මීට සති කීපයකට කලින් බුද්ධ කාලීන මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිබඳව සටහනක් lifie අපි ඔබ වෙතට ගෙනාවා. ඒ ලිපිය පහත ලින්ක් එක ක්ලික් කරලා කියවන්න පුළුවන්.
බුද්ධකාලීන මහා ශ්‍රාවකයෝ
අද අපි කතා කරන්න යන්නේ බුද්ධ කාලීනව වැඩ විසූ මහා ශ්‍රාවිකාවන් වහන්සේ හත් නමක් පිළිබඳව. භික්ෂු ශාසනයට සාපේක්ෂව භික්ෂුණී ශාසනය පිහිට වන්නේ පසුවයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පවා පළමු අවස්ථාවේදී භික්ෂුණී ශාසනය පිහිටුවීමට තමන්ගෙ අනුමැතිය ලබා දෙන්නේ නෑ. පසුව බුද්ධෝපස්ථායක ආනන්ද තෙරණුවන් ගේ ඉල්ලීම මත භික්ෂුණී ශාසනය පිහිටුවා වදාරනවා. ඒ හරහා එවකට ඉන්දියාවේ දැඩි ලෙස පීඩනයට ලක්ව සිටි කාන්තාවන්ට විශාල නිදහසක් ලැබෙනවා. ඔවුන්ට තමන්ගේ විමුක්තිය හොයන්න යන්න අවස්ථාව ලැබෙනවා. මේ තමන්ට ලැබුණු ඒ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගෙන නිර්වාණය සාක්ෂාත් කරගත් භික්ෂූණීන්වහන්සේ හත් නමක්.
1. සෝණා මහරහත් තෙරණින් වහන්සේ
සැවැත් නුවර සිටු පවුලක උපත ලැබූ සෝණා විවාහ වී දරුවන් දස දෙනෙක් ලැබුවා. මේ නිසා “බහුපුත්තික සෝණා” නමින් ඇය ප්‍රසිද්ධියට පත් වුණා. එතුමියගේ සැමියා දරුවන්ට කළ යුතු සියලු යුතුකම් ඉටු කොට මහණ වුණා. දරුවන් සෝණා සතු ඉඩම් කඩම් ආදිය තමන් යටතට ගනිමින් අවසානයේදී තම මවට නොසලකා හරින්නට වුණා. අවසානයේ දී ඇය පැවිදි වෙන්න තීරණය කළා. මහලු වියේදී පැවිදි වූ ඇයට තරුණ භික්ෂුණීන්වහන්සේගේ විවිධ වෙනස්කම්වලට ලක්වන්නට සිදු වුණා. දිනක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමට මෙහෙණිවරෙහි විසූ අනෙකුත් භික්ෂුණීන්වහන්සේලා ගියත් සෝණා මෙහෙණින්වහන්සේව තමන් පැමිණෙන විට වතුර උණුකොට තබන ලෙස පවසමින් ඇයව නතර කර ගියා. වතුර රත් කිරීමට දර සූදානම් කළ සෝණා භික්ෂුණීන්වහන්සේ භාවනාවේ යෙදුණා.මේ බව දුටු භාග්‍යවතුන් වහන්සේ ආලෝක ධාරාවක් එවා සෝණා භික්ෂුණීන්වහන්සේට ධර්ම දේශනාවක් සිදු කළා. එම ධර්ම දේශනාව අවසානයේ දී ඇය රහත් ඵල සාක්ෂාත් කර ගත්තා. සෝණා භික්ෂුණීන්වහන්සේට අධික වීර්යය ඇති භික්ෂුණීන්වහන්සේ අතර අග්‍රස්ථානය බුදුරජාණන්වහන්සේ විසින් පිරිනමනු ලැබුවා.
2. භද්දා කපිලානි මහ රහත් තෙරණින් වහන්සේ
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගිහි කල පිප්ඵලී නම් බ්‍රාහ්මණ තරුණයෙක්ව සිටියා. එකල එතුමාගේ බිරිඳ වූයේ භද්දා කපිලානියයි. කල්ප ගණනක් අඹුසැමියන් ලෙස විවිධ භවවලදී හමුවූ මේ දෙදෙනාගේ එකම බලාපොරොත්තුව වූයේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. මවුපියන් ගේ බලවත් ඉල්ලීම මත විවාහ දිවියට එළඹුනත් ඔවුන් දෙදෙනා කිසි දිනෙක රාග සිතකින් දෙදෙනා දිහා බැලුවේ නැහැ. අවසානයේදී ඔවුන්ගේ මවුපියන්ගේ මරණයෙන් පසුව දෙදෙනාම ගිහි ගෙය අත් හරින්නට තීරණය කළා. පිප්ඵලී තරුණයා බුදුරජාණන්වහන්සේ හමුවී මහණ උපසම්පදාව ලබා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෙස ප්‍රසිද්ධියට පත් වද්දී භද්දා කාපිලානිය මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ මුණ ගැසී පැවිදිව, වීර්යය වඩා රහත් භාවයට පත් වුණා. පෙර විසූ ජාති සිහි කිරීමට විශේෂ සමත්කමක් දැක්වූ භද්දා කපිලානි මහා රහතන් වහන්සේව පෙර ජාති සිහි කරන භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටවනු ලැබුවා.
3. ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ
ගිහි කල විශාඛ නම් සිටුවරයාගේ බිරිඳ වුණු ධම්මදින්නා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළා. දිනක් විහාරයට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ විශාඛ සිටුතුමා අනාගාමී ඵලයට පත්වුණා. අනාගාමී ඵලයට පත් වීමත් සමගම ඔහුගෙන් රාගය ප්‍රහීණව ගියා. නැවත නිවසට පැමිණි සිටුතුමා තමන්ගේ බිරිඳට තමන් පත් වූ මාර්ග ඵලය ගැන කියා ඇයට අවශ්‍ය ලෙස ජීවත් විය හැකි බවත් ප්‍රකාශ කළා. තම සැමියා ලද මාර්ග ඵලය ගැන ඇසූ ධම්මදින්නා තමන්ද පැවිදි වීමට කැමති බව ප්‍රකාශ කළා. ඒ අනුව මෙහෙණවරකට ගොස් පැවිදිව වීර්යය වඩා රහත් භාවයට පත් වුණා. දිනක් විශාඛ සිටු තුමා ධම්මදින්නා මෙහෙණින්වහන්සේ මුණ ගැසී ප්‍රශ්න කීපයක් විමසා සිටියා. එම ප්‍රශ්න වලට මෙහෙණින් වහන්සේ විසින් ලබා දුන් පිළිතුරු වලින් විස්මයට පත් වුණු සිටුතුමා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට දැනුම් දෙනු ලැබුවා. ධම්මදින්නා තෙරණින්වහන්සේ විසින් ලබා දුන් පිළිතුරු අගය කළ බුදුරජාණන් වහන්සේ, ධම්මදින්නා තෙරණින්වහන්සේව ධර්ම කථික භික්ෂුණීන්වහන්සේ අතර අග්‍රස්ථානයේ පිහිටවනු ලැබුවා.
4. භද්‍රා කුණ්ඩලකේසී මහ රහත් තෙරණින් වහන්සේ
ධන ධාන්‍යයෙන් අනූනව සිටු ගෙයක උපත ලැබූ කුණ්ඩලකේසී මරන්නට ගෙන යන සොරෙකු කෙරෙහි බැඳී තමන්ට ඔහුව විවාහ කරගතයුතු බව මව්පියන්ට පැවසුවා. තම දියණියට අසීමිතව ආදරේ කළ මවුපියන් විසින් උපක්‍රමයක් යොදා සොරාව ඉන් මුදවා ඇයට විවාහ කර දෙනු ලැබුවා. නමුත් කළගුණ නොදත් සොර දෙටුවා ඇයව පර්වතයක් මුදුනට ගෙන ගොස් ඇගේ ආභරණ මංකොල්ල කා ඇයව මරා දමා පළා යාමට උත්සාහ කළා. නමුත් මෙහිදී උපක්‍රමශීලී වූ කුණ්ඩලකේසී සොරාව පර්වතයෙන් පහළට හෙලා නිගණ්ඨ ආරාමයකට ගොස් පැවිදි දිවියට එළඹුණා. නිගණ්ඨ ධර්මයේ පරතෙරටම ඉගෙන ගත් ඇය වාද කරමින් රට පුරා ගමන් කළා. අවසානයේ දී සැරියුත් මහරහතන් වහන්සේ මුණ ගැසී උන්වහන්සේ අතින් පරාද වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ හමුවී එක ගාථාවක් අසා රහත් භාවයට පත් වුණා. එක ගාථාවක් ඇසීමෙන් උතුම් වූ නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට ඇයට හැකි වීම අගය කළ බුදු රජාණන් වහන්සේ වහා ධර්මය අවබෝධ කරගන්නා භික්ෂුණීන්වහන්සේ අතර අග්‍රස්ථානය කුණ්ඩලකේසී මහරහතන් වහන්සේ වෙත පිරිනමනු ලැබුවා.
5. සකුලා මහ රහත් තෙරණින් වහන්සේ
සැවැත් නුවර සිටු පවුලක උපත ලැබූ සකුලා දිනක් අප බුදුරජාණන් වහන්සේ මහමග වඩිනු දැක උන්වහන්සේ කෙරෙහි පැහැදී බණ අසා මහණ දම් පුරන්නට පටන් ගත්තා. නොබෝ දිනකින්ම ෂඩ් අභිඥා සහිත උතුම් රහත් භාවය ලබා ගත්තා. අභිඥා අතරින් එකක් වූ දිවැස කෙරෙහි එතුමින් වහන්සේ විශේෂ රුචි භාවයක් දැක්වූවා. මේ නිසා දිවැස් ඇති භික්ෂූණීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය සකුලා භික්ෂුණින් වහන්සේ වෙත බුදුරජාණන් වහන්සේ විසින් පිරිනමනු ලැබුවා.
6. රූපනන්දා මහරහත් තෙරණින් වහන්සේ
ගිහි කල ජනපද කල්‍යාණි නමින්ද ප්‍රකට වුණු රූප නන්දාව නන්ද කුමාරයාගේ බිරිඳ වීමට සිතා සිටියා. නමුත් ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල උත්සව අවස්ථාවට පෙර බුදුරජාණන් වහන්සේ විසින් නන්ද කුමරු මහණ කර ගනු ලැබුවා. මේ නිසා ප්‍රජාපතී ගෝතමීය සමඟ විශාලා මහනුවරට ගොස් පැවිද්ද ලබා ගැනීමට ඇය තීරණය කළා. නමුත් ඇය සැම විටම තමාගේ රූපය පිළිබඳව අතිශයින් උඩඟුව සිටියා. මේ නිසාම රූපයේ දොස් කියනවා යැයි බුදුරජාණන් වහන්සේ හමුවී ධර්ම දේශනා ඇසීමට ඇය උනන්දුවක් ගත්තේ නැහැ. මේ බව දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ ඇය ඉදිරියේ සුරූපී කාන්තාවක් මවා ඇගේ රූපය වෙනස් වන ආකාරය පෙන්වනු ලැබුවා. මෙය බලා සිටි රූපනන්දා භික්ෂුණීන් වහන්සේ ශරීරයේ ඇති නිසරු භාවය වටහා ගත්තා. උතුම් වූ අරහත් ඵලයට පත් වූ ඇය පෙර ඇයගේ ප්‍රාර්ථනාවන් පරිදිම ධ්‍යානයෙහි ඇලුණු භික්ෂුණීන් වහන්සේලා අතර අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ විසින් පිහිටවනු ලැබුවා.
7. කිසාගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ
සිය පුතා මළ ශෝකය වාවාගත නොහැකිව පුතාගේ මළ සිරුර රැගෙන ඔහුව සුවපත් කර ගැනීමට බෙහෙත් සොයා ගිය කිසා ගෝතමියගේ පුවත බොහෝ බෞද්ධයන් දන්නවා. අවසානයේදී බුදු රජාණන් වහන්සේ පුතාව සුවකිරීමට නම් කිසිවෙකු නොමළ ගෙයකින් අබ ඇට මිටක් රැගෙන එන ලෙස පවසනු ලබනවා. ගෙයක් ගෙයක් පාසා යන ඇය අවසානයේ දී මරණය යනු සියලු දෙනාටම පොදු දෙයක් බව වටහා ගනු ලබනවා. බුද්ධ ශාසනයේ පැවිදිව මහ රහත් පදවිය ලබා ගන්නා කිසාගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ ආරණ්‍යගතව සිටීමටත් රළු සිවුරු දැරීමටත් ප්‍රිය කරනවා. මේ නිසා බුදුරජාණන්වහන්සේ “රළු සිවුරු දරන භික්ෂූණීන් වහන්සේ අතර අග්‍රස්ථානයෙහි කිසා ගෝතමී මහරහත් තෙරණින් වහන්සේව පිහිටවනු ලබනවා.
Leave a Reply