2021 කියන්නේ හැත්තෑ එකේ (1971) අරගලයට අවුරුදු 50ක් සපිරෙන වර්ෂය. අද වෙද්දි මේ අරගලය ගැන සමාජයේ විවිධ මත පළ වෙලා තියෙනවා. නමුත් අපිට එක දෙයක් අනිවාර්යෙන්ම පිළිගන්න වෙනවා. ඒ මේ අරගලය උගතුන්ගේ අරගලයක් කියන එක. ඒ අය අනුගමනය කරපු ක්‍රියාමාර්ග කොයිතරම් දුරට ප්‍රායෝගිකද සහ සාර්ථකද කියන එක වෙනමම කතාවක්. මේ වෙද්දි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු නොවන බොහෝ දෙනෙක් 71 අරගලය කියද්දී දන්නේ රෝහණ විජේවීර ගැන විතරයි. එනිසා අපි හිතුවා ඒ අරගලයට පුරෝගාමීන් වෙච්ච චරිත කීපයක් ඔබට හඳුන්වා දෙන්න
1. සමරරත්න විතානආරච්චිගේ පියතිලක
චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවෙකු වුණු පියතිලක, රෝහණ විජේවීර සමඟ එකතු වෙන්නේ 1965 වගේ කාලයකදී. ඔහුට ප්‍රධාන වශයෙන්ම පැවරෙන්නේ ශිෂ්‍ය අංශය වර්ධනය කිරීම. 1971 කැරැල්ල දියත් කිරීම සඳහා වන තීන්දුව ගනු ලබන්නේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු රැස්වීමකදී. කැරැල්ල දියත් වන අවස්ථාවේදී රෝහණ විජේවීරව යාපනය සිර ගෙදරින් මුදා ගැනීමේ මෙහෙයුමක් පියතිලක විසින් ආරම්භ කරනවා. පසුව එය අසාර්ථක වීමෙන් පස්සේ ඔහුව අත්අඩංගුවට ගැනෙනවා. සුප්‍රකට අප්‍රේල් මහ නඩුවේ පළවෙනි විත්තිකාරයා බවට පත්වෙන්නේ මේ පියතිලකයි
2. ලයනල් බෝපගේ
පේරාදෙණි සරසවියේ ශිෂ්‍යයෙක් විදිහට කටයුතු කරද්දී තමයි ලයනල් බෝපගේ වීජේවීර එක්ක එකතු වෙන්නේ. ඔහුව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ලයියා විදිහට. කොළඹ ප්‍රදේශයේ සටන් මෙහෙයවීමේ වගකීම භාරගත්ත ලයනල් බෝපගේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ වසර 12 ක සිරදඬුවමක් ඔහුට ලැබෙනවා. සිරගේ ගත කරන කාලය තුළදී ඔහු ඉංජිනේරු උපාධිය ලියලා සමත් වෙනවා. නිදහස් වීමෙන් පස්සේ යළි ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වන ඔහු ජනතා විමුක්ති පෙරමුණ යළි ගොඩ නැගීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙනවා. පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වන අතර විවිධ තර්ජන හමුවේ විදේශගත වෙනවා.
3. ජයදේව උයන්ගොඩ
වර්තමානයේ සුප්‍රකට විද්වතෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජයදේව උයන්ගොඩගේ 71 කැරැල්ලේ භූමිකාව පිළිබඳව විවිධ පරස්පරතා මතුව තිබෙනවා. ඔහු වෙත කොළඹ ප්‍රදේශයේ ප්‍රහාරවල වගකීම පැවරුණු නමුත් එම වගකීම් නිසි පරිදි ඔහු අතින් ඉෂ්ට නොවුණු බව සඳහන් වනවා. කෙසේ නමුත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වුණත් තම අධ්‍යාපන කටයුතු ඔහු නතර කළේ නැහැ.
4. රංජිත් කුරුකුලසූරිය
අම්බලන්ගොඩ ප්‍රදේශයේ උපත ලද්දෙකු වුණු රංජිත් කුරුකුලසූරිය මෙම ව්‍යාපාරය සඳහා එක් වන්නේ තම මිතුරෙකු වූ සුනන්ද දේශප්‍රියගේ බලපෑම නිසයි. නුවර ප්‍රදේශයේ කැරැල්ල මෙහෙයවීමේ වගකීම රංජිත් කුරුකුලසූරිය වෙත පැවරුණු අතර එහිදී අදාළ අනෙකුත් පිරිස නොපැමිණීම නිසා එම ප්රයත්නය අත්හැර දැමීමට ඔහුට සිදුවනවා. පසුව ඔහුව අත්අඩංගුවට පත්වුණු අතර කැරැල්ල නිමවීමෙන් පසුව සක්‍රීය දේශපාලනයෙන් ඔහු සම්පූර්ණයෙන්ම සමුගත්තා.
5. සුනන්ද දේශප්‍රිය
අද වන විට විදේශ රැකවරණය ලබමින් ජීවත් වන සුනන්ද දේශප්‍රිය මහ නඩුවේ පස්වන විත්තිකරු වනවා. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකු වූ අතර මව පාසල් ගුරුවරියක වනවා. අරගල කාලසීමාවේ බදුල්ල ප්‍රදේශයේ දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ ඔහු විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවක් අසාර්ථක වූ අතර පසුව ඔහුව පොලිස් අත්අඩංගුවට පත්වුණා. නිදහස් වීමෙන් අනතුරුව ජන මාධ්‍ය ක්ෂේත්රයේ සුවිශාල භූමිකාවක් ඉෂ්ට කළ ඔහු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැනි සංවිධාන වලට ද නායකත්වය ලබා දුන්නා.
6. ලොකු අතුල
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයන් අතරින් කෙනෙකු වූ ලොකු අතුල නොහොත් නිමලසිරි ජයසිංහ යටතේ එම සංවිධානයේ ආයුධ අංශය පැවතුණා. 71 කැරැල්ලේදී කෑගල්ල පොලිසියට පහර දීම ඔහු වෙත පැවරුණු නමුත් එය සාර්ථකව කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. සිරගත වීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණට සමු දුන් ඔහු පසු කලෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය යටතේ විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහටත් කටයුතු කළා.
7. පොඩි අතුල
ජනතා විමුක්ති පෙරමුණේ ආයුධ අංශයේ කටයුතු කළ පොඩි අතුලට බෝම්බයක් නිෂ්පාදනය කිරීමට යෑමේ දී අතක් අහිමිව ගියා. මෙම තුවාල වලට ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදී ඔහු අත්අඩංගුවට පත්වුණු අතර නිදහස් වීමෙන් පසුව වාමාංශික පක්ෂවලට සමීප දේශපාලන ස්ථාවරයක් දැරීමට ඔහු යොමු වුණා. පොඩි අතුලගේ සැබෑ නම වන වික්ටර් අයිවන් ලෙසින් ජනමාධ්‍ය ලෝකය තුළ ප්‍රකට වූ ඔහු දේශපාලන ලෝකය තුළ අතිශය පෙරළිකාර චරිතයක් බවටත් පත් වුණා.
මේ ලිපියට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර උඩ ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වුණු අනිත් චරිත ගැනත් ලිපි පෙළක් ලියන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම නම් ඉතිං වෙනදා වගේම මේ ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.
Leave a Reply