මුලින්ම ජොබ් එකකට ගියා කියන්නේ ඉතින් මාර කට්ටක් තමයි. ඕනම ජොබ් එකකට හුරු වෙනකන් ඒක වදයක් වගේ ගතියක් තමයි අපේ ඔලුවට එන්නේ. අනික අපි හිතන් ඉන්නේ ඔහේ පුටු රත් කර කර හිටියම සල්ලි ලැබෙනවා කියලා නොවැ. ඒවා ඉස්සර කාලෙට අදාළ වුණාට දැන් කාලෙට නම් කොහෙත්ම ඒවා අදාළ නෑ. ඒ හන්දා ජොබ් එකකට යන්න ඉන්නවනම් කන්න වෙන මේ කටු හත ගැන දැනගෙනම යන්න මිතුරේ.
1. වැඩ වැඩියි

Image Source – bigthink.com
ඕනෑම ජොබ් එකකට ගියාම මුලින්ම හිතෙන දෙයක් තමයි “වැඩ වැඩියි” කියන එක. ඇත්තටම වැඩ වැඩියිටත් වඩා, එතන වැඩ වැඩියි කියලා අපට පේනවා. හේතුව තමයි අපි මුලින්ම ජොබ් එකකට යන්නේ ඔහේ නිකන් ගෙදරට වෙලා කකා බිබී හිටපු කාලයක් නිම කරලා වීමයි. අන්න ඒ නිසා වැඩ වැඩියි කියලා හිතුනට ගණන් ගන්නෙපා. ඒක ඔබේ හිතලුවක් මිස සැබෑවක් නොවෙයි.
2. වැඩ තේරෙන්නෙ නෑ

Image Source – inc.com
වැඩ වැඩියි වගේම සමහරවිට වැඩ තේරෙන්නෙ නෑ වෙන්නත් පුලුවන්. සමහරවිට කියන වචන පවා නොතේරෙන්නත් පුලුවන්. උදාහරණයක් විදිහට මැත්ස් හරි බයෝ හරි ඒ ලෙවල් වලට කරපු එකෙක් හෝ එකියක් බැංකුවක ජොබකට ගියා කියන්නකෝ. ඕ ලෙවල් වලටත් කොමර්ස් කරලා නැත්නම් කොහොමද දෙයියනේ කියන වචන එක පාරට ඒ එකා හෝ එකී තේරුම් ගන්නේ? ඔන්න ඕකනම් සිරාම කට්ටක්. හොඳම වැඩේ තමයි නෝට් බුක් එකක වගේ නොදන්න දේවල් ලියාගන්න එක. නැත්නම් සමහර දේවල් මෙලෝ සම්මජ්ජාතියකට තේරුම් නොයන්න පුලුවන්.
3. වැඩ හෙමින්

Image Source – amoils.com
ඒ වගේම තමයි ඕනෑම දෙයක් මුලින්ම කරද්දී ඒක ඉගෙනගන්න කාලයක් යනවා. අන්න ඒ නිසා ජොබට ගියපු මුල් දවස් වල ඔබේ “හෙමින් වැඩ” නිසා බැනුම් අහන්න වෙන්නත් පුලුවන්. ඒ බැනුම් ඕනෑවට වඩා ගණන් ගන්නෙපා. කාලයක් යද්දී ඔබේ අතේ හුරුව සහ හිතේ හුරුවත් එක්ක වැඩ ඉක්මන් වෙනවා. වේගවත් වෙනවා. ඒක ස්ථිරයි.
4. බැනුම් බැනුම් බැනුම්

Image Source – uk.businessinsider.com
ගෙදරට වෙලා සීනි බෝලයක් වගේ හැදිච්ච කොල්ලෙක්ට, කෙල්ලෙක්ට තමන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් කෙල්ලෙක්ගෙන්, කොල්ලෙක්ගෙන්, එහෙමත් නැත්නම් බොස්ගෙන් බැනුම් අහන්න වෙන එක හිත රිද්දන දෙයක් වෙන්න පුලුවන්. ඒත් ඒකටත් හුරු වේවි කාලයක් යනකොට. ඇත්තටම මුල් කාලෙදී බනින්නේ වැරදි වලට වඩා එතන සිස්ටම් එකට ඔබව හුරුකරගන්නයි. ඉතින් එතනට හුරු වෙන්න. බනින අයත් එක්ක සුහදව කටයුතු කරන්න බලන්න.
5. වෙලාවක් නෑ

Image Source – nypost.com
ඊළඟට මුල්ම දවස් වල හිතෙන තව දෙයක් තමයි “කෝ යකෝ නිදහසේ තිබ්බ ජීවිතේ..?” කියන එක. මේකනම් ඇත්ත කතාවක්. ජොබ් එකකට යන්න පටන් ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් ගත කරපු නිදහස් ජීවිතයෙන් මිදෙන්න අපට සිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඒකට හොඳම දේ තමයි කාර්යාල වෙලාවෙන් බැහැර වෙලාව අර්ථවත්ව සහ නිදහස්ව ගත කිරීම. පැය හයක් විතර නින්දට වෙන් කරලා, දවසේ ඉතුරු කාලය ඔබේ ජීවිතය අර්ථවත් කරගන්න වෙන් කරන්න අමතක කරන්න එපා. ඒ වෙනුවෙන් හරියට කාලය කළමනාකරණය කරගන්න.
6. අනිත් අය..?

Image Source – xavierbenito.hol.es
මේ ප්‍රශ්නෙනම් කොල්ලෙක්ට වඩා එන්නෙ කෙල්ලෙක්ට. සාමාන්‍යයෙන් ජොබකට මුලින්ම යන කෙල්ලෙක්ට එක පාරට එතන ඉන්න උං සෙට් වෙන්නෙ නෑ. කොල්ලෙක් ගියාම නම් එතන ඉන්න කොල්ලෝ සෙට් එකට ඒකව සෙට් වෙන්න මහ වෙලාවක් යන්නෙ නෑ. ඒත් ඉතින් දන්නෙ නැද්ද කෙල්ලෝ..? ටික වෙලාවක් යාවි සෙට් වෙන්න. සමහරවිට ටික වෙලාවක් කියන්නේ දවස් දෙක තුනක්, සතියක් වගේ වෙන්නත් පුලුවන්. කමක් නෑ. ඉවසීමෙන් කාත් එක්කත් සුහදව ඉන්න. වෙලාවට කවුරුත් සෙට් වේවි.
7. ආදරේ කරන අය

Image Source – youtube.com
ඔව්. ජොබකට යන්න පටන් ගත්තම ඔබ ආදරය කරන අය වෙනුවෙන් ඔබ වෙන් කරපු කාලය අඩු කරන්න වෙනවා. ඉතින් ඒක මුලදී ගොඩක් වෙනසක් විදිහට දැනේවි. සමහරවිට ඔබට ජොබ් එක අත ඇරලා පරණ පුරුදු විදිහට ඉන්න හිතෙන තරමටම ඒ වෙනස්කම දැනේවි. ඒත් ඒක තමයි ස්වභාවය. ඒක වැඩිය ඔලුවට නොගෙන වැඩ කරන්න. ඔබේ ආදරණීයයන් වෙනුවෙන් කරන හොඳම දේ මේ කාර්යය නිවැරදිව ඉටු කිරීම බව හිතන්න.
ඉතින් මෙන්න මේවා තමයි මුලින්ම ජොබ් එකකට යද්දී විඳින්න වෙන අමාරුකම්. ඉතින් මේවා අමාරුවෙන් හරි දරාගන්න බලන්න. ඔබට වරදින එකක් නෑ.
Cover Image Source -cheatsheet.com/dissolve.com/smart-office.net
Leave a Reply