දැන් ඔය ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් ෆෝන් හරි වෙනත් ස්මාට් උපාංගයක් හරි පාවිච්චි කරන කෙනෙක්ට අමුතුවෙන් කියන්න ඕන නැහැ ගූග්ල් ඇසිස්ටන්ට් කියන්නේ කවුද කියලා. එයා තමයි ගූග්ල් නිෂ්පාදන වලට සහාය සපයන ස්මාට් තත්‍යාසන්න සහකරු. මේක ඇත්තටම ආටිෆිෂල් ඉන්ජෙලිජන්ස් එකක් එහෙම නැතිනම් කෘත්‍රිම බුද්ධියක් විදියට තමයි හඳුන්වන්නේ. හැබැයි මේක අර විද්‍යා ප්‍රබන්ධ වල තියෙන ජාතියේ කෘත්‍රිම බුද්ධියක් නෙවෙයි. හැබැයි අපිට එදිනෙදා වැඩ වලට සෑහෙන්න සහායක් දෙන්න පුළුවන් විදියේ තත්‍යාසන්න කෘත්‍රිම බුද්ධියක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ, ගොඩක් දෙනෙක් ගූග්ල් ඇසිස්ටන්ට්ගෙන් ගන්න පුළුවන් වැඩ කිඩ ගැන හරියටම දන්නෙ නැහැ. අන්න ඒ නිසා අපි හිතුවා ගූග්ල් ඇසිස්ටන්ට් පාවිච්චි කරලා තමන්ගේ ස්මාට්ෆෝන් එකෙන් හරි ස්මාට් උපාංගයෙන් හරි තමන්ගේ වැඩ පහසුකරගන්න පුළුවන් අපූරු වැඩ කිඩ ටිකක් ගැන කියන්න.
1. මැසේජ් යවන එකත් ගේමක් නෑ
මේක ඇත්තටම මාරම පිස්සු හැදෙන ගූග්ල් ඇසිස්ටන්ට් වැඩක් නෙවෙයි. හැබැයි කාර්ය බහුල වෙලාවකට ඉතාම වටිනා පහසුකමක්. දැන් හිතන්න අපි ලොකු වැඩක හරි, මීටිමක හරි ඉන්නවා කියලා. ඔන්න අපිට ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එස් එම් එස් එකක් යවන්න ඕන. ෆෝන් එක අරගෙන කොටනවට වඩා ලේසියි, ගූග්ල් ඇසිස්ටන්ට් ගෙන්න ගන්න බට්න් එක ඔබලා, “සෙන්ඩ් අ මැසේජ් ටු කාංචනා” කියලා කියන එක. ඔව්, සේව් කරලා තියෙන්නේ කාංචනා කියලා නං, ගූග්ල් ඇසිස්ටන්ට්ට නම අඳුනගන්න පුළුවන්. දැන් අහයි මොකද්ද මැසේජ් එක කියලා. අපිට එතකොට කියන්න තියෙන්නේ “මයි ස්වීට් බන්ච්, අයිම් වර්කින් ඔන් ඇන් අර්ජන්ට් ප්‍රොජෙක්ට්, අයි විල් කෝල් යූ ලේටර්, ලව් යූ සෝ මච්” කියලා තමයි. හැබැයි ඕක නවත්තන්නේ නැතුව එක දිගටම කියන්න ඕන. එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් ගාණට විරාම ලකුණු තියලා කාංචනාට මැසේජ් එක යවනවා. ඊට කලින් අහනවා මැසේජ් එක වෙනස් කරන්න ඕනද, නැතිනම් යවන්නද කියලා. එතකොට “සෙන්ඩ්” කිව්වහම අහවරයි. ඕන නම් කියන්න පුළුවන් පටන් ගන්නකොටම “සෙන්ඩ් අ මැසේජ් ටු කාංචනා ඔන් වට්ස්ඇප්” හරි “සෙන්ඩ් අ මැසේජ් ටු කාංචනා ඔන් මැසෙන්ජර්” හරි කියලත්. එතකොට ඒ අදාළ ඇප් එකෙන් ගාණට මැසේජ් එක ගිහින් ඇති. හැබයි “පැටියෝ ඔයා කෑවද” වගේ එව්වා නං ගූග්ල් ඇසියට කියලා තාම ටයිප් කරගන්න බෑ. ඉංග්‍රිසියෙන් තමයි කරන දෙයක්!
2. රිමයින්ඩර් එකක් තියමුද?
දැන් මොනවද රිමයින්ඩර් කියන්නේ? තමන්ට අමතක වෙන දෙයක් මතක් කරන්න කියලා එලාම් එකක් තියෙනවා වගේ වැඩක්. හැබැයි ඉතින් ස්මාට්ෆෝන් එකක රිමයින්ඩර් එකක් තමන්ටම කැලැන්ඩර් ඇප් එකට ගිහිල්ලා තියන එක එක ටච් එකකින් දෙකකින් කරගන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. ඒකට වෙලාවක් යනවා. හැබැයි නිකමට ඕක ගූග්ල් ඇසිස්ටන්ට්ට කියලා බලමු. “ රිමයින්ඩ් මී ටු කෝල් මයි ආන්ටි ඉන් ඉන්ග්ලන්ඩ් බයි ටෙන් ඒ එම් ටුමාරෝ!” ආන්න එතකොට ගූගල් ඇසිස්ටන්ට් කියනවා “සෑර් රිමයින්ඩ් එක දාගත්තා සෑර්, ඉටිකිරිස් වගේ හෙට ගාණට දහයට සර්ට මතක් කොරනවා ඕං” කියලා ඉංග්‍රීසියෙන්! ඔච්චරයි. ඕක හරියට කියන එක විතරයි. ගූග්ල් ඇසිස්ටන්ට් රිමයින්ඩ් එක ගාණට කැලැන්ඩර් ඇප් එකේ පාක් කරලා, හරියට උදේ දහයට මතක් කරයි!
3. මට ඇහෙන්න කියවන්ඩ නංගි
ගූග්ල් ඇසිස්ටන්ට්ගෙන් ගන්න පුළුවන් තවත් උදවුවක් තමයි අපිට ඇහෙන්න දේවල් කියවන එක. ඔන්න අපිට මොකක් හරි දෙයක් හොයාගන්න ඕන වෙනවා ඔන්ලයින්. අපි ගූග්ල් ඇසිස්ටන්ට් ගෙන්නන බට්න් එක ඔබලා කියනවා “සර්ච් ඩොබර්මන් පින්චර් ඩෝග්ස්” කියලා. අන්න එතකොට පටස් ගාලා ගූග්ල් ඇසිස්ටන්ට් ගිහින් ගූග්ල් කරලා ඒ ගැන තියෙන වෙබ්සයිට්ස් හොයාගන්නවා. එතකොට අපිට කියන්න පුළුවන් “රීඩ් දිස්” නැතිනම් “රීඩ් වට්ස් ඔන් ද ස්ක්‍රීන්” කියලා. ආන්න එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් අපේ බ්‍රවුසර් එකේ තියෙන වෙබ් පේජ් එකේ තියෙන විස්තර කටහඬින් කියවන්න ගන්නවා. ඒකේ තියෙන විවිධ අන්තර්ගතයන් කාණ්ඩ අනුව කටහඬ පවා වෙනස් කරගන්නවා. කාර්යබහුල මනුස්සයෙක්ට මේ පහසුකම ඉතාම වටිනවා.
4. එලාර්ම් එක තියලා නිදාගන්න යමු
ගූග්ල් ඇසිස්ටන්ට්ට කියලා එලාර්ම් තියාගන්න එක ගොඩක් දෙනෙක් නොදන්න කාරණාවක් නෙවෙයි. වැඩේ සරලයි. “එලාර්ම් ඇට් සික්ස් තර්ටි” කිව්වහම ගූග්ල් ඇසිස්ටන්ට් ගාණට ලඟම සික්ස් තර්ටි වලට එලාම් එක තියනවා. හැබැයි අපි කියමු දැන් රෑ, අපිට එලාම් එක තියන්න ඕන පහුවෙනිදා දවල් දෙකට කියලා. අන්න එතකොට කියන්න ඕන “එලාම් ඇට් ටූ පී එම්” කියලා. එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් ගාණට පහුවෙනිදා දවල් දෙකට එලාම් එක තියයි. එලාම් එක තිබ්බට පස්සේ “ගුඩ් නයිට්” කියන්න බලන්න. ආන්න එතකොට ගූග්ල් ඇසිස්ටන්ට් අපිට ගුඩ් නයිට් කියලා, අර රැහැයියෝ කෑ ගහන රාත්‍රියේ සද්ද වාදනය කරන්න පටන් ගනී අපිට නින්ද යනකල්. එහෙම නැතත්, අපි හිතමු නින්ද යන්නෙ නෑ කියලා. ගූග්ල් ඇසිස්ටන්ට්ට කියන්න “හෙල්ප් මී ටු ස්ලීප්” කියලා. අන්න එතකොට අපිට නින්ද යනකල් ලලබයි කියලා කියන මෘදු ළමා ගීතයක් වාදනය කරයි.
ඒ වගේම මේ ගුඩ් නයිට් රූටින් එකේ වෙන කරන්න ඕන දේවල් ගූග්ල් ඇසිස්ටන්ට් සෙටින්ග්ස් වලට ගිහින් වෙනස් කරන්නත් පුළුවන්.
5. ෆෝන් එක කෝ?
මේ වැඩේට නම් ගූග්ල් ඇසිස්ටන්ට් ඉන්න ස්මාට්ෆෝන් එකක් තිබිලා මදි. මේකට ගෙදර තියෙන්න ඕන අර ස්මාට් ස්පීකර් එකකුත්. අර ගූග්ල් හෝම් ස්මාට් ස්පීකර් කියන්නේ. අන්න ඒකක්. දැන් අපිට සමහර වෙලාවට ස්මාට්ෆෝන් එක දාපු තැනක් හොයාගන්න බැරුව දඟලනවනේ. සමහර වෙලාවට ඒක සෙටියේ කොට්ටයක් අස්සේ වෙන්න පුළුවන්. එතකොට ඉතින් මලාට හොයාගන්න වෙන්නෙ නෑ. ආන්න ඒ වෙලාවට ස්මාට් ස්පීකරේ ඉන්න ගූග්ල් ඇසිස්ටන්ට්ට කියන්න තියෙන්නේ “ෆයින්ඩ් මයි ෆෝන්” කියලා. ආන්න එතකොට ගාණට ෆෝන් එකේ ඇසිස්ටන්ට්ට කතා කරලා ෆෝන් එක හොයලා දෙයි. ෆෝන් එක ඩූ නොට් ඩිස්ටර්බ් හරි සයිලන්ට් හරි දාලා තිබ්බත් අවුලක් නෑ.
6. ෂොපින් ලිස්ට් එකක් හදමු?
මේකත් ගූග්ල් ඇසිස්ටන්ට්ට කරන්න පුළුවන් හරි සරල වැඩක්. ගෙදරට බඩු ගේන්න ෂොපින් ලිස්ට් එකක් හදනකොට සාමාන්‍යයෙන් අපි කරන්නේ එක්කෝ කොළ කෑල්ලක් අරගෙන ඕන බඩු ටික ලියන එක. එහෙමත් නැතිනම් ෆෝන් එකේ ටු ඩූ ලිස්ට් ඇප් එකක ඕන බඩු ලිස්ට් එක ටයිප් කරන එක. හැබැයි මේකම කරන්න පුළුවන් වඩාත් ලේසියෙන් ගූග්ල් ඇසිස්ටන්ට්ගේ උදවුවෙන්. කරන්න තියෙන්නේ “මේක් අ ෂොපින් ලිස්ට්” කියලා කියන එක විතරයි. ගූග්ල් ඇසිස්ටන්ට් ගූග්ල් කීප් ඇප් එකේ ෂොපින් ලිස්ට් කියලා නම් කරපු ලිස්ට් එකක් නිර්මාණය කරලා අපෙන් අහනවා මොනවද ඇඩ් කරන්න ඕන කියලා. අපිට තියෙන්නේ ඇඩ් කරන්න ඕන බඩු ලිස්ට් එක කියන්න. අන්තිමට එච්චරයි කිව්වහම ලිස්ට් එක අවසන් කරනවා ගූග්ල් ඇසිස්ටන්ට් විසින්.
7. ගුඩ් මෝනින්!
මෙන්න මේක බොහොම වැදගත් විශේෂාංගයක්. ඒ කියන්නේ ගුඩ් මෝනින් රූටීන් එක. අර ගුඩ් නයිට් එක වගේම තමයි. මේකත් ගූග්ල් ඇසිස්ටන්ට් සෙටින්ස් වලින් වෙනස් කරන්න පුළුවන්. සරලවම කියනවා නම්, ගුඩ් මෝනින් කියලා ගූග්ල් ඇසිස්ටන්ට කිව්වහම, එයා මුලින්ම හායි කියලා වෙලාව කියයි. ඕන නම් සයිලන්ට් දාලා තියෙන ෆෝන් එකේ සයිලන්ට් මෝඩ් අයින් කරයි. ඉන් පස්සේ දවසේ කාලගුණය කියයි. ඊට පස්සේ දවසේ මතක් කරන්න ඕන දේවල්, රිමයින්ඩර්ස් එහෙමත් කියයි. ඉන් පස්සේ දවසේ ප්‍රවෘත්ති කියන්න පටන් ගනී. ඕන නම් තව තව දේවල් මේ මෝනින් රූටීන් එකට සෙටින්ග්ස් වලින් එකතු කරන්න පුළුවන්. කොටින්ම කියනවා නම්, දවස ප්‍රබෝධයෙන්, විස්තර දැනගෙන පටන් ගන්න ඕන කරන උදවුව ගූග්ල් ඇසිස්ටන්ට් කරලා දෙයි.
එකක් මතක තියාගන්න ඕන. ගොඩක් අය හිතන්න පුළුවන් දැන් ගූග්ල් ඇසිස්ටන්ට්ට කියලා වැඩ කරවගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනනේ කියලා. නැහැ. එහෙම බරපතල ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය නෑ. ඔය පොඩි පොඩි කෑලි බෑලි මිසින් වුනත්, අවශ්‍ය කෑලි දෙක තුන කියාගන්න පුළුවන් නම් එච්චරයි. ගූගල් ඇසිස්ටන්ට් දන්නවා මුල මැද අග ගලපලා අපිට ඕන කරන දේ තේරුම් අරං කරලා දෙන්න.
Leave a Reply