති වුනත් අකමැති වුනත් අපිට වෙන්ඩින් මැෂින් අනාගතයේදී සෑම කඩපිලක් හංදියක් ගානේම දකින්නට ලැබෙන සරල උපකරණයක් බවට නම් පත් වේවි.
Cover Image Source – pintarest.com
Leave a Reply