හමුදා සෙබළුන්ට ප්‍රදානය කරන පදක්කම්

ඔයාලා හැමෝම දැකලා ඇති හමුදා සෙබළුන් යම් යම් අවස්ථා වලදී ඔවුන්ගේ නිල ඇඳුමේ නොයෙක් විදිහේ පදක්කම් පැළඳගෙන ඉන්නවා. ඉතින් ගොඩක් දෙනෙක් මේ ගැන වැඩි විස්තරයක් දන්නෙ නෑ. ඉතින් අපි අද කතා කරන්න හිතුවේ මෙන්න මේ හමුදා සෙබළුන්ට ප්‍රදානය කරන නොයෙකුත් පදක්කම් ගැනයි. ඉතින් පදක්කමක් ලැබෙන්නේ බොහෝ විට අදාළ නිලධාරියා අගය කිරීම වෙනුවෙනුයි. හැබැයි සමහරු හිතනවා යුද්ධයක් අවස්ථාවක ඊට අදාළ දක්ෂතා පෙන්වීම වෙනුවෙන් විතරයි මේ පදක්කම් ලැබෙන්නේ කියල. හැබැයි ඒක එහෙම නෙමෙයි. යුද්ධයේ දක්ෂතා පෙන්වීම නිසා විතරක් නෙමෙයි මේ පදක්කම් පිරිනමන්නේ. ඔවුන්ගේ සේවා කාලය, විශේෂ කුසලතා, සංවත්සර, විදේශ සේවය, වගේ දේවල් ගොඩක් නිර්ණායක විදිහට අරගෙන නොයෙකුත් පදක්කම් හමුදා සෙබළුන්ට ලබා දෙනවා. ඒ අතරින් ඉතින් අපි අද කතා කරන්නේ වීරත්වය සඳහා වන පදක්කම් සහ  තුවාල ලබන හෝ මරණයට පත් වෙන සෙබළුන් සඳහා පිරිනමන පදක්කම් කියන වර්ග දෙක ගැනයි.

1. පරම වීර විභූෂණ පදක්කම

වීරත්වය වෙනුවෙන් ප්‍රදානය කරන පදක්කම් අතර ඉහළම පදක්කම වෙන්නේ පරම වීර විභූෂණ පදක්කමයි. මේ ප්‍රදානය ත්‍රිවිධ හමුදාවේ ඕනෑම නිළයක රාජකාරි කරන කෙනෙකුට ලබාගන්න පුළුවන්. සතුරා ඉදිරියේ තමන්ගේ ජීවිතය ගැන නො සිතා කරන සුවිශේෂී අන්දමේ තනි පුද්ගල නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් තමයි මේ පදක්කම ප්‍රදානය කරන්නේ. විශේෂයෙන්ම ඒ ක්‍රියාව තමන් ස්වේච්ඡාවෙන් කරපු හෝ කරන ක්‍රියාවක් වෙන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ පදක්කම ලබාගත් පළමු ශ්‍රී ලාංකික සෙබළා වෙන්නේ කෝප්‍රල් ගාමිණී කුලරත්න නොහොත් හසලක ගාමිණී කියන විරුවා. 2021 ජනවාරි වෙද්දී මේ පදක්කම සෙබළුන් 31 දෙනෙකුට ප්‍රදානය කරලා තියෙනවා. ඉන් 28 දෙනෙක් ම යුධ හමුදා සෙබළුන්. ඒ වගේම මේ සම්මානය ලබන අයට ඒ අයගේ නමට පසුව PWV කියන අකුරු භාවිතා කරන්න පුළුවන්. 

2. වීරෝධාර විභූෂණ පදක්කම

පරම වීර විභූෂණ පදක්කමට පස්සේ ඉහළම පදක්කම වෙන්නේ වීරෝධාර විභූෂණ පදක්කමයි. මේ පදක්කමත් ත්‍රිවිධ හමුදාවේ ඕනෑම නිළයක රාජකාරි කරන කෙනෙකුට ලබාගන්න පුළුවන්. මේ පදක්කමේ තියෙන විශේෂත්වය තමයි මේ පදක්කම ප්‍රදානය කරන්නේ හමුදාමය නොවන ක්‍රියාකාරකම් වෙනුවෙන් වීම. ඒ වගේම මේ පදක්කම සමාන වෙනවා බ්‍රිතාන්‍යයේ ජෝර්ජ් ක්‍රොස් සම්මානයට සහ ඉන්දියාවේ අශෝක චක්‍ර සම්මානයට. මේ පදක්කම ලබන අයට පුළුවන් තමන්ගේ නමට පස්සේ WV කියන අකුරු භාවිතා කරන්න. 

3. වීර වික්‍රම විභූෂණ පදක්කම

මේ පදක්කම හමුදාමය සහ හමුදාමය නොවන ආකාරයේ තනි පුද්ගල සුවිශේෂී ක්‍රියා වෙනුවෙන් ප්‍රදානය කරන වීර පදක්කමක්. ඒ වගේම කලින් පදක්කම් දෙක වගේම යුධ, ගුවන්, නාවික කියන ත්‍රිවිධ හමුදාවට ම, ඕනෑම නිළයකට මේ පදක්කම සඳහා නිර්දේශ ලබන්න පුළුවන්. අද වෙද්දී හමුදාපති විදිහට කටයුතු කරන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධයේ විශාල කාර්ය භාරයක් ඉටු කරපු මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා කියන නිලධාරීන් මේ සම්මානයෙන් පිදුම් ලබපු අය. ඊට අමතරව තව විශාල සෙබළුන් පිරිසක් මේ පදක්කමෙන් පිදුම් ලබලා තියෙනවා. ඒ වගේම මේ පදක්කම මේ වෙනකන් මරණයෙන් පස්සේ කාටවත් ප්‍රදානය කරලා නෑ. 

4. රණ වික්‍රම පදක්කම

ස්වකැමැත්තෙන් සතුරා අභිමුවේ සාමූහිකව හෝ තනිව ප්‍රදර්ශනය කළ නිර්භීත භාවය හේතුවෙන් මෙම පදක්කම පිරිනමනු ලබනවා. මේ පදක්කමත් ත්‍රිවිධ හමුදාවේ ඕනෑම නිළයක රාජකාරි කරන සෙබළෙකුට ලබාගන්න පුළුවන් පදක්කමක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන දෙයක් තමයි මේ පදක්කම තමයි හමුදාවට අනුයුක්තව සේවය කරපු සතෙකුට ප්‍රදානය කරපු පළවෙනි සහ එකම සම්මානය වෙන්නේ. ඒ තමයි කොමාන්ඩෝ ස්නෝවී කියන යුධ හමුදාවේ ලුහු බැඳීමේ සුනඛයෙකු විදිහට සේවය කරපු සුනඛයා. ඊට අමතරව හමුදා සෙබළුන් විශාල ප්‍රමාණයකට මේ පදක්කම ප්‍රදානය කරලා තියෙනවා. ඒ අතරින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක, ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න විශේෂයි. 

5. රණ සූර පදක්කම

රණ සූර පදක්කම ප්‍රදානය කරන්නෙත් යුධමය ක්‍රියාකාරකම් වලදී තනිව හෝ සාමූහිකව පෙන්වන ලද විශිෂ්ඨතා වෙනුවෙන්. ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ ම සියලු නිළයන් මේ ප්‍රදානය සඳහා සුදුසුකම් ලබනවා. ඉතින් රණ සූර පදක්කම තමයි වීරත්වය වෙනුවෙන් හමුදා සෙබළුන්ට ප්‍රදානය කරන අවසන් පදක්කම. ඉතින් මේ පදක්කම ලබාගත්තු විශාල සෙබළුන් පිරිසක් මේ වෙද්දී ඉන්නවා සහ ඉන් සමහරක් මේ වෙද්දී අපි අතර නෑ. මේ පදක්කමෙන් පිදුම් ලබපු අය අතරින් වර්තමාන ජනාධිපති ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ලුතිනන් ජෙනරාල් පාරමී කුලතුංග වගේ අය විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් ගොඩක් අය දන්නා නිසා. ඒ වගේම මේ ප්‍රදානය ලබන අයට තමන්ගේ නමට පස්සේ RSP කියන අකුරු භාවිත කරන්න පුළුවන්.

6. උත්තම පූජා පදක්කම

උත්තම පූජා පදක්කම ත්‍රිවිධ හමුදාව වගේම පොලිසියේ සේවය කරන ඕනෑම නිලයක අයකුට ලබාගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ මේ ප්‍රදානය කවදාවත් හමුදා සෙබළෙකුගේ නිල ඇඳුමට පළඳන්න වෙන්නේ නෑ. ඒකට හේතුව මේ පදක්කම ලැබෙන්නේ යුද්ධයේ දී ජීවිතය පූජා කරපු සෙබළුන්ට. එතකොට පදක්කම පිරිනැමෙන්නේ ඔහුගේ හෝ ඇයගේ කාලත්‍රයින්ටයි. 2010 අවුරුද්දේ තමයි මුල් වරට මේ පදක්කම් ප්‍රදානය කෙරුණේ. මේ කලින් සඳහන් කරපු සියලු පදක්කම් ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන්නේ. හැබැයි උත්තම පූජා පදක්කම ප්‍රදානය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්. 

7. දේශපුත්‍ර සම්මානය

සතුරා ඉදිරියේ සිදු කල සටනක දී තරමක දරුණු තුවාල ලබපු සෙබළුන්ට සහ ඒ විදිහේ තුවාල ලැබීම හේතුවෙන් මියගිය සෙබළුන්ට පිරිනමන පදක්කමක් තමයි දේශපුත්‍ර පදක්කම. 1972 ඉඳලා ලබා දෙන පදක්කමක් තමයි මේ. එක්සත් ජනපදයේ ප්‍රදානය කරන Purple Heart කියන පදක්කම මේ එක්ක සමාන වෙනවා. මේ සම්මාන සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්න ඕනේ අදාළ අණ දෙන නිලධාරියා විසින්. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *