කොවිඩ් නිසා දරුවකු ඉපදීම කියන සිද්ධියත් ඉස්සර වගේ අපිට අසිරිමත් දෙයක් විදිහට කරගන්න බැරිවෙලා තියෙනවා. අම්මා කාසල් රෝහලේ බබා ලැබෙන්න නැවතුනත් බලන්න යන්න වෙන්නේ එක් කෙනෙක්ට විතරයි. ඒකත් ගිහින් අම්මාව එලියෙ ඉඳන් කවුන්ටරේකින් වගේ බැහැදැකලා, කතාබහ කරලා එන්න ඕනි. රජයේ රෝහල්වල තිබෙන කොවිඩ් රෙගුලාසි නිසා පෙර වගේ පවුලේ අයට ගිහින් මවගේ හිත හැදෙන්න වචනයක් කතාකරන්නට තියෙන අවස්ථාත් දැන් අහිමි වෙලා. ලංකාවෙ නම් කොවිඩ් නිසා දරු උපත් අඩු වෙලාද වැඩි වෙලාද කියලා හරි අදහසක් නැහැ. ඒත් ගෝලීය වශයෙන් දරු උපත් අඩුවේවිය කියලා තමයි ලෝක සෞඛ්‍ය අංශ සැක පහළ කරන්නේ.
1. ගූග්ල් සෙවීම් අඩුවෙලා
දැන් කාලේ ඇමරිකාවේ, යුරෝපයේ දරුවෙකු පිළිසිඳගන්න ලක්ෂණ එනකොට අම්මලා තාත්තලා ඒ දරු පිළිසිඳ ගැනීමේ ලක්ෂණ ගැන හරි හරියට ගූගල් කරනවා. මේ පැන්ඩමික් කාල සීමාව තුළ එසේ දරු උපත් ලක්ෂණ ගැන සෙවීම සෑහෙන අඩුවෙලා කියලා ගූග්ල් සමාගම ප්‍රකාශ කරලා තිබුණා. ඇමරිකාව තුළ පමණක් 2021 වසරෙදි දරු උපත් 15% කින් පමණ අඩු වන බවට අනාවැකි පළ වෙලා තියෙනවා.
2. කොවිඩ් අපහසුතා
කොවිඩ් නිසා ලොව පුරා මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයන් පහළට වැටිලා තියෙනවා. රැකියාවන් අහිමි වෙලා. තිබෙන රැකියාවෙත් දීමනා ආදිය අඩු වෙලා. සමහර අයගේ වැටුප් අඩු කරලා. ටුවරිසිම් සහ ප්‍රවාහන ක්ෂේත්රවල අයගේ රැකියා දැඩි අවදානමකට ලක් වෙලා. දරුවක් හදන්න කලින් බොහෝ අය ටිකක් ස්ථාවර ආර්ථික මට්ටමක් පවත්වාගන්නට උත්සාහ කරනවා. ඉතින් කොවිඩ් තත්ත්වයෙන් ඇතිවුණ ආර්ථික පීඩනය එක්ක මෙම කාලය දරුවෙක් හදන්න හොඳ කාලයක් විදිහට බොහෝ තරුණ දෙමාපියන් දකින්නෙ නැතුව ඇති.
3. සෞඛ්‍ය සේවාවන් වල අපහසුතා
අපේ රටේ රජයෙන් සියලු සෞඛ්‍ය සේවාවන් සැපයුවත් ඒ තැන්වලත් කොවිඩ් නිසා අපහසුතාවන් වලට රෝගීන්ට ලක් වන්නට සිදු වෙනවා. වෙනත් රටවල තිබෙන සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේද සහ ඒ රෝහල් ක්‍රමවේද පවා කොවිඩ් නිසා කාර්යබහුල වෙලා. මේ කාලයේදී මාතෘ නිවාස ආදිය හරහාත් කොවිඩ් පැතිරෙන අවදානමක් තියෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවාවන් වලට, ක්ලිනික් වලට යොමු වෙන්න තියෙන අපහසුතා එක්ක මේ කාලය දරුවන් හදන්න සුදුසු කාලයක් විදිහට මව්වරුන් දකින්නේ නැහැ.
4. පිලිපීනයේ දරු උපත් වැඩිවීම
පිලිපීනයේ නම් මේ කාලසීමාවේ දරු උපත් වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගේ දීර්ඝ ලොක් ඩවුන් තත්ත්වයන් නිසා යුවළවල් වලට කොන්ඩම් සහ වෙනත් උපත් පාලන ක්‍රම සොයාගන්නට අපහසු වෙලා. ඒ නිසා උපත් පාලන ක්‍රමවේද සොයාගන්නට නොහැකි නිසා හදිසි ගැබ්ගැනීම් රැසක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසාම මාතෘ රෝහල් පිරී ඉතිරී ගිහින් ඒ හරහා කොවිඩ් පැතිරෙන අවදානමකුත් තිබෙන බව පිලිපීනයෙන් වාර්තා වෙනවා. ඒත් දියුණු රටවල් රැසක නම් මෙයට විරුද්ධ ලෙස දරු උපත් අඩුවීමක් තමයි වාර්තා වෙන්නේ.
5. ජෝඩු ඇතිවීම අවම වීම
දරු උපත් ඇතිවන්නට නම් ඒ කාර්යය උදෙසා දෙදෙනෙක් ලිංගිකව එක්විය යුතු වෙනවා. මිනිසුන් විදිහට ලිංගිකව එක්වීම කියන්නේ සංස්කෘතිය හා සබැඳුණු සිදුවීමක්. කොවිඩ් තත්ත්වය එක්ක මෙසේ යුගල ඇතිවීම සීමා වෙලා තියෙනවා. අප රටවල පවා බස් රියේ, දුම්රියේ සහ සෑම තැනකදීම සෝෂල් ඩිස්ටන්ස් පවත්වාගැනීම නිසා සිදුවන දුරස්ථ බාවය හේතුවෙන් එකිනෙකා මුණගැසීම්, උත්සව සාද ආදිය සීමා වෙලා තියෙනවා. මේ නව ජෝඩු ඇතිවීම අඩු වීම කොවිඩ් හේතුවෙන් දරු උපත් අඩුවීමට බලපාල තියෙනවා.
6. ඓතිහාසික අඩු වීම
මීට පෙර ලොව කැළඹූ 1918 ස්පාඤ්ඤ උණ වසංගත අවස්ථාවේදීත් ලෝකයේ දරු උපත් සීඝ්රයෙන් අඩු වෙලා තිබුණා. ඒ නිසා 1919 වර්ෂයේදී දරු උපත් අඩු වෙලා තිබුණා. ඊට පසු දෙවන ලෝක යුද්ධ කාලසීමාවෙදිත් දරු උපත් ඇතිවීම සීමා වෙලා තිබුණා. සාමාන්‍ය විපතකට වඩා වෙනස් වන මේ වසංගත තත්ත්වයකදී දරු උපත් අඩුවෙන බවක් තමයි ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ. දැනට ලෝකයේ කොහොමත් දරු උපත් අඩු වීම නිසා ජපානය, ස්පාඤ්ඤය වැනි රටවල් පීඩා විඳිනවා. ඒ රටවල අනාගතය බාරගන්න දරුවන් අඩුවීම ගැටළුවක්. කොවිඩ් තත්ත්වය නිසා දරු උපත් තවත් අඩු වුණොත් ඒ රටවලට එය තවත් දරුණුවට බලපාවි.
7. දුප්පත් රටවල තත්ත්වය
දුප්පත් රටවල දරු උපත් අඩුවෙයිද වැඩිවෙයිද කියන නිගමනය තවමත් දෙන්න අමාරුයි. මන්ද සංවර්ධිත රටවල් වගේ නෙමෙයි, ඒ රටවල ජනතාව ප්‍රශ්න දකින්නේ. මේ කාලේ ගෙදරට වලා ඥාතීන් එක්ක වැඩිපුර ඉන්න කාලේ ලැබිලා තියෙනවා. මේ කාලේ දරුවෙක් පවුලට එකතු කරගන්න හොදම කාලේ කියලත් ඇතැම් දෙමාපියන් හිතන්න පුළුවන්. ඒ වගේම තවමත් දරුවන් නොමැති ජෝඩු වල තියෙන පාළුව, කාන්සි ගතිය මේ කාලේදි වැඩියි. ඉතින් ආර්ථික සහ වෙනත් අපහසුකම් පසෙකලා දරුවෙකු ගැන හිතන්නට ඔවුන් පෙළඹෙනවා ඇති. මෙවන් වසංගත තත්ත්වයකදී දරු උපත් සංඛ්‍යාව දියුණු රටවලදි අඩුවෙනවා කියලා දැනටම පුරෝකථනය කරලා තියෙනවා. ඒත් අප වැනි රටවල දරු උපත් වැඩිවෙයිද අඩු වෙයිද කියන්න තවමත් හරිහැටි සාධක නැහැ.
මේ වසංගත තත්ත්වය නිමවීම ගැන තියෙන්නේ තවමත් බලාපොරොත්තුවක් පමණයි. වසංගතය නිමා වුවත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් වෙන්න 2021 වර්ෂයේදීත් හැකි වේවිද කියන ගැටළුව එහෙමම තියනවා. ඒ එක්ක දරු උපත් නැවත යථා තත්ත්වයට පත් වෙන්න කලක් යාවි කියලා විද්‍යාඥයින් මත පළ කරලා තියෙනවා. දැනටමත් දරුවන් සිටින පවුල් වලට ලෝකය පුරා වියදම වැඩිවෙලා. අධ්‍යාපනය ඔන්ලයින් මාධ්‍යයට යොමු වුවත් එයින් පොකට්ටුවට තවත් බර වැඩිවීමක් තමයි ලොව පුරා සිදු වෙලා තියෙන්නේ. ඒ එක්ක දරුවන් සිටින අයත් තවත් දරුවෙකු ගැන සිතන්න ඉක්මන් වෙන එකක් නැහැ. කොවිඩ් 19 වෛරස රෝගය, එය හැදෙන අයගේ පෙනහළු වලට පමණක් නොවේ අලුත් දරුවන් ඉපදීමට පවා බලපාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනව කියලා අපිට මෙයින් පේනවා.
Leave a Reply