කාන්තා ඔබේ නිය පෙළ රැකගන්න නම් මෙන්න වැඩ

හැඩට ඉන්න කොයි කවුරුත් කැමතියි. ඒත් කාන්තාව ඒ සඳහා විශේෂ ඇල්මක් දක්වන බවට මතයක් තියෙනවා. ඉතින් එතකොට නියපොත්තක් තරම්වත් නොවටිනා දෙයක් එවන් පුද්ගලියක් ගාව තියෙන්න විදියක් නැහැ. ලස්සන කියන්නේ සුදු පාට මූණත්තහඩුවක් තිබීමවත්, පාර අතුගාන්න තරම් කොණ්ඩයක් තිබීමවත්, නාරිලතා දේහයක් තිබීමවත් නෙවෙයි ඊටත් එහා ගිය දෙයක්. කියුටෙක්ස් ගාන්න විතරක් බොහෝ දෙනාට සිහියට නැගෙන නියපොතුත් අතෙන් හැදුවා වගේ තියෙනවා නම් අන්න ලස්සන!


1. නියපොතු පිරිසිදුව තබා ගැනීම


නිය පෙළේ මතු පැවැත්මට අංක එක තමයි මේ. කලට වේලාවට නියපොතු කපන්න අවශ්‍යයි. ඉස්කෝලේ කාලේ ඉඳන් ම ඒක දන්න දෙයක් නේ. ඒ වුණාට සමහරු නියපොතු දිගට වවන් ඉන්න කැමතියි. මේක තමන්ගේ අත අනුව වෙනස් වෙනවා. ඒකේ සුදුසු නුසුදුසු බව එක පාරක් වගේ වවලා බලලා ඔබට ම තීරණය කරන්න පුළුවන්. නියපොතු නොකපා සිටීම ආකර්ෂණීය බවක් එක් කරත් මතු පැවැත්මට නම් නිසි කලට කපන එකයි හොඳ. නියපොතු වැඩි වුණාම සමහරුන්ගේ කැඩෙනවා. කන කෑම බීම තද කහ පැල්ලමක් එක්​ක ඇඟිලි අස්සේ ම රැඳෙනවා. ඒ නිසා පිරිසිදු බව වැදගත්. ඔබ නියපොතු වවා සිටින්නියක් නම් පිරිසිදු බව ගැන ලොකු අවධානයක් දෙන්න​ම වෙනවා.


2. නියපොතුවලට පාඩුවේ පැවතීමට ඉඩ දීම


සමහරුන්ට කිව්වට අහන්නැති පුරුදු තියනවා. නියපොතු කන එක ඒ අතරින් උඩින් ම තියන පුරුද්දක්. අධික ලෙස නියපොතු කෑමට ඇබ්බැහි වෙලා ඉන්න යුවතියකගේ නියපොතු ඔබ දැකලා තියනවද? ඒවා මොන තරම් විකෘති ද? කොච්චර රූප සෝභාවක් තිබුණත් නියපොතු ටික නිට්ටෑවෝ වගේ නම් ආය ඒ ගැන කතා කරල වැඩක් නැහැ. ඊට අමතර ව සමහරු නියපොතු පීරි ගානවා. එහෙම කරද්දී පීරි ගාන්නේ නියපොත්ත බව සමහරුන්ට අමතක වෙනවා. මස් කපනවා වගේ මුළු දේහ ශක්තිය ම දාලා මේ දේවල් කරන්න නරකයි.



3. ගෙදර වැඩවලදී අත්වැසුම් භාවිතය


රෙදි හෝදන්නයි කෑම පිඟන් හෝදන්නයි සිද්ධ වෙනකොට විවිධ නිෂ්පාදන අතේ ගෑවෙනවා. බොහෝ වෙලාවක් එක දිගට මේ වගෙ වැඩක නිරත වෙලා ඉන්නකොට සමහරවිට මුළු අත ම දන්න ගන්නවා. අත්ල බැලුවමත් ඉරි තලා ගිහින් වගේ දකින්න පුළුවන්. මේක සෘජුව ම නියපොත්තටත් බලපානවා. නියමහ තුළට මේවා ගියොත් දස වදයක්. නිය මල් ගැලවෙලා එන්න තරම් වුණත් වියලීමක් ඇති වෙන්න පුළුවන්.



4. නියපොත්තට බූරුවාගේ වැඩ භාර නොදෙන්න


නියපොත්තෙන් කඩන්න තියෙන දේ අහවල් එකෙන් කඩන්න වෙන තැනට වැඩ කරන්න එපා කියලා කතාවක් සමාජගත වෙලා තියනවා. ඇත්තට ම ඒ සම්පූර්ණ කතාව ම හරි ම වැරදි අදහසක් තමයි දෙන්නේ. නියපොත්ත කියන්නේ එහෙම මොකක්වත් කඩන්න තියෙන දෙයක් හෙම නෙවෙයි. සමහරු එක එක ටින් බෝතල් අරින්න හෙමත් සුද්දා වගෙ නියපොතු පාවිච්චි කරන්න පුරුදු වෙලා තියනවා. වන්දනා ගමන් හෙම යනකොට අරගෙන යන භාජන වෙලාවකට මාර හයියයි. ඒවා අරින්න නම් යන්න එපා ඇඟිලිත් එක්ක ම කැඩෙයි දෙයියෝ. ෆෝන් කාඩ් එහෙම දැන් ඇඟිල්ලෙන් සූරන එකත් සමාජය ප්‍රතික්ෂේප කළ දෙයක්.



5. පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීම


හැම සෞඛ්‍ය ගැටලුවකට වගේ ම මෙතන දී වුණත් කෑම ගැන අවධානය දෙන්න අවශ්‍යයි. විටමින්, සින්ක්, යකඩ, කැල්සියම් වගේ පෝෂ්‍ය කොටස් අන්තර්ගත ආහාර වර්ග නිතර පරිභෝජනයට ගන්න ඕනි. සමහර විට ඔබේ ඇඟිලිවලත් ඇති. නැති නම් මෙහෙම දැකලා ඇති. නියපොතුවල සුදු පාට ලප මතු වෙනවා. මේක වෙන්නේ ඉහත කියාපු පෝෂ්‍ය කොටස් අඩු වීමෙන්. ඒක Leukonychia රෝගී තත්ත්වයක් දක්වා වර්ධනය වුණොතින් නියපොතු තනිකර ම සුදට සුදේ තියේවි.



6. නිය ආලේපන


නිය ආලේපන භාවිතයෙහි වරදක් කියන්න තරම් නැති වුණත් ඒවා ඉවත් කරන්න නිතර නිතර නිය ආලේපන ඉවත් කරන දියර භාවිත කිරීම හොඳ නෑ. නිය ආලේපන ඉවත් කිරීම සඳහා ඔබ භාවිත කරන දියරය ඇසිටෝන් රහිත විය යුතුයි. ඒ වගේ ම සතියකට එක වරක් පමණක් භාවිත කරනවා නම් වඩා හොඳයි. නිය ආලේපන අයින් කරන්නැයි කියලා හූරලා දානවා එහෙම නෙවී ඔන්න.



7. වෛද්‍යවරයෙකු හමු වීම


නිය පෙළක් වඩාත් හොඳින් පවත්වා ගැනීම සඳහා චර්ම රෝග විශේෂඥයකුට වඩා දන්නා කෙනෙක් තවත් නම් නැහැ. ඔබේ නිය පරික්ෂා කර බලා ඒවා දුර්වල නම් බෙහෙත් වර්ග ​පවා අනුමත කරන්න ඔහු සූදානම්. Biovita නම් විටමිනය භාවිත කිරීම හැරුණු කොට ඔබේ නිය පෙළෙහි පැවැත්මට අවශ්‍ය වෙන යමක් වේ නම් වෛද්‍යවරයා අනිවාර්‍යයෙන් කියනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *