තමන් ආස විෂයක් ගැන දේවල් ඉගෙන ගන්න නම් මේ වෙබ් අඩවි වලට යන්න

අපි හැමදාමත් කියන දෙයක්නේ ඉගෙන ගන්නවා කියන එකට වයස් භේදයක්, කාලයක් නෑ කියන එක. විශේෂයෙන්ම ඔය පාසැල් අධ්‍යාපනය ගැන නෙවෙයි අපි කියන්නේ. උසස් අධ්‍යාපනය පවා හමාර කරලා හිටියත් අපිට ඒත් තව දේවල් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන කෙනෙක්ට ගිහින් අන්තර්ජාලයෙන් අභ්‍යවකාශය ගැන කියවලා කරලා ඉගෙන ගන්න පුළුවන් තැන් තියෙනවා. ඇත්තටම ඒ විදියට එකතු කරගන්න දැනුම කිසිසේත්ම අපතේ යන එකක් නෑ. මොකද, සාමාන්‍ය කතා බහකදී විතරක් නෙවෙයි, අපේම චින්තනය දියුණු තියුණු කරන්න පවා ඔය වගේ එකතු වෙන දැනුම වැදගත් වෙනවා. 

 

අපි කලිනුත් Lifie.lk එකෙන් කතා කරලා තියෙනවා වටිනා කියන දැනුම එකතු කරගන්න පුළුවන් වෙබ් අඩවි ගැනත්, ඒ වගේම යම් යම් විෂයයන් විධිමත් විදියට හදාරන්න පාඨමාලා ඉදිරිපත් කරන ඔන්ලයින් පර්යන්තයන් ගැනත්. ඉතින් ඒ අතරට විශේෂයෙන්ම වෘත්තිය ජීවිතය සඳහා අවශ්‍ය දැනුම විධිමත් විදියට ලබාගන්න පුළුවන් මේ වෙබ් අඩවි සෙට් එකත් එකතු කරගන්න එක ප්‍රයෝජනයක් වෙයි, දැනුම හොයාගෙන යන කෙනෙක්ට.

 

1. CreativeLive

ඡායාරූපකරණය හරි වීඩියෝකරණය හරි ගැන විධිමත්ව ඉගෙන ගන්න ඕනැද? එහෙම නැතිනම් ඇඩෝබ් ප්‍රිමියර්, ඇඩෝබ් ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකක් එක්ක වැඩ කරන විදිය? නැතිනම් චිත්‍රපටකරණය ගැන? ඕන නම් අයිෆෝන් එකකින් කොහොමද ෆොටෝස් සහ වීඩියෝස් ගන්නේ කියන එක ගැන? ඒ විතරක් නෙවෙයි, අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන, ඔන්ලයින් බිස්නස් කිරීම ගැන, බිස්නස් සඳහා සෝෂල් මීඩියා පාවිච්චි කිරීම ගැන වගේ දේවල් යටතේත් විධිමත් දැනුමක් එකතු කරගන්න කැමතිද? ආන්න එහෙමනම් මේ CreativeLive කියන්නේ ඒකට ගැලපෙනම තැනක්. Photo & Video, Money & Life, Art & Design, Craft & Maker සහ Music & Audio කියන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන ඔන්ලයින් කෝසස් ගණනාවක් මේ වෙබ් අඩවියේ තියෙනවා.

මේකේ තියෙන කෝසස් කරන්න සල්ලි ගෙවන්න ඕන වුණත්, මේ මොහොතේ ලයිව් තියෙන දේශන නොමිලේ අහන්නත් ඉඩ කඩ තියෙනවා.

 

2. Coach.me

අපි හැමෝම ඉලක්ක සහ අරමුණු තියාගෙන වැඩ කරන්න ඕනනේ. අන්න එහෙම වැඩ කළොත් තමයි අපිට හිතන පතන ජීවිතේකට යන්න, අපි කරන්න ඕන කියලා හිතන දේවල් සාක්ෂාත් කරගන්න, අපේ වටිනාකම නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට Coach.me කියන්නේ අන්න ඒ සඳහා මග පෙන්වන, අපේ ඉලක්ක සහ අරමුණු වලින් එහෙ මෙහෙ නොවී, ඒවා ට්‍රැක් කරගෙන ඉස්සරහට යන්න ඉඩ ලබාදෙන ඇප් එකක්. අපිට ඕන නම් මුදල් ගෙවලා අපිටම වෙන් වුණු පර්සනල් කෝච් කෙනෙක්ව හයර් කරන්නත් පුළුවන්. එහෙම කෝච්ලා 8,000 ක් විතර මේකේ ඉන්නවා. එහෙම නැතිනම් නොමිලේ ටාගට් වලට යෑම ගැන දැනුම ලබාගන්නත් පුළුවන්.

 

3. Lynda

මීට අවුරුදු ගණනාවකට කලින් වෙනම වෙබ් අඩවියක් විදියට ක්‍රියාත්මක වුණු Lynda, දැන් ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ LinkedIn Learning එක්ක තමයි. විශේෂයෙන්ම LinkedIn Premuium අරගෙන තියෙන අයට Lynda වෙබ් අඩවියේ තියෙන කෝසස් දාස් ගාණට නොමිලේම ඇක්සස් ලැබෙනවා. ඩිජිටල් මාකටින් වල ඉඳලා ග්‍රැෆික් ඩිසයිනින්ග් දක්වා, ඉන්ෆොර්මේෂන් ටෙක්නොලොජි වල ඉඳන් ඩේටා ඇනැලිසිස් දක්වා, ඊ-කොමර්ස් වල ඉඳලා ප්‍රින්ට් ප්‍රඩක්ෂන් දක්වා විධිමත් දැනුමක් ලබාදෙන විවිධාකාරයේ පාඨමාලා 13,000 කට අධික ප්‍රමාණයක් Lynda අඩවියේ තියෙනවා. මේ කෝස් වලට වෙන වෙනම ගෙවන්න දේකුත් නෑ. තමන්ට අවශ්‍ය විදියට මෙම්බර්ෂිප් එකට ගෙව්වා නං, එතනින් එහාට මේ හැම කෝස් එකක්ම ෆ්‍රී.

 

4. General Assembly

ඇත්තටම අද කාලේ දැනුම කියන්නේ බලය තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, සහතික එකතු කරනවට වඩා ප්‍රායෝගිකව යම් යම් දේවල් වල දැනුම තියෙනවා කියන්නේ වෘත්තිය ජීවිතයේදී වුනත් අනික් අයට වඩා ඉක්මනට ඉහළ නගින්න පුළුවන් අවස්ථා වැඩියි කියන එක. ඇත්තටම මේ විධිමත් පාඨමාලා විදියට දැනුම ලබාදෙන වෙබ් අඩවි වැදගත් වෙන්නේත් අන්න එතනදී තමයි. General Assembly කියන්නේත් ලෝකෙ පුරා තියෙන සරසවි 30 කට වැඩි ප්‍රමාණයක් එක්ක නිල වශයෙන් සක්‍රියව සම්බන්ධ වෙලා, Business, Career Development, Coding, Data, Design, Marketing වගේ විවිධ විෂයන් ගැන නවීන දැනුම පාඨමාලා වලින් ඉදිරිපත් කරන පර්යන්තයක්. මේ පාඨමාලා මුදල් ගෙවලා ලබාගන්න ඕන වුණත්, නොමිලේ ලබාගන්න පුළුවන් කෝසස්, වර්ක්ෂොප් එහෙමත් මේකේ තියෙනවා. මේ පාඨමාලා ෆුල් ටයිම් වගේම පාට් ටයිම් විදියට හදාරන්නත් පුළුවන්.

 

5. Udacity

අපි උඩිනුත් කිව්වනේ වර්තමානේ වෘත්තිය ජීවිතේට දැනුම කොයි තරම් බලවත් කාර්යයක් කරනවද කියන එක ගැන. Udacity වෙබ් අඩවියෙන් ඇත්තටම තනි තනි පුද්ගලයන්ට වෘත්තිය ජීවිතය දියුණු කරගන්න, ආයතන වලට බිස්නස් එක දියුණු කරගන්න විතරක් නෙවෙයි, රාජ්‍යයන්ට තමන්ගේ ශ්‍රම බලකාය දියුණු කරගන්න පවා සේවය ලබාදෙනවා. විශේෂයෙන්ම ලෝකේ තියෙන හැම තාක්ෂණික ක්ෂේත්‍රයකින්ම වගේ නැනෝ-උපාධියක් Udacity ඔස්සේ ලබාගන්න පුළුවන්. නැනෝ-ඩිග්‍රි එකක් කියන්නේ මාස 12 කට අඩු කාලයකදී සම්පූර්ණ කරන්න පුළුවන් උපාධි වලට තමයි. Udacity ඔස්සේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් ඉඳලා වෙබ් නිර්මාණය දක්වා විවිධ විෂයන් වල දැනුම ලබාගන්න පුළුවන්.

 

6. SitePoint

වෙබ් ඩිවලොප්මන්ට් කියන්නේ මේ කාලේ ඉතාම ප්‍රචලිත විෂයක්නේ. මොකද, දැන් කාලේ අපි ඉතාම තදින් අන්තර්ජාලය එක්ක බැඳිලා තියෙන තරමට, හැම කෙනෙක්ටම හැම බිස්නස් එකකටම වෙබ් සයිට් එකක් තියෙන එක සහ ඒවා නඩත්තු කරන එක අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසාම වෙබ් ඩිවලොප්මන්ට් සබ්ජෙක්ට් එක දන්න අයට ජොබ් තියෙනවා. මේ SitePoint සයිට් එකෙන් කරන්නේ වෙබ් ඩිවලොප්මන්ට්‍ සීන් එකේ ඉන්න සහ ඒකට එන්න කැමති අයට තමන්ගේ වෙබ් අඩවි සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කරගන්න දැනුම ලබාදීම තමයි. සාපේක්ෂව අඩු මුදලකට මාසික සාමාජික ගාස්තුවක් ගෙවලා, කෙනෙක්ට මේ සයිට් එකේ තියෙන වීඩියෝ ටියුටෝරියල්, ඔන්ලයින් පොත් සහ පාඨමාලා වල දැනුම ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ අයගේ කමියුනිටි එකේ ඉන්න එක්ස්පර්ට්ලා එක්ක සාකච්ඡාවක් එහෙම දාලා නොතේරෙන, නොදන්න දේවල් අහගන්නත් පුළුවන්.

 

7. Skillcrush

මෙන්න මේකත් අද කාලේ දවස ගාණේ නවීන වෙන වෘත්තිය ජීවිතේ හැකියාවන් ලබාගැනීම සහ වැඩිදියුණු කරගැනීම වෙනුවෙන්ම හඳුන්වලා දීලා තියෙන, විධිමත් විදියට පාඨමාලා පවත්වන වෙබ් අඩවියක්. විශේෂයෙන්ම යම් කිසි වෘත්තියකට අවශ්‍ය කරන දැනුම ටූල්සෙට් එකක් විදියට ලබාගන්නත්, ඒ දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන විදිය ඉගෙන ගන්නත් Skillcrush එකෙන් ලබාදෙන මේ පාඨමාලා ඔස්සේ පුළුවන්. උදාහරණයක් විදියට කිවුවොත්, කෝඩින් -එහෙම නැතිනම් පරිගණක ක්‍රමලේඛනය- ඉගෙන ගන්න ඕන නම්, ඒකට ගැලපෙන පාඨමාලා මෙතන තියෙනවා. විෂුවල් ඩිසයිනින්ග් ඉගෙන ගන්න ඕන නම් ඒකටත් පාඨමාලා තියෙනවා. ඩිජිටල් මාකටින් ඉගෙන ගන්න ඕන නම් ඒකටත් පාඨමාලා තියෙනවා. මේ පාඨමාලා වල මාස තුනෙන් සම්පූර්ණ කරන්න පුළුවන් ක්ලාසස් වගේම, ඉවර කරලා පෙන්නන්න ඕන ප්‍රොජෙක්ට්ස් එහෙමත් තියෙනවා.

 

දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි ඔන්ලයින් මේ දේවල් ඉගෙන ගන්න සල්ලි ගෙවන්නේ කියලා. නිකමට හිතලා බලන්න, නිදහස් අධ්‍යාපනයෙන් ලබාගන්න දැනුම සහ නොමිලේ පැවැත්වෙන මොකක් හරි පාඨමාලාවක් ඇරෙන්න, මේ ලෝකේ වෙන කොහෙද නවීන දැනුම සල්ලි ගෙවන්නෙ නැතුව ඉගෙන ගන්න පුළුවන් තැන් තියෙන්නේ කියලා. ඉතින් ඒක ඔන්ලයින්ද කියන එක අදාළ වෙන්නෙ නෑ. විශේෂයෙන්ම උඩ කියලා තියෙන තැන් වල පාඨමාලා ගැන ලෝකේ සෑහෙන්න වෘත්තිකයෝ ෂුවර් කරන නිසා, අපරාදෙ සල්ලි වෙන එකකුත් නෑ. වැඩි හොඳට ෆ්‍රී ට්‍රයල් එකක් ට්‍රයි කරලා බැලුවා නං හරි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *