අපි නොදන්න ඉන්දීය රණශූරයෝ

අපි බටහිර අධ්‍යාපන ක්‍රමයක හිරවෙලා හිට්ලර්ලා ගැන, නැපෝලියන්ලා ගැන මහා ඇලෙක්සැන්ඩර්ලා ගැන ඉගෙන ගන්නවා. හැබැයි අපි අපේ රටේ ඉතිහාසය ගැන වත් හරියට ඉගෙන ගන්නේ නැහැ. ඒ වගේම කලාපීය ඉතිහාසය ගැනවත් වැඩි දැනුමක් ලබාගන්න අපි උත්සාහ කරන්නේ නැහැ. මේ නිසා Lifie අපි හිතුවා ඉන්දියාවෙන් බිහිවුණ විශිෂ්ට ගණයේ රණශූරයෝ කීපදෙනෙක්ව මේ ලිපිය හරහා ඔබට හඳුන්වා දෙන්න.

 

1. රාජේන්ද්‍ර චෝල 

රාජේන්ද්‍ර චෝල කියන්නේ කියන්නෙ ලංකාවේ  සතුරෙක්. ඒකට හේතුව තමයි අනුරාධපුර රාජධානිය බිඳ වැටෙන්න හේතු වුණු චෝල ආක්‍රමණය සදහා අණ නිකුත් කරන ලද්දේ රාජේන්ද්‍ර චෝල විසින් වීම නිසා. චෝල හමුදා වලට අසු වුණු පස්වන මිහිඳු රජතුමාට චෝල දේශයේ සිරකරුවෙක් විදිහට මිය යන්න සිද්ධ වෙනවා. මේ කොහොම වුණත් රාජේන්ද්‍ර චෝල තමයි චෝල අධිරාජ්‍යයේ බිහිවුණු විශිෂ්ටතම රණ ශූරයා. ගංගා නිම්නය දක්වාම චෝලයන්ගේ බලපරාක්‍රමය විහිදුවන්න සමත් වෙන රාජේන්ද්‍ර චෝල, මැලේසියාවේ ශ්‍රී විජය අධිරාජ්‍යය ආක්‍රමණය කිරීමටත් සමත් වෙනවා. ඒ වගේම දකුණු දිග තායිලන්තය, සුමාත්‍රා ජාවා වගේ දූපත් දක්වාම ඔහු තම අණසක පතුරවනවා.

 

2. මහා අක්බාර්

විශිෂ්ටතම මෝගල් අධිරාජයා විදිහට සැලකෙන මහා අක්බාර් රණ ශූරයෙක් විදිහට වගේම විශිෂ්ට පාලකයෙක් විදිහටත් ඉන්දියාව තුළ ගෞරවාදරයට පත් වෙනවා. ඔහුගේ පාලන කාලයේ දී එතෙක් උතුරු ඉන්දියාවට පමණක් සීමාවෙලා තිබුණු මෝගල් අධිරාජ්‍යය මධ්‍යම ඉන්දියාව සහ ඩෙකෑන් සානුව දක්වාම විහිදුවාලීමට ඔහු සමත් වෙනවා. ඒ වගේම බුද්ධිමත් පරිපාලකයෙක් වන ඔහු කඩුවෙන් පමණක් තමන්ගේ අධිරාජ්‍ය පවත්වා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. ඉස්ලාම් භක්තිකයෙකු වුවත් හැම ආගමකටම සහනශීලී ප්‍රතිපත්තියක් ඔහු විසින් අනුගමනය කරනවා.

 

3. ෂේර් ෂා සූරී 

ෂේර් ෂා සූරීව සැලකෙන්නේ මෝගල් අධිරාජ්‍යයේ ප්‍රබල සතුරෙක් විදිහට. නමුත් අපි කලින් සඳහන් කරපු අක්බාර් අධිරාජ්‍යයා ෂේර් ෂා සූරීට දැඩි ගෞරවයක් දැක්වූවා. ඒ ඔහු රණශූරයෙක් විදිහට වගේම දක්ෂ පරිපාලකයෙක් විදිහට සිදු කරපු වෙනස්කම් නිසා. මෝගල් අධිරාජ්‍යයේ ආරම්භකයෙකු වූ හූමායන් පරදා වර්තමාන බිහාරය කේන්ද්‍ර කරගනිමින් උතුරු ඉන්දියාව පුරා තමන්ගේ බලය පතුරවා හැරීමට ෂේර් ෂා සූරී සමත් වුණා. ඉන්දියාව තුළ තැපැල් ක්‍රමය ආරම්භ කිරීමේ ගෞරවය හිමි වන්නේත් ෂේර් ෂා සූරී හටයි. පළමු වතාවට මුදල් ඒකකයක් විදිහට රුපියල භාවිතා කිරීම ආරම්භ කරන ලද්දේ ඔහු විසින්මයි.

 

4. චන්ද්‍රගුප්ත

මේ නම නම් අද වෙන කොට ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ සිංහලෙන් හඬකවපු විවිධ මාලා නාටක වලට පින් සිද්ධ වෙන්න. මෞර්ය අධිරාජ්‍යයේ ආරම්භකයා වුණු චන්ද්‍රගුප්ත මහා ඇලෙක්සැන්ඩර්ටත් පරාජය කිරීමට නොහැකි වුණු නන්ද රාජවංශය පරාජය කරලා මගධ අධිරාජයා බවට පත්වෙන්නත් සමත් වුණා. ඒ වගේම එතෙක් උතුරු ඉන්දියාවට බලපෑම් කරමින් සිටි සිටි මහා ඇලෙක්සැන්ඩර්ගේ අනුප්‍රාප්තිකයන්ට දැඩි ප්‍රතිරෝධයක් එල්ල කළා. චන්ද්‍රගුප්තගේ මේ සාර්ථකත්වය පිටිපස්සේ චානක්‍යය නම් දාර්ශනිකයා සිටිය බව සඳහන් නොකළොත් මේ සටහන සම්පූර්ණ නැහැ.

 

5. සමුද්‍ර ගුප්ත 

ගුප්ත රාජ වංශයේ සුප්‍රකට රණකාමියා විදිහට සැලකෙන්නේ සමුද්‍ර ගුප්ත අධිරාජ්‍යයායි. ඔහුගේ කාලයේ දී ගුප්ත අධිරාජ්‍යය රවී නදියේ සිට බ්‍රහ්මපුත්‍ර නදිය දක්වාත් උතුරෙන් හිමාල කඳුවැටියේ සිට පල්ලව රාජධානිය දක්වාත් විහිදී ගියා. ඔහු විසින් පිහිටුවා ඇති අලහබාද් ප්‍රශස්තිය නම් ඒ ලිපියට අනුව ශ්‍රී ලංකාවත් ඔහු ආක්‍රමණය කොට තිබෙනවා. නමුත් මේ පිළිබඳව නම් අපේ වංශකථා වල සඳහන් වීමක් වන්නේ නැහැ. දැඩි හින්දු භක්තිකයකු වුණු ඔහු ඉන්දීය ඉතිහාසය තුළ අශ්වමේධ යාගය සාර්ථකව සිදු කරනු ලැබූ රජවරුන් අතරින් එක් අයෙකු බවට පත් වෙනවා.

 

6. පෘථිවිරාජ් චෞහාන්

ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමණිකයන්ගේ තර්ජන  එල්ල වන මුල් අවස්ථාවේදී නිර්භීතව සටන් වැදුණු රණශූරයෙක් විදිහට පෘථිවිරාජ් චෞහාන් ඉන්දියානුවන්ගේ ගෞරවාදරයට ලක් වෙනවා. එවකට ඔහුගේ අධිරාජ්‍යය රාජස්ථානය හර්යානා සහ දිල්ලි ප්‍රදේශ වල සම්පූර්ණයෙන් පැතිරී පැවතුණා. උතුරු ඉන්දියාවේ පැවති බොහෝ හින්දු රාජ්‍ය චෞහාන්ගේ අණසක පිළිගත්තා. උතුරු ඉන්දියාව ආක්‍රමණය කළ මුහම්මද් ඝෝර් නම් ආක්‍රමණිකයා පරාජය කළ චෞහාන් එක් වැරැද්දක් කළා. ඒ තමයි ජීවග්‍රහණයෙන් ඔහුව අල්ලා ගැනීමට හැකි වුවත් චෞහාන් ඔහුව ඒ අවස්ථාවේදී නිදහස් කිරීම. නැවත අතිරේක බල ඇණි සමඟ ඉන්දියාව ආක්‍රමණය කළ මුහම්මද්, චෞහාන්ව පරාජය කර මරණයට පත් කිරීමට සමත් වුණා.

 

7. මහාරානා ප්‍රතාප්

අක්බාර් අධිරාජ්‍යයාට හිසරදයක් වෙන්න සමත් වෙච්ච රණශූරයෙක් තමයි මහාරානා ප්‍රතාප් කියන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආඩම්බරකාර රාජ්පුත් රාජ වංශිකයෙකු වූ මහාරානා ප්‍රතාප්, කොයිතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණත් අක්බාර් අධිරාජ්‍යයා යටතේ සාමාන්ත රජ කෙනෙක් වීමට තමන්ගේ කැමැත්ත පළ කළේ නැහැ. මාහාරානා ප්‍රතාප්ව යුද්ධ දෙකකින් පරාජය කිරීමට අක්බාර් අධිරාජ්‍යයාගේ සෙබළු සමත් වුණත් ඒ සෑම අවස්ථාවකදීම පසුබැස ගොස් නැවතත් මෝගල් අධිරාජ්‍යයට තර්ජනය එල්ල කිරීමට මහාරානා ප්‍රතාප් සමත් වුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *