ඩයටින් කරන්න කලින් මේ දේවල් ගැන හිතලම පටන් ගත්තොත් වැඩේ වඩා සාර්ථක වෙයි!

ඩයටින්… ශරීර බර අඩු කරගන්න උත්සහ ගන්න එක දැන් ස්ටයිල් එකක් වෙලා. ඩයට් කරනව කියන එක පොඩ්ඩක් පොශ් සීන් එකේ තමා දැන් යන්නෙ. හැබැයි අනිත් අය කරන්නන්වාලෙ, ට්‍රෙන්ඩ් එකට එහෙම නැත්නම් රැල්ලට ඩයට් කරන්න කියල කෑම බීම හිතුමතේ කපා හරින්න ගිහින් හුඟ දෙනෙක් ලෙඩ වෙනව. අපි මීට කලින් ඩයට් කරන එක ගැන පැහැදිලිව කතා බහ කළා ලිපි දෙකකින්. අද මේ කියන්න හදන්නෙ ඩයට් කරන්න කලින් කෙනෙක් හිතන්න අවශ්‍ය දේවල් ටිකක්. හෙල්දි ඉස් නිව් සෙක්සි කියල ඩයට් කරන්න පටන් ගන්න කලින් මෙන්න මේ දේවල් පොඩ්ඩක් ඔළුවට දාගන්න. 

 

1. තමන්ව අඳුරගන්න

මේ කියන්නෙ ඔයා ඇත්තටම බර අඩු කරගන්න ඩයට් එකකට යා යුතුද කියන එක. බලන්න. BMI දර්ශකයේ ඔයා ඉන්න තැන හොයාගන්න.

උසට සරිලන බරක් දැනටත් තියෙන කෙනෙක් නම් කෑම පාලනයට වඩා ඔයාට සුදුසු ව්‍යායාම් කිරීමෙන් ශරීර බර නිසි පරිදි පවත්වන් යන එක. සමහරු පෙනුමට මහතයි කියල හිතින් හිතාගෙන බර අඩු කරගන්න ආහාර පාලනය කරන එකෙන් එදිනෙදා ශරීරයේ පැවැත්මට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොගෙන ශාරීරිකව දුර්වල වෙනව. BMI දර්ශකය අනුව ශරීර බර උසට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි නම් ඒ කොච්චරක්ද කියන එක තමා ඔයාගෙ ටාගට් එක වෙන්නෙ. ඒ කියන්නෙ අඩු කර ගත යුතු බර. 

 

2. ඔයා ආහාර පාලනය කරන්න සුදුසු කෙනෙක්ද? 

අධික ස්ථුලතාවයෙන් පෙලෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕන ආහාර පාලනයට කලින්. අනිත් සාමාන්‍ය විදියට බර වැඩි කෙනෙක් උනත් පහත සඳහන් තත්ත්වයන් වල කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් වලින් තොරව ආහාර පාලනය කරන එක සුදුසු නැහැ. එහෙම අයගෙ දෛනික කැලරි අවශ්‍යතාවය වගේම පෝ​ෂණ අවශ්‍යතාවයන් වෙනස්. අනිවාර්යයෙන් ආහාර පාලනයකට පෙර රුධිරගත සීනි ප්‍රමාණය, කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය කියන මූලිකම පරීක්ෂණ ටික සිදු කරගන්න. ඒ ඒ තත්ත්වයන්ට අනුව තමා තමන්ගෙ ඩයට් ප්ලෑන් එක සකස ගන්න ඕන. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න එක අනිවාර්යයි. 

 

  1. බබාලට කිරි දෙන මව්වරු
  2. සෞඛ්‍ය තත්ත්වයන් (හෘද රෝග, දියවැඩියා, රුධිර පීඩන වගේ සෞඛ්‍ය ගැටළු වලට අමතරව බෙහෙත් භාවිතා නොකළත් පවතින යම් සෞඛ්‍ය ගැටළු ගැන දැනුවත් වෙන්න ඕන)
  3. පෝ​ෂණ ඌණතාවයන්
  4. දරුවන් පිළිසිඳගැනීමට  බලාපොරොත්තුවෙන් ඉන්න අය 
  5. පවතින අසනීප වලට බෙහෙත් වර්ග පාවිච්චි කරන අය

 

3. ඩයට් කරන එක වදයක් නොකරගන්න

ඩයට් කරන එක වදයක් කරගන්න එපා. ආහාර පාලනය කරන එක තමන්ගේ ශරීර සුවය පිණිස තමන්ගේ පෙනුම සහ සෞඛ්‍ය වෙනුවෙන් කරන කැපකිරීමක් කියන තැනට ඔළුව හදාගන්න. බර්ගර් එකක්, පීසා එකක් දැක්කම හීල්ලෙන්න ඕන අනේ මට මේක කන්න බෑනෙ කියල නෙවෙයි. බුදු අම්මෝ මේකෙ කැලරි කියල හිතල. කෑම දිහා කැලරි ගාණට බලන්න පුරුදු වෙන්න. හැබැයි ඒක පිස්සුවක් වෙන තරමට තදින් නොකරන්නත් හිතට ගන්න. නැත්නම් වෙන්නෙ ඇනොරෙක්සියා වගේ රෝග වලට ගොදුරු වෙන්න සිද්ධ වෙන එක. දවසට අවශ්‍ය කැලරි ගාණ තමන් කන වේල් ප්‍රමාණයට අනුව බෙදාගන්න. ඒ වගේම සතියකට දෙකකට සැරයක් චීට් මීල් එකක් එහෙම නැත්නම් පොඩි රිවෝඩ් මීල් එකක් ගන්න. තමන් ආස දෙයක් පොඩි ප්‍රමාණයක් කන්න ඩයට් එකෙන් පිට. මෙටබොලිසම් එක අවුල් නොවී තියාගන්න මේ චීට් මීල් එක උදව් වෙනව. 

 

4. ආහාර පාලනය විතරක් ඇතිද?

ඔන්න ඩයට් කරන්න ගන්නව කියල කෑම අඩු කරල ඒක මත්තෙම බර අඩුවෙනකම් බලන් ඉන්න එක නම් හරි යන වැඩක් නෙවෙයි. දවසකට තමන් වෙනුවෙන් පැය බාගයක් වෙන් කරගන්න. ඒ පැය බාගයේදි ව්‍යායාමයක නිරත වෙන්න. ඒක උදේ හෝ හවස තමන්ට පහසු වෙලාවක යොදාගන්න. ඇවිදින එක, දුවන එක, ​ට්‍රඩ් මිල් එකක් පාවිච්චි කරන එක වගේ සරල ව්‍යායාමයක් උනත් ඇති ඇඟට දැනෙන්න පැය බාගයක් කරනව නම්. ආහාර පාලනයේදී ඇකිලෙන මාංශ පේෂීන් එල්ලා වැටෙන්නෙ නැතුව ශක්තිමත් කරගන්න මේ ව්‍යායාම වැදගත්. 

 

5. මිතුරු සමාගම්

ඩයට් කරන්න ගන්න කොට මුලින්ම පහළ වෙන සතුරු බලවේගය තමා මිතුරු සමාගම්. කොල්ලොන්ට නම් සෙට් වෙන්න යන්න, කෙල්ලොන්ට නම් ශොපින් කරන ගමන් වටේම තියෙන කෑම කඩ වන්දනා කරන්න අඬගහන යාළුවොන්ගෙන් බේරෙන එක අමාරුයි. එහෙම ගියත් සැලඩ් එකක් කාල වතුර එකක් ෆ්‍රෙශ් ජූස් එකක් බීලා ශේප් වෙන්න පුළුවන් මට්ටමට හිත හදාගන්න ඕන. නැත්නම් තාවකාලිකව මිතුරු සමාගම් වලින් අයින් වෙන්න ඕන. එහෙම නැත්නම් මිතුරු සමාගමේ එක්කෙනෙක් දෙන්නෙක්වත් මේ වැඩේට අල්ලගන්න. තනියම ඩයට් කටනවට වඩා තව කෙනෙක් එක්ක කරන එක හොඳ මෝටිවේශන් එකක්. ආහාර පාලනය පටන් ගන්න කලින් මේව හිතන්නම වෙන කාරණා. 

 

 

6. කන බොන දේ ගැන අවබෝධයෙන් කන්න බොන්න

අනිවාර්යයෙන් තමන් කන බොන දේ ගැන ට්‍රැක් එකක් තියාගන්න. ෆෝන් එකේ පොඩි නෝට් එකක් දාගන්න දිනපතා කන දේවල් ගැන. නැත්නම් දැන් එක එක ඩයට් ඇප්ස් තියෙනවා ආහාර පාලනය කරන කෙනෙක්ට උදව් වෙන. ව්‍යායාම කරන කාලය, ලබාගන්න කැලරි වගේ දේවල් සටහන් කරගන්න මේකෙන් පුළුවන්. වඩාම වැදගත් එක පාරට අමාරු ඩයට් ප්ලෑන් එහෙකට නොයන එක. හාෆ් ප්ලේට් තමා ඩයට් එකක් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට සුදුසුම. තමන් අනුගමනය කරන ඩයට් ප්ලෑන් එක වගේම කෑම බීම ගැන සටහනක් තියා​ගන්න එකෙන් කොච්චර කාලයක් ඇතුලත තමන්ගෙ ටාගට් එකට යන්න පුළුවන්ද කියන එක වටහාගන්න පුළුවන්. 

 

 

7. කැපවීම වැදගත්

ඩයට් කරන්න ගත්තම තියෙන ලොකුම වදේ තමයි වටේ පිටේ සහ ගෙදර ඉන්න අයගෙ කමෙන්ට්ස්. ඔය චුට්ටක් කාලා බඩට ඇතිද, නොකා නොබී ලෙඩ වෙන්නද යන්නෙ, වෙනදට කොහොම කාපු ​ළමයෙක්ද මේ වගේ අනන් මනන් කතා ගොඩයි. අන්න ඔය එක එක්කෙනා කියන කතා මේ කණින් අහල අනික් කණින් එළියට දාන්න. අනිවාර්යයෙන් තමන්ගෙ අධිශ්ඨානය, කැපවීම සහ උනන්දුව මේකට ඕනෙ. පටන් අරන් දවසෙන් දෙකෙන් අපෝ මට බෑ කියල හිතල ඩයට් එක අතාරින එක තේරුමක් නෑ. එහෙම හිතෙයි කියල හිතෙනව නම් ඩයට් කරන්න පටන් අරන් වැඩකුත් නෑ. 

 

 

ඊලඟ ලිපියෙන් දැනටමත් ඩයට් කරන කෙනෙක්ට ටාගට් එකට ආවම හිතන්න ඕන දේවල් ගැන අපි කතා කරමු.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *