අපි හීනෙකින්වත් නොහිතපු විදිහේ වසංගතයක් ඇවිත් ලෝකෙම උඩු යටිකුරු කරලා. ලෝකෙ බොහොමයක් රටවල් ලොක් ඩවුන් කරලා. ගුවන් ගමන්, නැව් ගමන් නැවතිලා. මුළු ලෝකෙම එක තැනක නතර වෙලා වගෙයි. මේව අපි අහල දැකල තිබ්බේ film වල TV series වල විතරයි, දැන් අපිට ඒ දේවල් හැබෑ ජීවිතේදිම අත්විඳින්න වෙලා. මේ පුංචි ලංකාවේ අපිටත් කොරෝනා වසංගතයෙන් බේරෙන්න බැරි උණා. දැන් අපිත් හුඟක් රටවල අය වගේ සති ගාණක් තිස්සේ ගෙවල් ඇතුළෙම හිරවෙලා. කවදා මේ ප්‍රශ්නේ ඉවර වෙයිද කියන්න අපි කවුරුත් දන්නෙ නැහැ. ඉතින් මේ රටම බයෙන් වෙලිලා තියෙන මේ වගේ අවස්ථාවක රටේ පුරවැසියො විදිහට අපි හැසිරෙන්න ඕන මෙන්න මෙහෙමයි කියල මතක් කරන්නයි මේ උත්සාහය.
1. සරල ආහාර රටාවක්
අපි කවදත් ජයට කන්න පුරුදු වුණ ජාතියක්. හැබැයි දැන්, මේ අර්බුද අවස්ථාවෙදිනම් එහෙම කාල හරියන්නෙ නැහැ. දැනට අපිට ඇති තරම් කන්න බොන්න ඕන දේවල් තියෙන්න පුළුවන්. ඒත් දැන් ලංකාවට පිටරටින් එන පරිප්පු, පාන් පිටි වගේ හුඟක් දේවල් නැව් ගමන් එක්කම නැවතිලා කියන දේත් මතක තියාගන්න ඕන. ඒ නිසා තියෙන ආහාර ටික අරපරිස්සමට පාවිච්චි කරල සරල කෑම වේලකින් දවස් පිරිමහගන්න පුරුදු වෙමු. අනිත් දේ තමයි දැන් ගෙවල් වලම ඉන්න නිසා ඇඟට ව්‍යායාමයක් කෙරෙන්නෙත් නැහැනෙ. ලොකුවට කාල ඉස්සරහට ලෙඩ ගොඩකට අත වැනීමක් තමයි වෙන්නෙ. ඒකටත් හොඳ විසඳුමක් තමයි සරල ආහාර රටාවකට හැඩගැහෙන එක.
2. සමාජ මාධ්‍ය පරිහරණය
ගෙවල් අස්සෙ හිරවෙලා ඉන්න අපිට එකම පිහිට සමාජ මාධ්‍ය තමයි ඉතින්. ඒ කිව්වෙ යාලුවෙක් හම්බවෙන්න, නෑදෑයෙක් බලන්න යන්න බැරි එකේ එයාල එක්ක දුරින් ඉඳන් කතා කරන්න, කම්මැලිකමට ඉන්න වෙලාවට වීඩියෝ එකක් බලල සතුටු වෙන්න එහම පිහිටට ඉන්නෙ ඉතින් ෆේස්බුක්, යූ ටියුබ්, වට්සැප් වගේ සමාජ මාධ්‍ය තමයි. හැබැයි මේ සමාජ මාධ්‍ය වල සැරිසරනකොට වෙනදට වඩා ලොකු වගකීමක් අපිට මේ දවස්වල තියෙනවා. නොදන්නා වැරදි නිව්ස් ෂෙයාර් නොකර, දේශපාලඥයින්ගේ උවමනාවන්ට ඇවිස්සිලා ජාතිවාදය පතුරුවන්න උදව් නොකර තමන්ගේ පාඩුවේ සමාජ ජාල පරිහරණය කරන එක තමයි කරන්න ඕන.
3. මුදල් පරිහරණය
මේක අපි කාටත් අමාරු කාලයක්. පෞද්ගලික අංශ වල වැඩ කරන හුඟක් අයට වැටුප් ලැබිල නැහැ. ලැබුන හුඟක් අයටත් මූලික වැටුප විතරයි. දීමනා මුකුත් නැහැ. අනිත් එක මේ තත්ත්වය තව කොච්චර කල් තියෙයිද කියන්න දන්නෙත් නැහැ. ලැබෙන්න තිබුන අවුරුදු බෝනස් එහෙම ලැබෙයිද නොලැබෙයිද කියන්න දන්නෙත් නැහැ. ගෙදර ළඟටම බඩු ගෙනත් දෙනවා කියන හුඟක් අය ගාව බඩු ගිනි ගණන්, ඊටත් වඩා ප්‍රවාහන ගාස්තුත් අය කරනවා. ඉතින් ඔය ඔක්කොම බැලුවම මුදල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන අනිත් කවරදාටත් වඩා මේ දවස්වල. අනවශ්‍ය මිලදී ගැනීම් ටිකකට නවත්තල පුළුවන් තරම් පිරිමහගෙන ජිවත් වෙන්න බලමු. කාලා, බීලා ජොලි කරන්න පුළුවන් රටම මේකෙන් ගැලවුනාට පස්සෙ.
4. නීතිය අකුරටම
රටේ නීතියට ඉහළින්ම ගරු කරන්න. ඒක කවදත් කරන්න ඕන තමයි. හැබැයි මේ කාලෙට වෙනදටත් වඩා. මොකද මේ ඇඳිරිනීතිය වගේ දේවල් මේ වෙලාවේ පනවල තියෙන්නෙ අපේම ආරක්ෂාවට. ඇඳිරිනීතිය බල්ලට ගියදෙන් කියල හිතුමතේ පාරෙ බැහැල ඇවිදින්න, සතුටු සාමීචියේ යෙදෙන්න ගිහිල්ල මේ ලෙඩේ පැතිරෙන එක වේගවත් උනොත් අපි වගේ පුංචි රටකට ගොඩ එන්න හරිම අමාරුයි. ඒ නිසා අපේ උපරිම සහයෝගය මේ වෙලාවේ රජයට අවශ්‍යයි මේ තත්ත්වය පාලනය කරන්න. එපා කියන කිසිම දෙයක් කරන්න එපා. එළියට බහින්න එපා. සෙට් වෙන්න එපා. ගෙවල් ගාණෙ යන්න එපා.
5. නිවැරදි පුවත්
හැම අර්බුද අවස්ථාවකදි වගේම මේ වෙලාවෙත් අනවශ්‍ය බොරු ප්රවෘත්ති ඕන තරම් එහෙ මෙහෙ යනවා. විශේෂයෙන්ම අපි කලින් කිව්ව සමාජ ජාල වල. පේජ් ඇඩ්මින්ල පේජස් ප්‍රමෝට් කරගන්න එක එක විකාර සමාජගත කරන්න පුළුවන්. හැබැයි වගකිවයුතු පුරවැසියො විදිහට අපේ වගකීම තමයි ඇහෙන ඇහෙන හැමදේම ඇත්තමද කියල හොයල බලන එක. දෙයක් ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්න, වට්සැප් එකේ ෆෝර්වර්ඩ් කරන්න කලින් හොඳට හොයල බලන්න මේක ඇත්තද බොරුද කියලා. මොකද නොහිතා පතුරුවන බොරු නිව්ස් එකකින් අපි නොහිතන තරම් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි හැම වෙලාවෙම විශ්වාස කටයුතු තැනකින් ලැබෙන පුවත් විතරක්ම අහන, බලන එක.
6. පරණ විනෝදාංශ ආයෙත්
ගෙවල් වලට වෙලා ඉන්න කම්මැලී, අපෝ එහෙම ඉන්න පුළුවන්ද?, දැන්නම් එපා වෙලා කියන එක තම මේ දවස්වල වැඩියෙන්ම ඇහෙන්නෙ. ඇත්ත තමයි ඉතින්. අපි කවදද මෙහෙම හිරවෙලා හිටියෙ. හැබැයි ඉතින් ඉන්නම වෙනවනෙ. මොකද කියන්නෙ කම්මැලි කමට ආපහු පරණ විනෝදාංශ ටිකක් පටන් ගත්තොත්. එළියට බැහැලා ඇවිදින වගේ ලොකු වැඩනම් කරන්න බැහැ. ඒත් ගෙදර ඉඳන් කරන්න පුළුවන් දේවල් ඕන තරම්. පරණ කැරම් බෝර්ඩ් එකක්, කාර්ඩ් පැක් එකක් එළියට අරන් සෙල්ලම් කරන්න, පොත් කියවන්න, ෆිල්ම්ස් ටිකක් බලන්න, ගෙවත්තේ වවන වැඩක් කරන්න වගේ දේවල්. විනෝදාංශ ගැන අපි කලින් කතා කරපු මේ ලිපිත් කියවල අදහසක් ගන්නකො. කොහොමහරි, මොනදේ කරල හරි ගෙදර ඉන්න එක තමයි හොඳේ වැදගත්.
7. එකිනෙකාට උදව් කරගන්න
කරදර වෙලාවක කවදටත් වඩා හැමෝම එක්ක හොඳින් ඉන්න. ගෙවල් වලට ගිහින් උදව් කරන්න බැහැ තමයි. එත් නිතර දුක සැප හොයල බලන්න. නැති බැරි පවුලකට බඩු මල්ලක් අරන් දෙන්න, සල්ලි වලින් පොඩි උදව්වක් කරන්න වගේ දේවල් මේ වෙලාවෙ කරන්න පුළුවන්. අපි අපි උදව් කරගෙන නැගිටින්න ඕන වෙලාවක් මේක. ඇරත් හෙට මළත් හිත හොඳින් ජීවත් වෙලානේ.
Leave a Reply