වායු දූෂණයේ අයහපත් බලපෑම්

හරිතාගාර වායූන් මුදාහැරීම නිසා ලෝකයේ දේශගුණයේ විවිධාකාර විපර්යාස ඇතිවෙලා තියෙනවා. මේ හරිතාගාර වායු මගින් ලෝකය උණුසුම් කරනවා. මේ ලෝක උණුසුම වැඩි වීම අංශ ගණනාවකට වක්‍රාකාරයෙන් කෙමෙන් කෙමෙන් බලපානවා. අපි ඒ හරහා ඇතිවෙන්න හැකි දේවල් ගැන සලකා බලමු. 

 

 

1. හරිතාගාර වායු වැඩිවීමේ සෘජු බලපෑම්

  • පෘථිවියේ සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වැඩි වීම. 
  • වර්ෂාපතනය සහ හිම පතනය කෙරෙහි බලපෑම. 
  • පෘථිවියේ අයිස් තට්ටු, ග්ලැසියර අඩුවීමේ අවදානම.
  • මුහුදු මට්ටම ඉහළ යෑම. 
  • මුහුදේ ආම්ලිකතාවය වැඩිවීම. 
  • පෘථිවි ජෛව පද්ධති වලට බලපෑම් එල්ල වීම. 
  • මිනිසාගේ සෞඛ්‍යයට අනතුරුදායක වීම. 

 

වැනි සාධක ගණනාවක් ඔස්සේ වායු දූෂණය සහ හරිතාගාර වායු නිකුත්වීම පෘථිවියට නරකට බලපානවා. 

 

2. නාගරික වායු දූෂණය 

දැනටම චීනයේ නගර කිහිපයක් සහ ඉන්දියාවේ දිල්ලි නගරය දැඩි අපවිත්‍ර වායු වලින් වැහිලා ඉවරයි. ඒ දුම ආඝ්‍රාණය කිරීම සාමාන්‍ය පුද්ගලයෙකු සිගරට් 10ක් පානය කිරීම තරම් අහිතකර තත්ත්වයක් බව අනාවරණය වෙලා තියෙනවා. මේ නාගරික වායු දූෂණය මගින් දරුවන්ගේ ශ්වසන ආබාධ ඇතිවෙනවා. ඒ වගේම වයෝවෘද්ධ ජනතාවගේ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයනුත් මේ හේතුවෙන් වැඩි වෙනවා. නගර ආශ්‍රිත පරිසරයේ තිබෙන දූවිලි අංශු සහ දුම නිසා ඇතිවෙන මේ තත්ත්වය නිසා දිල්ලි නගරයේ ශීත කාලයට මීටර් විස්සක් ඈතින් තිබෙන යමක් දෙස බැලීමටත් අපහසු වෙන තරමට වාතයේ පාරදෘෂ්‍යභාවයත් අඩු වෙලා තියෙනවා. 

 

3. අනාගත උෂ්ණත්ව වෙනස 

අනාගතයේදී උෂ්ණත්වය වැඩිවෙන්න මිනිස් ක්‍රියාකාරකම් සෘජුව බලපානවා. ෆැරන්හයිට් අංශක 0.5 සිට 8.5 දක්වා පරාසයක උෂ්ණත්ව වෙනසක් 2100 දී බලාපොරොත්තු වෙන්නට පුළුවන් බව විද්‍යාඥයින් මත පළ කරලා තියෙනවා. මේ තත්ත්වයට හරිතාගාර වායු විමෝචනය සෘජුවම බලපෑමක් එල්ල කරනවා. අපේ පසුගිය අවුරුදු සීයේදී උෂ්ණත්වය වැඩිවෙලා තියෙන ප්‍රමාණය වගේ දෙගුණයක් ඊළඟ අවුරුදු සීය තුළ උෂ්ණත්වය වැඩිවේවිය කියලා මත පළවෙලා තියෙනවා. මේ උෂ්ණත්ව වෙනස නිසා ග්ලැසියර දියවීම සහ තවත් දේශගුණික විපර්යාස රැසක් ඇතිවන්නට නියමිතයි. 

 

4. කාලගුණ, දේශගුණ වෙනස 

එකවර ඇතිවන වැස්ස සහ හිම පතනය වීමේ අවස්ථා දැන් වැඩියි. ඉදිරියට එකවරම ඇතිවෙන වැස්ස සහ කුණාටු ආදියේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මෙම ගෝලීය පරිසර වෙනස නිසා ඇතිවන කාලගුණ, දේශගුණ විපර්යාස ලොව හැම කලාපයකටම පොදු නැහැ. ඒත් අපි වගේ නිවර්තන රටවල් සහ ඒ ආශ්‍රිත පරිසර වලට මේ කාලගුණ, දේශගුණ වෙනස්කම් හොඳටම බලපානවා. 

 

5. අයිස් දියවීම 

දැනටම ඇන්ටාක්ටික් කලාපයේ වගේම ආක්ටික් කලාපයේත් තිබෙන අයිස් දියවී යන්න පටන් අරන් තියෙනවා. උත්තරාර්ධගෝලයේ අයිස් තට්ටු දියවීම පටන් අරගත්තේ 1970 ඉඳලා. ඒ නිසා ඇලස්කාවේ සහ ආක්ටික් කලාපයේ දැනටමත් කලින් හිම තිබුණ පදාස වල හිම තියෙන්නේ ශීත කාලයට විතරයි. මේ අයිස් දියවීම එක්ක ඒ අයිස් වල තියෙන ජලය මුහුදට එකතු වීම නිසා මුහුදු මට්ටම ඉහළ යෑමේ අවදානමක්ද දරුණුවටම තියෙනවා. අයිස් දියවීමේ තත්ත්වය එක්ක ඒ කලාපවල ජීවත්වෙන සතුන්ට ද දැඩි තර්ජනයක් එල්ල වෙනවා. 

 

6. මුහුදු මට්ටම වෙනස් වීම 

කලින් කීවාක් මෙන් අයිස් දියවීම මුහුදු මට්ටම වැඩිවෙන්න එක හේතුවක්. 1870 සිට මේ දක්වා කාලය බැලුවාම මුහුදු මට්ටම අඟල් 7.5කින් වැඩි වෙලා තියෙනවා. ගෝලීය උණුසුම වැඩිවීම එක්ක මහා ග්ලැසියර් වල ස්ථායීතාවය අඩු වෙනවා. ඒ අයිස් දියවීම කෙලින්ම මුහුදු මට්ටම කෙරෙහි බලපානවා. මේ ශතවර්ෂය අවසාන වනවිට තවත් අඟල් පහකින් විතර මුහුදු මට්ටම ඉහළ යා හැකි බවට විද්‍යාඥයින් මත පළකරලා තියෙනවා. මේ අයිස් දියවීම කෙලින්ම එක් රටකට පමණක් බලපාන දෙයක් නෙමෙයි. ලොව පුරා මුහුදු ආශ්‍රිතව ජීවත්වෙන ජනතාවට මෙය සෘජුවම බලපානවා. වෙරළ ඛාදනය වැඩි වීම, වෙරළේ ස්වභාවය වෙනස් වීම මුහුදු මට්ටම වැඩිවීමත් එක්ක සිදුවෙනවා. 

 

7. සාගරයේ ආම්ලිකතාවය වැඩි වීම 

සාගරයේ ආම්ලිකතාවය වැඩි වීම සාගර ආහාර දාම වලට බලපාන තත්ත්වයක්. ප්ලැන්ක්ටන්, මොලුස්කාවන්, කොරල් සහ කොරල් ආශ්‍රිත ජීවීන් මේ ආම්ලිකතාවය නිසා පීඩා විඳිනවා. සාගරයේ ආම්ලිකතාවය වැඩි වීම එක්ක කැල්සියම් කාබනේට් වල ස්ථායීතාවය අඩු වෙනවා. කැල්සියම් කාබනේට් කියන්නේ කොරල් පර වල මූලික අන්තර්ගතය. ඒ වගේම මුහුදු ජීවීන්ගේ වරල් සහ කටු අස්ථි හැදිලා තියෙන්නේ කැල්සියම් කාබනේට් වලින්. දිගින් දිගටම සාගර ආම්ලිකතාවයට බලපාන කාබන්ඩයොක්සයිඩ් වැඩි වුණොත් ඒ මගින් 2050 වනවිට කොරල් වල වර්ධනය 50%කින් පමණ අඩු වෙන බවට විශ්වාස පළ වී තිබෙනවා. 

 

මේ වායු විමෝචනය කිරීම අඩු කිරීම ගැන ලෝකයේම අවධානය යොමු වෙලා තියෙනවා. ඒත් චීනය, ඉන්දියාව වැනි රටවල් සිය නිෂ්පාදන ජාල බිඳවැටීමට තිබෙන ඉඩ නිසා ඔවුන්ගේ කර්මාන්ත වලදී ඇතිවෙන වායු දූෂණ තත්ත්වයන් ගැන ලොකු අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් අපි ජීවත් වෙන ලෝකය තව තවත් උණුසුම් වීම මේ ලෝකයේ අනාගතයට වගේම මනුස්සයින්ගේ අනාගතයටත් එතරම් හොඳ දෙයක් වෙන්නේ නැහැ. 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *