අපි පහුගිය දවසක මහායාන බෝධිසත්වවරු ගැන ආටිකල් එකක් ඔබට ගෙන ආවා. ඒ ආටිකල් එකේ අග අන්තිමට අපි සඳහන් කිරීමක් කරා, ඔබෙන් ඒ ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර මත මහායාන බුද්ධාගම පිළිබඳව තවත් ලිපි කිහිපයක් අපි ලියන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ හින්දා අපි හිතුවා, ලංකාවට බලපාපු මහායාන අදහස් කිහිපයක් ගැන කතා කරන්න. මේ වෙනකොට මේ අදහස් අපේ ථෙරවාදී බුද්ධාගමේ අදහස්මයි කියන තරමටම අපේ රටේ පැළපදියම් වෙලා ඉවරයි
1. සර්වමිත්‍ර බ්‍රහ්මණයා
අපි දහම් පාසල් යන කාලේ ඉඳන් ඉගෙනගන්න දෙයක් තමයි සිද්ධාර්ථ කුමාරයා කුඩා කාලයේදී ශිල්පශාස්ත්‍ර ඉගෙන ගන්න සර්වමිත්‍ර කියලා බමුණෙක් ගාවට ගියා කියන එක. හැබැයි ඔයාලට ත්‍රිපිටකය සහ අටුවා පරිශීලනය කළොත් සර්වමිත්‍ර බමුණා ගැන නම් හොයාගන්න බැරි වෙයි. දැන් ඔයාලට ඊළඟට ප්‍රශ්නයක් ඇති වෙයි එහෙම නම් සිද්ධාර්ථ කුමාරයා සර්වමිත්‍ර බමුණාගෙන් ඉගෙන ගත්තාය කියන කතාව අපේ රටේ ජනප්‍රිය වුණේ කොහොමද කියලා. ඒක වෙන්නේ බළංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ බුද්ධ චරිතය පොත රචනා කිරීමත් එක්ක. උන්වහන්සේ ථෙරවාදී බුද්ධාගම ගැන වගේම මහායාන බුද්ධාගම ගැනත් ගැඹුරින් හදාරපු කෙනෙක්. උන්වහන්සේ මහායාන ග්‍රන්ථ වල සඳහන් වූ සර්වමිත්‍ර බමුණු පඬිතුමා පිළිබඳ ප්‍රවෘත්තිය බුද්ධ චරිතය පොතට අතුලත් කරා. ඒ හරහා අපේ රටේ සිද්ධාර්ථ කුමාරයාගේ ගුරුවරයා විදිහට සර්වමිත්‍ර නම ප්‍රසිද්ධියට පත් වුණා.
2. බෝසත් රජවරු
මහායාන බුද්ධාගම තුළ බෝධිසත්වවරුන්ට වැදගත් තැනක් ලැබෙනවා. මේ නිසා අපේ රජවරුන් මතු බුදු වන බෝධිසත්වවරු විදිහට පෙනී ඉන්න කැමැත්තක් දැක්වූවා. “පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස” වගේ ව්‍යවහාර ඇතිවෙන්නේ මේ නිසා. ඒ වගේම සමහර රජවරු “බෝසත් විජයබා, බෝසත් පැරකුම්බා” වගේ නම් භාවිතා කරන්න පෙළඹුණා. සිරිසඟබෝ රජතුමා වගේ රජවරු බෝධිසත්වයෝ විදිහටම ජනතාවත් සලකන්න ගත්තා. ජේතවනාරාම පුවරු ලිපිය කියන විදිහට ලංකාවේ රජ කරන්න පුළුවනුත් බෝධිසත්වවරයෙක්ටම විතරයි.
3. තිරෝකුඩ්ඩ සූත්‍රය සහ ගිනි පිරිත
මරණයක් සිදු වුණාම බොහෝ වෙලාවට හත් දවසේ දානයක් වගේ තියෙද්දි ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේ තිරෝකුඩ්ඩ සූත්‍රය ගැන සඳහන් කරනවා. මේ සූත්‍රය මුල්කාලීන දේශනාවලට ඇතුළත් සූත්‍රයක් නෙමෙයි. තිරෝකුඩ්ඩ සූත්‍රය සැකසෙන්නෙ මහායාන බලපෑම් නිසා. ඒ වගේම මේ සූත්‍රය තුළ තාන්ත්‍රික බලපෑම වැඩි වශයෙන් දකින්නට ලැබෙනවා කියලා විද්වතුන් අදහස් පළ කරලා තියෙනවා. ඒවගේම ලංකාවේ බෞද්ධයන් අතර ජනප්‍රිය ගිනි පිරිතේ භාෂා විලාශය ගත්තත් පාලි භාෂාවට සමාන කමක් නැති නිසා මෙයත් මහායානිකයන්ගෙන් ගත්ත ආරක්ෂක මන්ත්‍රයක් කියන මතයට බොහෝ විද්වතුන් එකග වෙනවා.
4. නාථ දෙවියන් ඇදහීම
අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනා හිතන්නේ නාථ දෙවියන් සහ මෛත්‍රී බෝධිසත්වයන් කියන්නේ එකම දෙවි කෙනෙක් කියලා. නමුත් ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පේරාදෙණිය ලිපිය, ගඩලාදෙණිය ලිපිය වගේ සෙල්ලිපි වල පැහැදිලිව මේ දෙවිවරු දෙදෙනෙක් කියන එක සඳහන් කරලා තියෙනවා. නාථ දෙවියෝ විදිහට ලංකාවේ වන්දනාමානයට පත්වෙන්නේ මහායානිකයන්ගේ අවලෝකිතේශ්වර බෝධිසත්වයන්ව. ජයවර්ධනපුර යුගයේදී තොටගමුවේ රාහුල හාමුදුරුවෝ වැඩ වාසය කරපු තොටගමුවේ විජයබා පිරිවෙන නාථ දෙවියන් වන්දනාමාන කරන ප්‍රධාන සිද්ධස්ථානයක් බවට පත් වෙලා තිබ්බා.
5. මස් මාංශවලින් වැළකීම
ලංකාවේ ජනප්‍රිය මතයක් තියෙනවා භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහියෙක් මස් මාංශවලින් වළකිනවා නම් ඔහු සිල්වතෙක් කියලා. නමුත් මුල් බුද්ධාගමේ හැටියට නම් ආහාරයක් විදිහට මස් මාංශ ගන්න එකේ වරදක් නැහැ .බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද දේවදත්ත හිමියන් විසින් ඉල්ලන ලද පංච වර වලින් එකක් වුණේ භික්ෂූන්වහන්සේලා ජීවිතාන්තය දක්වා මස් මාංශවලින් වැළකිය යුතුයි කියන කාරණය. නමුත් මහායාන බුද්ධාගම තුළ විශේෂයෙන් ලංකාවතාර සූත්‍රය වගේ සූත්‍රවල මස් මාංශ කෑමෙන් භික්ෂූන් වහන්සේ සම්පූර්ණයෙන් වළකින්න ඕන කියන අදහස දීලා තියෙනවා. මේ බලපෑම නිසා අදටත් ලංකාවේ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහියනුත් මස්මාංශ ආහාරයට ගැනීමෙන් වළකින්න ඕන කියලා.
6. ලෝ වැඩ සඟරාව
ලෝවැඩ සඟරාව කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්න කවි පොතක්. කුඩා දරුවන්ටත් වැඩිහිටියන්ටත් ලෝවැඩ සඟරාවේ තියෙන ගොඩක් කවි කට පාඩම්. ලෝවැඩ සඟරාව ලියැවෙන්නේ කෝට්ටේ යුගයේදී. වීදාගම මෛත්‍රිය හාමුදුරුවො තමයි ලෝවැඩ සඟරාව රචනා කරන්නේ. ලෝවැඩ සඟරාවට මුල් වෙන්නේ අනුරාධපුර යුගයේ දී ලියැවුණු සද්ධම්මෝපායනය කියන කෘතිය. මේ කෘතිය රචනා කරලා තියෙන්නේ මහායාන බුද්ධාගමේ කේන්ද්‍රස්ථානයක් වුණු අභයගිරි විහාරයේ වැඩ වාසය කරපු ආනන්ද අභයගිරි චක්‍රවර්ති කියන භික්ෂූන් වහන්සේ. මේ නිසා ලෝවැඩ සඟරාව තුළටත් බොහෝ මහායාන මත ඇතුළත් වෙලා තියෙනවා.
7. අන්තරාභවය
අපි හිතනවා ලංකාවේ ජනප්‍රියතම මහායාන මතය තමයි අන්තරාභවය සංකල්පය කියලා. මහායාන බුද්ධාගමේ එක කොටසක අදහසකට අනුව කෙනෙක් මිය ගියාම, ඔහු පුනර්භවය ලබන තෙක් අන්තරාභවිකයෙක් ලෙස සැරිසරනවා. හොල්මන් විදිහට පෙනෙන්නේ ඔවුන් කියලා තමයි සඳහන් වෙන්නේ. සමහර තැන්වල කියවෙන විදිහට කෙනෙක් මිය ගිහිල්ලා හත්වෙනි දවස දි තමයි අන්තරාභවික තත්ත්වයෙන් මිදිලා වෙනත් තැනක ප්‍රතිසන්ධියක් ලබා ගන්නේ. හත් දවසේ දානය සංකල්පය ඇති වෙන්නත් මේක එක හේතුවක් වෙන්න ඇති.
එහෙම නම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මහායාන බුද්ධාගම ගැන වගේම අන්තර්ජාලය තුළ වැඩිපුර කතා නොවෙන වෙනත් මාතෘකා ගැන ලියන්නත් අපිට උත්තේජනයක් වේවි.
Leave a Reply