ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාට පිරිකර පූජා කිරීම කියන්නේ මහ පිනක්. ඒ පින් ලබන අය ආර්යමාර්ගයේ ගමන් කරන්න ඒ පින උපයෝගී කරගන්න ඕනි. නිතර නිතර භික්ෂූන් වහන්සේලාට සහ ආර්ය මාර්ගයේ ගමන් කරන අයට අවශ්‍ය අඩු වැඩිය සපයලා පින් දහම් රැස් කරගන්නවා වගේම ආර්ය මාර්ගයේ ගමන් ගන්න අපිත් උත්සාහ කිරීම වැදගත් කියලා තමයි වහරක අභයරත්නාලංකාර තෙරණුවෝ කියන්නේ.
1. අවැසි දේ සොයා බැලීම
භික්ෂූන් වහන්සේලාට නිතර අටපිරිකර ලබෙන තැනකට තවත් අටපිරිකරක් දීම කියන්නෙත් පිනක්. මහා සංඝයා වශයෙන් උන් වහන්සේලා ඒ අටපිරිකර යම් නැති බැරි පළාත්වල භික්ෂූන්ට නිකුත් කරනවා. ඒත් තියෙන දේවල්ම තව තවත් ලබානොදී අපිට උන්වහන්සේලාට අඩුපාඩුව තිබෙන දේවල් ගැන අදහසක් ගන්න හැකිනම් ඒක වටිනවා. ඇත්තටම භික්ෂුන් වහන්සේලාගේ ශීලය අනුව “මට සැපසේ ජීවත්වන්න මේ දේ අවශ්‍යයි. මේ උපකරණ තිබුණොත් හොඳයි” කියලා කෙලින්ම කියනවා අඩුයි. ඒත් නිතර පංසලේ ගැවසුණොත් උන්වහන්සේලාට අවශ්‍යතා මොනවද? අඩු පාඩු තියෙන්නේ මොනවද කියලා අපිට අදහසක් ගන්න හැකියි.
2. පිරිකර ලෙස මුදල් දීම
භික්ෂූන්ට මුදල් අත පත ගෑම විනය නීති අනුව තහනම්. ඒත් කාලානුරූපීව දැන් මුදල් වල පරිහරණය අත්‍යවශ්‍ය වන අවස්ථාවන් වැඩියි. උදාහරණ ලෙස පසුගිය සියවස වෙනතෙක්ම අපිට ලෙඩක් දුකක් හැදුනාම ගමේ වෙද මහත්මයාගෙන් බේත් හේත් ගත්තා. ඒත් අද වෙනකොට පොඩි ඩිස්පැන්සරියකට ගියත් අපිට ඒ වෙනුවෙන් මුදල් ගෙවන්නට වෙනවා. ඉතින් පිළිවෙත් පුරන භික්ෂූන් වහන්සේ නමක් වුණත් ලෙඩ රෝගයකට ලක් වුණොත් උන් වහන්සේ ළඟ යම් මුදලක් තිබීම වටිනවා. ඒ වගේම ධර්ම ප්‍රචාර කටයුතු, ප්‍රවාහන කටයුතු, අධ්‍යාපනික කටයුතු ආදියටත් භික්ෂූන් වහන්සේලාට නූතනයේ මුදල් උවමනා වෙනවා. ඉතින් කාලානුරූපීව ඇති වූ වෙනස්කම් මත භික්ෂූන් වහන්සේලාට පිරිකර සමග මුදල් ලබා දීමේ වරදක් නැති බව තමයි ත්‍රිපිටක කරුණු සහ නූතන මහනායක හිමිවරුන්ගේ මතය විමසා අධ්‍යයනයක් කළ හෑගොඩ විපස්සී හිමියන්ගේ අදහස වුණේ.
3. අට පිරිකර
අටපිරිකර පූජාවක් ගැන බුද්ධ චරිතයේ පැහැදිළි සඳහනක් නැහැ. ඒ වගේම ත්‍රිපිටකාචාර්ය හිමිවරුන් කියන විදිහට ත්‍රිපිටකයේත් ඒ ගැන පැහැදිළි සඳහනක් නැහැ. ඒත් අපේ රටේ ඉතිහාසය දෙස බලන විට භික්ෂූන්ට අවශ්‍ය කරන මූලික දේවල් අටපිරිකර ලෙස ලබාදීම සංස්කෘතික අංගයක් වෙලා තියෙනවා. මේ පිරිකර පූජාව මහත්ඵල මහානිසංස ලැබෙන පූජාවක්. මොකද භික්ෂූන් වහන්සේ නමකට සිය අල්පේච්ඡ ජීවිතය පිණිස වූ සියළු දේවල් මේ අට පිරිකර තුළ අන්තර්ගත වෙනවා.
4. දොළොස් පිරිකර
දොළොස් පිරිකර කියන්නේ අට පිරිකර වලට තවත් පිරිකර හතරක් එකතු වීමෙන් සැදුණු පිරිකරක්. මේ දොළොස් පිරිකර ලබාදීමේදී විශේෂයෙන් ගිලන් වූ, මහළු හිමිවරුන්ගේ අවශ්‍යතා පිළිබඳව සැළකිලිමත් වෙනවා. හැරමිටියක්, සෙරප්පු දෙකක්, තෙල් ගුලාවක්, බෙහෙත් ටිකක් වගේ අඩුම කුඩුම කිහිපයක් එකතු කොට මහළු හෝ ලෙඩ තත්ත්වයට පත් භික්ෂූන් උදෙසා විශේෂ දොළොස් පිරිකර පූජා කරනවා. මේ පිරිකර පූජාවත් පිළිවෙත් පුරන භික්ෂූන්ට කරන අමතර පහසුකම් සැලසීමක් නිසා බොහෝම මහත්ඵල මහානිසංස පූජාවක් වෙනවා.
5. පිරිකර වල තත්ත්වය පිළිබඳව සැළකිලිමත් වීම
මිල අඩුවෙන් තිබෙන ඇතැම් අටපිරිකර වල තිබෙන පාත්‍රය, සිවුරු ආදිය හොඳ තත්ත්වයේ නැහැ. ඒ විදිහට හොඳ තත්ත්වයේ නැති බඩු බාහිරාදිය භික්ෂූන් වහන්සේලාට ගොඩ ගැසීම තේරුමක් නැහැ. උන් වහන්සේලාටත් අපි වගේම හොඳ තත්ත්වයේ තිබෙන දේවල් පාවිච්චි කරන්න ලැබෙනවා නම් උන්වහන්සේලාට ඒවායෙන් එන කරදර අඩු වෙනවා. එකල බුදුන් සමයේ රෙදි පිළි වියන්න මෙතරම් යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහැ. ඒ නිසා විශාල කහවණු ප්‍රමාණයක් එක් සිවුරක් වෙනුවෙන් වැය වන්නට ඇති. ඒ නිසාම බුදුන් වහන්සේ භික්ෂූන්ට නිවෙස්වලින් ඉවතලන රෙදි, අමු සොහොනේ මළ මිනී ඔතන රෙදි ආදිය පාවිච්චි කරන්නට හැකියැයි දැන්වූවා. එහෙත් අද වනවිට තිබෙන තත්ත්වය වෙනස්. භික්ෂූන් වහන්සේලා වුවත් ග්‍රාමීය වශයෙන් මහජනයා වෙනුවෙන් විශාල සේවාවක් කරනවා. ඉතින් හුදෙක් පිරිකර පූජා කර එයින් පින ලැබීමම අරමුණු කරන්නේ නැතිව දෙන දෙය සුපිරි තත්ත්වයෙන් පූජා කරන්නට උත්සාහ කිරීම වැදගත් වෙනවා.
6. සාමණේර හිමිවරුන්ට සිදුකරන පූජා
ධර්ම මාර්ගය තෝරාගත්තත් කුඩා සාමනේර හිමිවරුන්ගේ මනස හොඳින් මුහුකුරා ගොස් නැහැ. ඒ නිසා ලෞකික ජීවිතයේ තිබෙන සෙල්ලම් බඩු, කතා පොත්, ඉලෙක්ට්‍රොනික උපකරණ ආදියට කුඩා හිමිවරුන් ඇදෙනවා. නිවෙස්වල දරුවන් සිටින ගිහියන්ට මේ හිමිවරුන් තමුන්ගේම දරුවන් ලෙස පෙනෙනවා. ඒත් හිමිවරුන්ගේ අධ්‍යාපන කටයුතු වලට, බණ දහම් පිළිවෙත් වලට බාධා වෙන දේවල් පූජා කිරීම වැරැද්දක්. ඒ නිසා කුඩා හිමිවරුන් ඉල්ලූ පළියට ඒ හැම දේම පිරිකර වශයෙන් දෙන්නේ නැතිව ලොකු හාමුදුරුවන් සමග සාකච්ඡා කොට අල්පේච්ඡ මහණ දිවියට සුදුසු දේ පුදදෙන්නට හුරුවන්නට ඕනි.
7. උන් වහන්සේලාගේ යහමගට උදව් දෙමු
පිරිකර පූජාවන් ලෙස හැමෝම පූජා කරන තුවා, බෙඩ්ෂීට්, සබන්, දත්බුරුසු, පොත් පත් ආදිය තිබෙනවා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දහම් පොත්පත්, නවීන පරිගණක දැනුම, උන්වහන්සේලාට අවශ්‍ය අධ්‍යයන පහසුකම් ආදිය ගැනත් දායක පිරිස සොයාබලන්න ඕනි. අපේ හාමුදුරුවෝ යහපත් ලෙස ජීවත් වුණොත් එයින් අපිටත් ලැබෙන්නේ වාසියක්. එතකොට අපිට පංසලට ආවම සිතට නියම සිසිලක් ලබාගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අවට ලෝකයේ තිබෙන සෑම විසිතුරු බඩුවක්ම පංසලට ගොඩ ගසන්නේ නැතිව උන් වහන්සේලාගේ අල්පේච්ඡ දිවියට සහයෝගය දෙන, ස්වාමීන් වහන්සේලාගේ අවබෝධය, දැනුම වැඩිකරන දෙයක් දෙන එක අපේ එලොව මෙලොව දියුණුවටත් හේතු වාසනා වේවි.
ලෝකේ හැම රටකම මිනිස්සු හිටියට හැම හැම දේශයකම මිනිස්සුන්ට අපට වගේ පින්දහම් කරන්නට වාසනාව පින නැහැ. ඇතැම් ඈත දේශ දේශාන්තර වල කිලෝමීටර සිය ගණන් ගියත් දානයක් පිරිකරක් පූජා කරන්නට භික්ෂූන් වහන්සේ නමක් සොයාගන්නට නැහැ. අපිට එහෙම නැහැ. සෑම ගමකටම අඩුම තරමේ එක පංසලක්, ආරාමයක්වත් තියෙනවා. ඒවායේ ආර්ය මග ගමන් කරන අටියෙන් සිවුරුලත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටිනවා. ඉතින් අපිට මේ භික්ෂූන් වහන්සේලාට ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන්න සහයෝගය දෙන්න අවස්ථාව, පින් රැස්කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා නොයෙක් මිසදිටු කතා වලින් මනස විකෘති කර නොගෙන අපිට ලැබෙන ස්වල්ප ජීවිත කාලය තුළ දාන මාන පිරිකර වලින් පින් ටිකක් රැස් කරගන්නට හැමෝමට පින්බර අදහස් පහලවෙන්න කියලා ලයිෆි අපි ප්‍රාර්ථනා කරනවා.
Leave a Reply