අපේ වැඩට අපේ දෑතින් හැදෙන යන්ත්‍ර

විවිධ ප්‍රදර්ශන වල අපි අලුත් බඩු බාහිරාදිය නිතර දකිනවා. ඒ වගේම රූපවාහිනියේ සහ අන්තර්ජාලයෙත් අපි නව නිර්මාණ ලාංකිකයින් අතින් නිමවී තියෙනවා දකිනවා. ඒත් අපි බඩුවක් මුට්ටුවක් මිලදී ගන්නට වෙළඳපොලට ගියොත් බොහෝවිට අපිට මිලදී ගන්නට වෙලා තියෙන්නේ චීනේ බඩු එහෙම නැතිනම් ඉන්දියාවේ නිමවූ බඩු. ඉතින් මේ ප්‍රදර්ශන වලට සහ වැඩසටහන් වලට බඩු පෙන්වීමෙන් එහාට ගිහින් බඩු සැබැවින්ම නිෂ්පාදනය කරන සහ දැනටත් නිෂ්පාදනය කර සාර්ථක වූ අලුත් සැබෑ නිමැවුම්කරුවෙක් අපි ලයිෆි හරහා ඔබට හඳුන්වා දෙනවා. නමින් යසන්ත නිරෝශන් වන ඔහු මාතලේ ප්‍රදේශයේ යන්ටෙක් (Yantech Lanka) නමින් ඔහුගේම කුඩා නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යනවා. යන්ටෙක් සහ නිරෝශන් දායක වුණු සරල, එහෙත් වැදගත් නිර්මාණ කිහිපයක් ගැන අපි බලමු.

 

1. නෙබියුලයිසරයෙන් කොරෝනා පැතිරීම අවම කිරීමේ උපාංගය

 

නෙබියුලයිසර​ය කියන්නේ සෑම රෝහලකම තියෙන උපාංගයක්. ඇදුම අවස්ථාවේදී ඇතිවෙන ශ්වසන අපහසුතා අඩු කරන්නට වගේම ඖෂධ වායු මාර්ගයෙන් පෙනහළු කරා ළඟා කරගන්න මේ නෙබියුලයිසර් යොදාගන්නවා. මේ නෙබියුලයිසර​ය පාවිච්චි කරන කොට හුස්ම බොහොම ගැඹුරට ගන්නත් පිටකරන්නත් අවශ්‍ය වෙනවා. මේ පිටකරන හුස්ම හරහා වෛද්‍ය කාර්යමණ්ඩල වලට කොරෝනා බෝවීමේ අවදානමක් තියෙනවා. මේ නව යෙදවුම හරහා රෝගියාගෙන් පිටවෙන ප්‍රශ්වාස වාතය ප්‍රතිකාරයට ලක් කර පරිසරයට මුදා හැරෙනවා. ඒ තුළින් රෝගියාගේ ප්‍රශ්වාස වාතය හරහා කොරෝනා පැතිරීමේ අවදානම අඩු වෙනවා. මුලින් මෙය රසායනික ප්‍රතිකාරයක් හරහා ගොස් පසුව අධික උෂ්ණත්වය මගින් විෂබීජහරණය කොට පරිසරයට මේ ප්‍රශ්වාස වාතය නිකුත් කරන්නට ඉඩ සලසලා තියෙනවා. දැනටත් මාතලේ මහ රෝහලේ පාවිච්චි වෙන මේ යෙදවුම නිසා විශේෂ ඇඳුම් පැළඳුම් නැතිව වුවත් වෛද්‍ය කාර්යමණ්ඩල වලට නෙබියුලයිසර් පාවිච්චි කරන අයට සේවා සලසන්න හැකියාව ලැබෙනවා.

මේ කාර්යය සඳහා යන්ටෙක් ආයතනයේ නිරෝශන් ට මාතලේ මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය මදුමනී අබේවර්ධන මහත්මියගේ සහයෝගය ලැබී තිබුණා.

 

 

2. කොරෝනා පැතිරීම නැවතීමට මුහුණු ආවරණ

අපේ රටට කොරෝනා අවදානම ආවේ කවුරුවත් බලාපොරොත්තු වුණ වෙලාවක නෙමෙයි. ඒ එක්ක ඇඟ ආවරණය කරන ආවරණ වගේම මුහුණු ආවරණත් එකවරම තොග පිටින් අවශ්‍ය වුණා. රෝගීන් සොයා යන සහ රෝගීන්ට ප්‍රතිකාර කරන තැන් වලට මේ මුහුණු ආවරණ කරන ෆේස් ෂීල්ඩ් වැඩි වශයෙන් උවමනා වුණා. මේ අවස්ථාවේදී ඒ සඳහා නිර්මාණාත්මක දායකත්වයක් ලබාදුන් යන්ටෙක් ලංකා හි නිරෝශන්, වඩාත් ඉක්මනින් මේ මුහුණු ආවරණ නිපදවීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. ඒ හරහා ඉතා කෙටි කලකින් සාමාන්‍ය වෙළඳපොලේ පවතින බඩු බාහිරාදිය යෙදාගෙන මුහුණු ආවරණ නිපදවන්නට හැකියාව ලැබුණා. ඒ අවස්ථාවේදී ඒ සඳහා ශ්‍රම දායකත්වය සපයා ගන්නට කොරෝනා නිසා ඇතිවූ අපහසුතා නිසා, නාවික හමුදාපතිවරයාත් මැදිහත් වී මේ කොරෝනා මුහුණු වැස්ම නාවික හමුදාව හරහා නිපදවාගන්නට කටයුතු කරලා තිබුණා. සාමාන්‍ය තාවකාලික මුහුණු වැස්ම වලට වඩා ලේසියෙන් පළඳින්න පුළුවන් මේ මුහුණු වැස්ම විෂබීජහරණය කොට නැවත නැවත පාවිච්චි කරන්නට පුළුවන් වීම වාසියක් වුණා. ජාතික රෝහල, රිජ්වේ ආර්යා රෝහල, මාතලේ රෝහල ඇතුළු රෝහල් ගණනාවක තුන් දහස් ගණනක් මුහුණු ආවරණ මේ ක්‍රමය හරහා නිපදවාගන්නට හැකි වුණා.

මේ කාර්යයට ඉන්ජිනේරු සරත් සෙනෙවිරත්න සහ ආර්ට් ලොජිස්ටික් හි නදුන් ඒකනායක මහත්වරුන්ද දායක වී තිබුණා. එසේම මේ සඳහා කිරිබත්ගොඩ සිංහ සමාජයද සිය මූල්‍යමය දායකත්වය ලබා දී තිබුණා.

 

 

3. පට් පට් ගා මුරුක්කු හදන මුරුක්කු මැෂිම

මුරුක්කු හැදීම කෙසේ වෙතත් මුරුක්කු රස බැලීමට නම් හැමෝම ආසයි. මුරුක්කු හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. එයිනුත් එක සමාන ප්‍රමාණයෙන්, එක සමාන නිමාවකින් ආකර්ෂණීයව මුරුක්කු හදාගන්න එක ටිකක් අමාරු වැඩක්. මේ මුරුක්කු හැදීමේදී රවුම් හැඩයට තියෙන මුරුක්කු හැදීමට නිරෝශන් සහ පිරිස අරුම පුදුම යන්ත්‍රයක් නිපදවූවා. ඒ හරහා විවිධ ප්‍රමාණයේ මුරුක්කු නිපදවාගන්නට හැකියි. ඒ වගේම ඒ යන්ත්‍රයේ මුරුක්කු වල ස්වභාවය තීරණය කරන්නත් පුළුවන්. මේ වගේ මැෂින් ඉන්දියාව සහ වෙනත් රටවලින් ආනයනය කළත්, පසු සේවාව සහ මේ යන්ත්‍රයේ ඇති පහසුකම් එක්ක බලද්දි ලංකාවේ නිපදවූ මේ යන්ත්‍රය හැම අතින්ම ඉස්සරහින් ඉන්නවා. වාණිජමය අතිනුත් සාර්ථක වුණු මේ යන්ත්‍ර තිස් හතක් රට පුරා අලෙවි කොට තිබෙනවා. පැයකට මුරුක්කු දෙතුන් දාහක් වුණත් නිමවන්න පුළුවන් මේ මුරුක්කු යන්ත්‍රය මුල් යන්ත්‍රයට වඩා දැන් වඩාත් නවීකරණය කර ඉදිරිපත් කර තියෙනවා.

 

 

4. සී එන් සී කැටයම් යන්ත්‍රය

කම්පියුටරයිස් නියුමරික් කන්ට්‍රෝල් හරහා පාවිච්චිවන මේ සී එන් සී මැෂින් විවිධ ආකාරයේ කොටස් නිමවාගන්න ලෝහ සම්බන්ධ වැඩ වලට යොදාගන්නවා. මේ යන්ත්‍ර වලට පරිගණක හරහා විධාන ලබා දී අවශ්‍ය ආකාරයේ කොටස් හදාගන්නට පුළුවන්. මේ සී එන් සී යන්ත්‍ර හරහා කැටයම් කපන මැෂිමක් නිරෝශන්ගේ යන්ටෙක් ආයතනයේ නිමවා තියෙනවා. එහිදී ලංකාවේ බොහෝ විට කැටයම් කපන්න පාවිච්චි කරන තද ලී වල කැටයම් කපන්න පහසු වෙන ආකාරයට යන්ත්‍ර නිමවා තිබෙනවා. මේ සංකීර්ණ යන්ත්‍රයට කොටස් පිටරටින් ආනයනය කළත් සම්පූර්ණ යන්ත්‍රයේ ඩිසයින් එක සහ සැකසීම ලංකාවේදිම සකස් වෙනවා. මේ නිසා වඩු කාර්මිකයින්ට වගේම වෙනත් පසාරු කැටයම් ආදියේ නිරත වෙන අයට මේ යන්ත්‍රය අවශ්‍ය ප්‍රමාණ වලින් අවශ්‍යතාවය අනුව නිමවාගන්නටත් පුළුවන්. ලංකාවේම නිම වෙන යන්ත්‍රයක් නිසා අලෙවියෙන් පසු නඩත්තු සහ සේවා කටයුතු වලදී වගේම පුහුණු වීම් ආදී කටයුතු වලදිත් ලංකාවේ සේවා ලබාගන්න අයට ලොකු වාසියක් ලැබෙනවා. මේ තාක්ෂණය පාවිච්චියෙන් කැටයම් කැපීම තවමත් අපිට ආගන්තුකයි. ඒ වගේම සී එන් සී තාක්ෂණයත් ලංකාවේ තවමත් පවතින්නේ ආගන්තුක මට්ටමින්. මේ ලංකාවේම නිපදවෙන සී එන් සී යන්ත්‍ර නිසා ලංකාවේ අයට මේ වටිනා තාක්ෂණය ඉගනගන්න වගේම යන්ත්‍රවල වැඩකරන පුහුණුවත් ලැබෙනවා.

 

5. ලංකාවේ දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත සෙල්ලම් බඩු

දරුවන්ට සෙල්ලම් බඩු කිව්ව ගමන් දැන් ප්ලාස්ටික් ගොඩවල් හිතේ මැවෙන යුගයක් තමයි උදාවෙලා තියෙන්නේ. මේ ප්ලාස්ටික් වර්ග වලින් අඩුමිලට සෙල්ලම් බඩු නිෂ්පාදනය වුණත් මේ ප්ලාස්ටික් වර්ග හැම එකම දරුවන්ට සුදුසු නැහැ. සෙල්ලම් බඩුවක් ගත්තාම ඒක කටේ දාන, අත පත ගාන, ඒක ගලවන්න බලන දරුවන්ට ඇතැම් සෙල්ලම් බඩු එක්ක එන විෂ සහිත තීන්ත වර්ග සහ ප්ලාස්ටික් වර්ග වලින් යම් බලපෑමක් තියෙනවා. ඉතින් මේකට විකල්පයක් විදිහටත් දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වැඩිදියුණු කරන්නත් යසන්ත නිරෝශන් හිතුවා. ඔහුගේ ආයතනය මගින් කුඩා ලී සෙල්ලම් බඩු වඩාත් ආකර්ෂණීය ලෙසට නිමවන්නට කටයුතු කරලා තියෙනවා. ඒ හරහා දරුවන්ට හුදෙක් නිමැවූ සෙල්ලම් බඩුවක්ම නොව  ඔවුන්ට ගලවන්නට, යළි සවිකරන්නට හැකිවන ලී වලින් වඩාත් සවිමත්ව සෑදූ සෙල්ලම් බඩුවක් තෑගි දෙන්නට පුළුවන්කම දෙමාපියන්ට ලැබෙනවා.

 

6. වඩාත් කල්පවතින විශ්වසනීය යන්ත්‍ර

ඉඳිආප්ප යන්ත්‍ර, විවිධ හැඩයේ මුරුක්කු යන්ත්‍ර තවත් නිෂ්පාදනය කරන්නට මේ නිරෝශන් සහ යන්ටෙක් සමාගම සැදී පැහැදී ඉන්නවා. ලේසර් කටින් සහ සීඑන්සී ආදී නවීන තාක්ෂණ ප්‍රයෝග මේ යන්ත්‍ර නිෂ්පාදනය සඳහා යොදාගන්නවා. ඒ වගේම පරිගණක පාවිච්චි කර තාක්ෂණයේ උපකාරයෙන් කරන මේ යන්ත්‍ර නිපදවීමට හැකිතරම් තත්ත්වයෙන් උසස් උපාංග යොදාගන්නත් කටයුතු කරලා තියෙනවා. මෑතකදී කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇතිවූ පයින් ක්‍රියාකරන කරාම ආදිය පවා වඩාත් කල්පවතින ලෙස සිත් ඇදගන්නා සුළු ආකාරයෙන් නිපදවන්නට නිරෝශන්ගේ යන්ටෙක් සමාගම ක්‍රියාකරලා තිබුණා. මුළුමනින්ම තාක්ෂණය පාවිච්චි කර සිදුකරන මේ නිෂ්පාදන හුදෙක් ප්‍රදර්ශන භාණ්ඩ වලින් එපිටට ගොස් මිනිසුන්ට සැබැවින්ම සේවා සලසන බඩු බාහිරාදිය බවට පත් කරන එක නිරෝශන් සහ යන්ටෙක් ආයතනයේ අරමුණ වෙනවා.

 

7. අවශ්‍ය යන්ත්‍ර නිපදවා ගැනීමේ හැකියාව

ව්‍යාපාරයක් හෝ නිෂ්පාදනයක් කරන්න යන කෙනෙක්ට ලංකාවෙදි මුහුණ දෙන්න වෙන ලොකු ගැටළුවක් තමයි යන්ත්‍ර සොයාගැනීම. ඇතැම් වෙලාවට ඉන්දියාවෙන්, චීනෙන් යන්ත්‍ර ගෙන එන්න පුළුවන් වුණත්, එම යන්ත්‍ර ක්‍රියාකරවීම වගේම ඒවාට තාක්ෂණික සහය ලබාගැනීමත් අපහසු වෙනවා. ඒ වගේම අපිට යන්ත්‍ර පිටරටින් අපිට අවශ්‍ය විදිහට නිමවාගන්න පුළුවන් වුණත් ඒවා අපිට දෑසින් බලා අපේ අවශ්‍යතාවය අනුව නිමවාගන්න අපහසුකම් එනවා. ඒ එක්ක කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට අවශ්‍ය යන්ත්‍ර මෙවැනි ප්‍රායෝගික නිර්මාණකරුවන් හරහා නිමවාගැනීම හැම අතින්ම වාසිදායක වෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තයක් පටන් ගන්නා අයෙක්ට යන්ත්‍ර වෙනුවෙන් විශාල මුදලක් යටකොට එම යන්ත්‍රයෙන් අවශ්‍ය දේ නොලැබුණොත් එය විශාල ගැටළුවක් වෙනවා. එහෙත් මේ ලංකාවේම යන්ත්‍ර නිමවාගත හැකි වටපිටාව යන්ටෙක් වැනි ආයතන හරහා ලැබෙනවිට යන්ත්‍ර වඩාත් කාර්යක්ෂමව යොදාගන්නට පුළුවන්කම ලැබෙනවා.

 

දේශීය දේ මිලදී ගන්නට කැමති පිරිස් බොහෝ සිටියත්, දේශීය නිමැවුම්කරුවන් සොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මේ සැබැ නිමවුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් තවත් ප්‍රචලිත වුණොත් අපිට අපේ බඩු අපේ රටේ විතරක් නෙමෙයි, වෙනත් රටවලත් අපනයනය කරන තත්ත්වයට යන්නට හැකි වේවි. කොරෝනා නිසා මුළු ලෝකයම තමුන්ගේ රටවල නිර්මාණාත්මක හැකියාවන් වැඩිදියුණු කරගන්න උත්සාහ ගන්නවා. ලංකාවෙත් ඒ ගැන මේ කාලයේ ලොකු පිබිදීමක් තියෙනවා. ඒ එක්ක යන්ටෙක් සහ නිරෝශන්ලාගේ ඒ සැබෑ හැකියාවන්ට සැබෑ ආලෝකයක් ලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා ලයිෆි අපි ප්‍රාර්ථනා කරනවා.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *