හරිම දේ තෝරගන්නා පාරිභෝගිකයෙක් විදියට ගණන් වැඩි බඩුමුට්ටු ගන්නේ මෙහෙමයි

සාමාන්‍යයෙන් අපි මිලදී ගන්න දේවල් දිහා බැලුවහම, ගණන් අඩු සාමාන්‍ය දේවල් සහ ගණන් වැඩි දේවල් කියලා බෙදන්න පුළුවනිනේ. මේ ගණන් වැඩි දේවල් කියන එක කෙනෙක්ගේ ආර්ථික ශක්තියත් එක්ක සාපේක්ෂ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් කොයි තරම් සල්ලිකාරයෙක් වුනත්, රුපියල් විසිතිස්දාහක මොකක් හරි භාණ්ඩයක් ගන්න ගියත්, හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්නවා නම් එයා මොළේ තියෙන, ප්‍රායෝගික පාරිභෝගිකයෙක් විදියට සලකන්න බෑ. මෙහෙම කියන්න හේතුව මේකයි. සාමාන්‍යයෙන් ගණන් වැඩි දෙයක් අපි ගන්නේ එක පාරක් පාවිච්චි කරලා වැඩක් නෑ කියලා විසික් කරන්න නෙවෙයිනේ. ආන්න ඒ නිසා ටිකක් ගණන් වැඩි බඩුවක් භාණ්ඩයක් ගන්නකොට මොළේ පාවිච්චි කරන්නේ, ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ කියන්න හදන්නේ. එතකොට මේ ගණන් වැඩි භාණ්ඩ කියලා අපි අදහස් කරන්නේ ස්මාට්ෆෝන්, කම්පියුටර්, වොෂින් මැෂින්, ලී බඩු වගේ ඕනම දෙයක් ගැන.

 

හැබැයි මේ සමහර කරුණු ගාණෙන් අඩු දේවල් ගන්නකොට වුනත් අදාළ වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන.

 

1. මට ඇත්තටම මේක ගන්න ඕනද?

ඇත්තටම අපි සමහර බඩු ගන්න හදන්නේ අවශ්‍ය නිසා නෙවෙයි. එක්කෝ අනික් අයත් ගන්න නිසා. එහෙමත් නැතිනම් ඔය ඇඩ්වර්ටයිසින් ඔස්සේ නිර්මාණය කරන ව්‍යාජ අවශ්‍යතාවය නිසා. ඒ කියන්නේ අපිට හිතෙන්න ගන්නවා අපිට මේක ජීවිතේට අවශ්‍යයි කියලා. හැබැයි අරගෙන ටික කාලයක් යනකොට ඒ මිලදී ගත්තු ආතල් එක ඉවර වුනහම, තේරෙන්න ගන්නවා අපිට මේකෙන් වැඩක් නෑ කියලා. හොඳම උදාහරණය තමයි අර ඉස්සර ආපු ඇබ් කින්ග් ප්‍රෝ එක. ඕක මිනිස්සු පිස්සුවෙන් වගේ ගත්තට, ඒ ගත්ත ඇබ් කින්ග් ප්‍රෝ එක්සයිස් මැෂින් ගොඩක් පාවිච්චි වුනේ රෙදි වේලෙන්න දාන්න!

 

ආන්න ඒ නිසා මුලින් හිතලා බලන්න තමන්ට මේ භාණ්ඩයේ තියෙන උපයෝජ්‍ය වටිනාකම මොකද්ද? තමන්ට මේකෙන් කරන දේම ගෙදර තියෙන වෙනත් දේකින් කරගන්න පුළුවන්ද කියන එක.

 

2. ගණන් කොහොමද?

ඇත්තටම ගණන් වැඩි භාණ්ඩයකට මුදල් වෙන් කරන්න කලින් බලන්න ඕන අපි ඒක ගන්නේ මොන ගාණටද කියලා. මේකට ඉතින් තැන් කීපයකින්ම මිල ගණන් විමසුම් කරලා බලන්න වෙනවා. හැබැයි එකක්. සමහර වෙලාවට මේ අදාළ භාණ්ඩය බලයලත් අලෙවි නියෝජිත ගාව ගාණ වැඩි වෙන්න පුළුවන්. පිටකොටුවේ යාලුවෙක් කියපු කඩේක දෙතුන්දාහක් අඩුවට තියෙන්න පුළුවන්. හැබැයි ගාණ අඩු වුනාට බඩුවේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්, ආයෙ ඒ කඩේ හොයාගන්න නැති වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා මේ මිල ගණන් සසඳන කොට සලකා බලන්න ඕන වොරන්ටිය, අලෙවි නියෝජිත සහ විශ්වාසනීයත්වය කියන කාරණාත්.

 

3. වොරන්ටි කොහොමද?

මේකත් අනිවා හිතන්න ඕන කාරණාවක්. සාමාන්‍යයෙන් වොරන්ටි නැතුව ගන්නකොට බඩුවක ගාණ අඩු වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි බඩුවේ මොකක් හරි නිෂ්පාදන දෝෂයක් තිබිලා වැඩ කරන්නේ නැතුව ගියහම තමයි වොරන්ටියේ අගේ තේරෙන්නේ. මොකද, හරි වොරන්ටි එකක් තියෙනවා නම්, නිෂ්පාදන දෝෂයක් නිසා බඩුවට බඩුවක් මාරු කරන්න සිද්ධ වුනත් වොරන්ටියෙන් ඒක ආවරණය කෙරෙනවා. අන්න ඒ නිසා හැම වෙලේම ලොකු ගණන් බඩු ගන්නකොට වොරන්ටිය ගන්න එක ඇඟට ගුණයි. හැබැයි දෙවෙනි කාරණාව: හැම වෙලේම බලයලත් අලෙවි නියෝජිතවරයාගෙන්ම වොරන්ටියක් ගන්න එකත් ඒ වගේම ඇඟට ගුණයි. හේතුව: නිකම්ම සෙලර් වොරන්ටි එකක් ක්ලේම් කරගන්න ගියහම වාත වෙන්න පුළුවන්. සෙලර් බිස්නස් එක වහලා දාලා යන්න පුළුවන්.

 

4. ගෙවන මුදලට වටිනවද?

මෙන්න මේකට ඉතාම වැදගත්. උදාහරණයක් විදියට ගත්තොත්, අපි රුපියල් ලක්ෂ බාගයක් විතර දීලා ෆෝන් එකක් ගන්නවා නම්, ඒක එක පාරක් බිම වැටුණු ගමන් ස්ක්‍රීන් එක කුඩු වෙනවා නම් මොකද්ද ඇති පලේ? අන්න ඒ නිසා අපි ගෙවන මුදලට අපිට ලැබෙන වටිනාකම මොකද්ද කියලා බලන්න ඕන. මේ වටිනාකමට ඇතුළත් වෙනවා කල් පැවැත්ම, ලැබෙන විශේෂාංග වගේ දේවල්. ඉතින් ඔන්න ඕවා කිරලා මැනලා බලන එක බඩුවක් ගන්නවද නැද්ද කියන තීරණයට වැදගත් වෙනවා.

 

5. වැඩි වැඩ වලට වැඩියෙන් ගෙවන්න ඕනද?

මේක ඇත්තටම ඔය සේල්ස් කට්ටිය කරන ට්‍රික් එකක්. ඔන්න අපි යනවා ටැබ් එකක් ගන්න. එතකොට ටැබ් එක පෙන්නලා කියනවා මේකට කීබෝඩ් කවර් එකකුත් ගමු කියලා. මේකට ස්ටයිලස් එකකුත් ගමු කියනවා. හබ් එකකුත් ගමු කියනවා. ඔන්න ඔය වගේ පණස් දාහෙන් වෙන්න තිබුණු වැඩේ අසූදාහට නග්ගන්න සේල්ස් කරන කට්ටිය දක්ෂයි. ඒකේ වැරැද්දකුත් නෑ. හැබැයි අපි හිතලා බලන්න ඕන අපිට මේ වැඩි වැඩ වලට ගෙවන්න අවශ්‍යද කියලා. උදාහරණයක් විදියට ගත්තොත්, කම්පියුටර් එකක් ගන්න ගියහම හොඳ ගේමින් වලට හරියන ග්‍රැෆික් කාඩ් එකක් ගහමු, ඒකට ඕන නං තව විසිදාහක් වැඩිවෙයි කියලා සේල්ස් රෙප් කියනවා. දැන් අපි හිතන්න ඕන අපිට ඒක ඕනද කියලා. ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්න, ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන කම්පියුටර් එකකට හයිලෙවල් ග්‍රැෆික් කාඩ් ඕන නැහැනේ. ආන්න එතකොට ඒක එපා කියන්න පුළුවන් වෙන්න ඕන.

 

6. ආදේශක තියෙනවද?

මේකත් ඇත්තටම භාණ්ඩය ගන්න කලින් කරන රිසර්ච් එකට තමයි වැදගත් වෙන්නේ. අපි සමහර වෙලාවට බ්‍රෑන්ඩ් වලට ගිණිකන වැටෙනවා. ඒවම ගන්න ඕන කියලා හිතනවා. හැබැයි යම් කිසි භාණ්ඩයක බ්‍රෑන්ඩ් එක අනාදිමත් කාලයක් තිස්සේ පවතිනවා වෙන්න පුළුවන්. හැබැයි දැන් අලුත් බ්‍රෑන්ඩ් එකකින් ඒ භාණ්ඩයම තියෙන්න පුළුවන් වඩාත් කොලිටියට. ආන්න එතකොට අර පරණ බ්‍රෑන්ඩ් එකටම වැඩියෙන් ගාණක් ගෙවන්න ඕන කියලා නියමයක් නෑ.

 

මේකේ තව පැත්තක් තියෙනවා. සමහර වෙලාවට අපිට ගන්න ඕන වෙන භාණ්ඩයෙන් කෙරෙන වැඩේම සිද්ධ වෙන, ඒත් ඔටෝමැටික් නැති තව භාණ්ඩයක් තියෙන්න පුළුවන්. ඒක අරක වගේ වැඩ කෑලි නැති වුනාට ෂුවර් පිට අදාළ වැඩේ කරගන්නත් පුළුවන්, අඩු ගාණට ගන්නත් පුළුවන් එකක් කියමු. අන්න එතකොට අපි තීරණය කරන්න ඕන මොකක්ද තමන්ට හොඳ කියලා.

 

7. හැමදේම කියවන්න, හැමදේම අහගන්න

මේක ඉතාම වැදගත්. තමන් හැමදේම දන්නවා කියලා හිතන්නේ නැතුව, අදාළ භාණ්ඩය ගන්න කලින් ඒක ගැන හොඳ හැටි විස්තර විකුණන අයගෙන් අහගන්න. ෂුවර් නැති තැනක්, තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ආයෙත් ආයෙත් අහන්න. මෝඩ ප්‍රශ්න අහන්න. මෙහෙම විස්තර අහනකොට, කෙනෙක්ට අපිව අන්දලා බඩු විකුණන්න පවා අමාරුයි. ඒ වගේම දැන් ඉන්ටර්නෙට් එකේ හැමදෙයක්ම හොයාගන්න තියෙනවනේ. අන්න ඒ නිසා තමන්ට ගන්න ඕන භාණ්ඩය ගැන තියෙන රිවීව් බලන්න. අනික් මිනිස්සු ඒ ගැන කියන්නේ මොනවද කියලා බලන්න. මෙන්න මේ රිසර්ච් එක ඉතාම වැදගත්.

 

8. රිසිට්, වොරන්ටි කාඩ් ලඟම තියාගන්න

හරි. දැන් බඩු ගත්තනේ. එහෙමනම්, බඩු  ගත්තු රිසිට් එක, වොරන්ටි කාඩ් එක අනං මනං ඔක්කොම ලඟ තියාගන්න. බඩුවත් එක්ක එන එක බුක්ලට් එකක්වත් විසික් කරන්න එපා. මේ හැමදෙයක්ම අවශ්‍ය මොහොතකදී ප්‍රයෝජනවත් වෙනවා.

 

ඒ වගේම වැදගත්ම  කාරණයක් තියෙනවා. කරදාසිය ලිපේ දැම්මා වගේ හිතපු ගමන් ගිහින් ගණන් වැඩි භාණ්ඩ ගන්න හිතන්න එපා. වරදින්න පුළුවන් ඉඩ ඉතාම වැඩියි. පොඩ්ඩක් ඒ ගැන හොයන්න බලන්න කාලය ගන්න. ඉන් පස්සේ උඩ කියලා තියෙන විදියට ඥාණවන්ත තීරණයක් ගන්න.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *