උතුම් මිනිස් ගතිගුණ ඇති මිනිසුන් දෙවියන්ගේ ගතිගුණ ඇති අය ලෙස හැඳින්වේ. තම ජීවිත කාලයේදී මනුෂ්‍යයාට මහත් වූ සෙත සලසමින් සිටි පුද්ගලයන්ට මිය පරලොව ගිය පසුවද පුද සත්කාර කිරීම අනාදිමත් කාලයක පටන් පැවත එන්නකි. ඔවුන්ගේ නම් නාම වල පවා ඇති ශක්තිය තමුන්ගේ එදිනෙදා ජීවිතයට ආශීර්වාද ලබාගැනීමට වැදගත් බව එදා පටන් ජනතාව සිතූහ. එබැවින් මහත් බල සම්පන්න පුද්ගලයන්ව මෙන්ම ගමට රටට වැඩ සිදු කරමින් සිට මිය පරලොව ගිය සාමාන්‍ය වැසියන්ව පවා දේවත්වයෙන් පිදීමට එකල පටන් රට වැසියෝ සැදී පැහැදී සිටියහ.
1. රාසිං දෙවියෝ
රාජසිංහ රජතුමා කියන්නේ එක්කෙනෙක් නෙමෙයි. ඉතිහාසයේ අවසාන කාලයේදී හමුවන රජවරුන් අතර දෙවන රාජසිංහ රජතුමා ජනතාවගේ සිත් ගත්තා. එවකට පැවති අභ්‍යන්තර කල කෝලහාල වගේම පරංගින්ගෙන් ලැබුණු කරදරත් මැඩපැවැත්වූ ප්‍රබල රජෙක් විදිහට රාසිං දෙවියෝ දැක්වෙනවා. මුල්ලේරියා සටනේදී ටිකිරි කුමාරයා විදිහට යුද්ධ කළ රාජසිංහ රජතුමා, මේ කලාපය තුළ පෘතුගීසින්ට අත් වූ දරුණුම පරාජය අත් කරදුන්නා. රාජසිංහ රජතුමා රාජ වේශයෙන් වගේම වෙනත් වේශවලිනුත් රට තොට සංචාරය කළා. ඒ සංචාර ගැන රසවත් තොරතුරු ජනප්‍රවාද වල තියෙනවා. කොහොම වුණත් සිතාගන්නටත් අමාරු රණකාමීත්වයක් තිබුණ රාජසිංහ රජතුමාව පස්සේ කාලෙකදී මිනිසුන් විසින් රාසිං දෙයියෝ කියලා හැඳින්වූවා.
2. මහසෙන්
කතරගම කිරිවෙහෙර ආසන්නයේ මහසෙන් දේවාලයක් තිබෙනවා. ඒ මහසෙන් රජු රුහුණේ රජ කළ මහසෙන් රජෙක් විය හැකි බවට විශ්වාසයක් තියෙනවා. ඒ වගේම අනුරාධපුර රජ කළ, මහා වැව් තැනූ මහසෙන් රජතුමාද මින්නේරි දෙවියෝ යන නමින් වැඳුම් පිදුම් ලබනවා. ජේතවනාරාමය ඇතුළු විහාරාරාම රැසක් ඉදිකළ මහසෙන් රජතුමා බෞද්ධ ශාසනයටත් ලොකු සේවයක් කළා. වැව් අමුණු තනවා ගොවිතැන් බත් සඳහා මහජනතාවට දුන් සහයෝගයත් නිසා මහසෙන් දෙවියෝ නමින් රජතුමාගේ නම දේවත්වයට පත් වුණා.
3. දෙවොල් දෙවියන්
පහතරට නැටුම් සහ ඉන්දියානු කේරළේ නැටුම් පෙනුමෙන් සමානයි. ඒ ගැන නිසියාකාර අධ්‍යයනයන් කෙරී නැතත්, පෙනුමට අනුවම දෙවොල් දෙවියන් යනු එක්තරා කාලයකදී මලයාලම් දේශයේ සිට ලංකාවට පැමිණි අයෙක් බවට ජනප්‍රවාද සාධක තියෙනවා. දෙවොල් දෙවියන් ලංකාවට පැමිණීම ගැන රසබර කතා ගොඩක් තියෙනවා. ඒ එකක ඉන්දියාවේ සිට මෙහි පැමිණි මහාසාමි නැමැති සකල සතට සෙත සැලසු මහා පුරුෂයෙකු පසුකලෙක දේවත්වයට පත් වූ බව දැක්වෙනවා. පහතරට නැටුම් කලාවම දැකගත හැකි දෙවොල් මඩු ශාන්තිකර්මය තුළත් දෙවොල් දෙවියන්ට පූජෝපහාර පැවැත්වෙනවා.
4. ස්කන්ධ කුමාරයා
වර්තමාන දෙවුන්දර හෙවත් දෙවිනුවර තොටුපළෙන් ඉන්දියාවෙන් ලංකාවට ගොඩ බට එක්තරා සෘෂිවරයෙක් පයින්ම කතරගම බලා පිටත්වුණා. ඔහු එහිදී වැඩසිටිකන්ද සහ කතරගම මැණික් ගඟ අසල වැඩවාසය කරමින් කල් ගෙවුවා. පසුකාලීනව ඔහු විවිධ වේශයෙන් පැමිණ මිනිස්සුන්ට ආධාර උපකාර කළා. මේ ස්කන්ධ කුමාරයා නොහොත් කඳ කුමරු අද වනවිට ලංකාවේ ජනප්‍රියතම දෙවියන් වී හමාරයි. ශුෂ්ක පළාතක් වන කතරගම අරක්ගත් කඳ සුරිඳුගේ ආශීර්වාදය අපේ ලංකා ඉතිහාසයේ යුග කිහිපයකදිම සඳහන් වෙනවා. දුටුගැමුණු රජුගේ යුගය තෙක් ඇදෙන ඒ ඉතිහාස කතා තුළ විවිධ අවස්ථාවල කඳ කුමරුන් ජීවමානව පෙනී සිට මිනිසුන්ට නොයෙක් උදව් උපකාර කළ බව සඳහන් වෙනවා.
5. මංගර දෙවි
මංගර දෙවියන් මුළුමනින්ම දේශීය පදනමින් බිහි වූ දෙවි කෙනෙකි. එකල මිනිසුන් තමුන්ට වැළඳෙන රෝගාබාධ දුරුකර ගැනීමට මෙන්ම හරකුන්ට වැළඳෙන රෝග සඳහාත් විවිධ ශාන්තිකර්ම සිදු කළා. එයින් එක් දෙවි කෙනෙකු වූ මංගර දෙවිගේ උපත ගැන කතාන්දර රැසක් තිබෙනවා. බුදසිරු කුමාරයා නැමැති පෞරාණික කුමාරයෙක් කදිරාගොඩ නැමැති ස්ථානයේදී මීමෙකුගේ අං පහරින් මරුමුවට පත් වුණා. මේ සිදුවීම සිදුකළ මීමා පසුව මරා දැමුණු බවත්, ඉන් පසු ඌ නැවත උප්පත්තිය ලැබූ බවත් ජනකතා වල දැක්වෙනවා. කෙසේ වෙතත් මේ මහා සටන සිදු වූ භූමිය උස්සන්ගොඩ ලෙස දැක්වෙනවා. එහිදී මීමා සහ කුමාරයා අතර සටනේදී පොලව රත් පැහැ ගැන්වුණු බව දැක්වෙනවා. ජනප්‍රවාදයන් රැසක් තිබෙන බැවින් මේ සිදුවීමට සම්බන්ධ සැබෑ චරිත කුමක්දැයි පැටලිළි සහිතයි. ඒත් යම් කලෙක ගොපල්ලන් විසින් වන්දනාමාන කළ චරිතයක් පසුකලෙක දෙවියන් බවට පත් වූ බවට ඒ කතාන්දර දෙස බැලූවිට අපට පෙනී යනවා.
6. සකලකලා වල්ලභ සහ තනියවල්ලභ
කොට්ටේ යුගයේදී රාජ කුමාරයන් වූ තනියවල්ලභ සහ සකලකලා වල්ලභ ඉතිහාසයේද සඳහන් වීර චරිත දෙකකි. වීර පරාක්‍රමබාහු රජුගේ එක් බිරියකගේ දරුවන් වන මෙම සකලකලාවල්ලභ උඩුගම්පොලත්, තනියවල්ලභ මාදම්පේ පළාත් පාලනය කළා. කෝට්ටේ යුගයේදී රටේ ස්ථාවරත්වයට දායක වූ තනියවල්ලභ සහ සකලකලා වල්ලභ ඒ වෙනුයෙන් ඉන්දියානු කණ්ඩායම් සමගද යුද වැදුන බවද ඉතිහාසයේ සඳහන් වනවා. හලාවත මුතු කිමිදීමට පැමිණි ඉන්දීය ආක්‍රමණිකයින් එකල පලවා හැර ලංකාවට එම මුතු පර වල වාසිය ගෙන දෙන්නට මේ රජ කුමාරවරු සමත් වුණා. අත්තනගලු ඔය හරස්කර මිනුවන්ගොඩ පළාතේ ගොවිබිම් සරුකරන්නට ද සකලකලාවල්ලභ ක්‍රියා කළා. කෙසේ වෙතත් තවමත් දේවත්වයෙන් පිදුම් ලබන මේ දෙවිවරුන් දෙදෙනා ඉතිහාසයේ යුගයක් ආරක්ෂා කළ මහ බලවතුන් දෙදෙනෙක් වුණා.
7. කඩවර දෙවියෝ
සෙනෙවිරත් නැමැති පුද්ගලයෙක් නිතරම ගොවිතැන් බත් වල ඇලී ගැලී ධාතුසේන රජ සමයේ ජීවත් වුණා. ඔහුගේ රැකියාවට ඇති ලැදියාවට බිරිය නිතර දෝස්මුර තියන්නට වුණා. අවසානයේ එයින් කළකිරුණු සෙනවිරත් කැලයට ගොස් කැලයටම ඇලී වනචාරී වුණා. වනචාරී සෙනෙවිරත් නැවත රජවාසලට ගෙනැවිත් රජතුමා වාරි කර්මාන්ත තැනීම ගැන ඔහුගෙන් උපදෙස් ගනු ලැබූවා. වනයේදී මහා කළුවැලක් හරහා ගලා ගිය දිය දහරාවක් හරස් කර කලාවැව තැනීමට සෙනෙවිරත් දායක වුණා. වරක් කලාවැව කැඩී ගිය කල එයින් සෝකයට පත් සෙනවිරත් එතැනින් පැන දිවි නසාගත්තා. එතැන් පටන් කලාවැවේ කඩවර දෙයියෝ නමින් ඔහු දේවත්වයෙන් පිදුම් ලබන්නේය.
නූතනයේ රාවණ දෙවියන් ප්‍රවාද වලදීත් දේව කතා වලදීත් මූලික තැනක් ගනී. එහෙත් රාවණ රජු කෙනෙක් විසූ බවක් ගැන නිසියාකාර පුරාවිද්‍යා සාධක කොහෙත් හමුවී නොමැත. රාවණ ඉන්දියාව, තායිලන්තය සහ මියන්මාරය ආදී රටවලද විවිධ ආකාරයෙන් පිදුම් ලබන ජාත්‍යන්තර දෙවි කෙනෙකි. එතරම් ජාත්‍යන්තර තලයට නොයා අපේ දේශීය මෙබිමේ දෙවියන් ලෙස පහළ වූ දෙවිවරුන් රැසක් සිටී. දැන් දැන් ගම්නියම් ගම් එලිවෙමින්, නගර උපනගර ඉදිවීමත් සමග දෙවියන්ද සුවිශාල දෙවිවරුන් කිහිප දෙනෙක්ට සීමා වෙමින් තිබේ. එහෙත් එදා පටන් අපේ රටේ මිනිසුන් මෙන්ම දෙවියන්ද මනුෂ්‍ය ජීවිතය හා බැඳී අප සමගම දිවි ගෙවන්නේය.
Leave a Reply