සුනිල් සාන්ත වගේම අමරදේව කියන්නෙත් අපේ රටේ සංගීතය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් කරපු දෙදෙනෙක්. හැබැයි දැන් වසර කිහිපයක ඉඳන් සමාජ ජාල මාධ්‍ය හරහා සුනිල් සාන්තගේ ඉදිරි ගමන වළක්වන්න අමරදේව කටයුතු කළා කියලා ඔප්පු කරන්න අතිදැවැන්ත සංවිධානාත්මක මෙහෙයුමක් දියත් වෙනවයි කියන එක පැහැදිලිව පේනවා. මේ මෙහෙයුම හරහා ආචාර්ය අමරදේව ගුණමකුවෙක්, මූසිලයෙක් සහ ලංකාවේ සංගීතයට දැඩි හානියක් කරපු පුද්ගලයෙක් කියන මතයක් සමාජ ගත කරන්න මේ පිරිස උත්සාහ කරනවා. මේ නිසා Lifie අපි හිතුවා මේ මෙහෙයුම සිදු කරන පුද්ගලයන් ගෙන යන ප්‍රචාරවල සත්‍යාසත්‍යතාවය හොයලා බලන්න
1. සුනිල් සාන්ත අමරදේවගේ ගුරුවරයාද?
මේ පුද්ගලයන් පුන පුනා කියන දෙයක් තමයි පණ්ඩිත් අමරදේවයන්ගේ ගුරුවරයා වුණේ සුනිල් සාන්ත කියන කතාව. නමුත් සුනිල් සාන්ත තමන් ජීවතුන් අතර සිටියදී ලියපු ලේඛනයකදී හෝ පුවත්පත් සාකච්ඡාවකදී එවැනි දෙයක් පැවසු බවට කිසිම සාධකයක් නැහැ. ඒ වගේම පණ්ඩිත් අමරදේව මහතා සෑම අවස්ථාවකදීම තමන්ට අත හිත දීපු මොහොමඩ් ගවුස් මාස්ටර්ව අතිශය ගෞරවාදරයෙන් යුතුව සිහිපත් කළා. සුනිල් සාන්තව ඔහු සැලකුවේ තමා හා සමාන යහළුවෙක් විදිහට. මේ කතාව කියන අය සුනිල් සාන්ත තමන් උගන්වමින් හිටපු අතිරේක පන්තිය පවා අමරදේවට දුන්න කියල කිව්වත් මේ දේවල්වලට මොනවද සාක්කි කියන එක ප්‍රශ්නයක්.
2. අමරදේවව ඉන්දියාවට යැව්වෙ සුනිල් සාන්තද?
මෙන්න මේ මතයත් මේ අය දැඩි ලෙස උලුප්පන්න හදනවා. ඒකට සාධකයක් විදිහට දක්වන්නේ සුනිල් සාන්ත ලංකාදීප පත්‍රයට සිදුකළ ප්‍රකාශයක් (ඒ ප්‍රකාශය ගත්තත් සුනිල් සාන්ත අමරදේවගෙ ගුරුවරයා කියන කතාව බිඳවැටෙනවා, එහෙම සම්බන්ධතාවක් තිබ්බා නම් සුනිල් සාන්තට ඒ ගැන ඒ වෙලාවේ දී සඳහන් නොකර ඉන්න හේතුවක් නැහැ). මේ ප්‍රකාශය විතරක් දකින අය හිතන්නේ ලංකාදීප පත්‍රය හරහා ජනතාවගෙන් මේ ඉල්ලීම කළේ සුනිල් සාන්ත විතරයි කියලා. නමුත් ඇත්ත කතාව වෙන්නේ රටේ පිළිගත් කලාකරුවෝ ගණනාවක් අමරදේවව ශිෂ්‍යත්වයක් සඳහා ඉන්දියාවට යැවීම වෙනුවෙන් මුදල් එකතු කිරීමට ලංකාදීප පත්‍රය හරහා ඉල්ලීම් කළා කියන එකයි.
3. සුනිල් සාන්ත ගුවන්විදුලිය හැර ගියේ ඇයි?
ඊළඟ කාරණය තමයි සුනිල් සාන්ත මහතා ගුවන් ගුවන් විදුලියෙන් නික්ම ගියේ 1952 පැවැත්වුණු රත්න ජංකර් පර්යේෂණයට විරෝධය පෑමක් විදිහටය කියන මතය. මේ මතයත් මේ අය දිගින් දිගටම කියනවා. ඒ කතාව අපි මදකට පිළිගත්තොත් ඇතිවෙන ප්‍රශ්නය තමයි, ඊට කලින් ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය සඳහා පර්යේෂණ පවත්වනු ලැබුවේත් රත්න ජංකර් පඬිතුමා විසින්මයි. එහෙමනම් පළවෙනි අවස්ථාවේදී කිසිදු විරෝධයක් නොදක්වලා ඒ පර්යේෂණයට සහභාගි වෙලා, දෙවැනි අවස්ථාවේදී ඒ පර්යේෂණයට විරුද්ධ වුණේ ඇයි කියන දෙයට උත්තරයක් මේ අයගෙන් ලැබුණොත් හොඳයි කියලා අපි හිතනවා.
4. ගුවන්විදුලියෙන් පස්සේ සුනිල් සාන්ත මොකද කළේ?
අපි පොඩ්ඩකට හිතමු සුනිල් සාන්තට අසාධාරණයක් වුණා ඒ නිසා ගුවන් විදුලියෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා කියලා. ඇයි ඔහුට බැරි වුණේ ස්වාධීන කලාකාරයෙක් විදිහට තමන්ගේ සංගීත ජීවිතය ඉදිරියට ගෙනියන්න. ඔහුගේ ගුරුවරයා වුණු රවීන්ද්‍රනාත් තාගෝර් පඬිතුමා අධිරාජ්‍යවාදීන්ගේ තර්ජනය මැද්දේ පවා ශාන්ති නිකේතනය බිහි කරා. ලංකාවේ උදාහරණයක් ගත්තොත් එහෙම ආචාර්ය ප්‍රේමසිරි කේමදාස කිසිදු රාජ්‍ය සහයෝගයක් නොමැතිව ලංකාවේ සංගීතය සුවිශාල පෙරළියකට ලක් කළා. අමරදේවට පවා එක්තරා කාලයක ගුවන් විදුලියේ දොර වැහෙනවා. නමුත් ඔහු තමන්ගෙ සංගීත කටයුතු නතර කළේ නැහැ. අපිට හිතන්න පුළුවන් සුනිල් සාන්ත තමන්ගේ සංගීත කටයුතු නතර කරන්න බලපෑවේ ඔහුගේ පෞද්ගලික හේතුවක් කියලා.
5. සුනිල් සාන්ත අසාධාරණයට විරුද්ධව සටන් කළාද?
තිස්ස අබේසේකර මහතාගේ ‘අයාලේ ගිය සිතක සටහන්’ කෘතියේ සුනිල් සාන්ත, රූපසිංහ මාස්ටර් සහ අමරදේව සහභාගීවූ ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීමේ පරීක්ෂණයක් පිළිබඳව සඳහන් වෙනවා. මේ සටහනේ කියවෙන විදිහට සී. ටී ප්‍රනාන්දුට ඔහුගේ කටහඬේ බටහිර උරුවක් තියෙනවයි කියලා අනිත් දෙදෙනා අතින් අසාධාරණයක් වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී හැමදාම සාධාරණය වෙනුවෙන් පෙනී හිටපු සුනිල් සාන්ත ඊට විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. ඔහු අසාධාරණය දැක දැක නිහඬ වෙනව. සමහර විට මහළු වියත් එක්ක ඔහුගේ සටන්කාමීත්වය නැතිවුණාද දන්නේ නැහැ.
6. සුනිල් සාන්තගේ සේවය
අපි ඉහත සඳහන් කරපු කරුණු සියල්ලම මතු කළේ අමරදේව මහතාට එරෙහිව සුනිල් සාන්ත මහතාගේ හිතවත් පාර්ශවයක් විසින් ගෙනයනු ලබන අති දැවැන්ත මෙහෙයුමේ බොරු තර්ක වලට ප්‍රතිචාර විදිහට. නමුත් කිසිසේත්ම අපි සුනිල් සාන්ත මහතා දේශීය සංගීත කලාවක් නිර්මාණය කරන්න සිදු කරපු දායකත්වය අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ එතුමාට තනිවම ඒ දේ සිදු කරන්න අවශ්‍ය ධෛර්යයක් තිබුණේ නැහැ. ඒ නිසා එතුමාට වගේම සමස්ත ලංකාවටම විශාල පාඩුවක් සිද්ධ වුණා.
7. අමරදේව මහතාගේ මග
අමරදේව මහතා ලංකාවේ දේශීය සංගීතයක් නිර්මාණය කරන්න උත්සාහ කළා කියලා හිතන්න අමාරුයි. නමුත් ඒ හේතුව එතුමාට ගැරහීමට කාරණයක් වෙනවා යැයි කියලා අපිට හිතන්න බැහැ. එතුමා විශිෂ්ට සංගීතඥයෙක් සහ ගායකයෙක් විදිහට ලංකාවේ සමස්ථ සංගීත රසිකත්වය ඉහළ නංවන්න කටයුතු කළා. විශේෂයෙන්ම උත්තර භාරතීය රාගධාරී සංගීතය ලංකාවේ සාමාන්‍ය ජනතාවට වුණත් සමීප කරන්න එතුමා සිදු කරපු මෙහෙය සදානුස්මරණීයයි.
සුනිල් සාන්ත මහතාගේ මෙහෙවර අගය කරන පිරිස කරන්න ඕන එතුමා නතර කළ තැනින් එම කාර්යය පටන් ගැනීම මිසක් සරච්චන්ද්‍ර මහතාට හෝ අමරදේව මහතාට පහර දීම නෙමේ. එය ප්‍රතිඵලයක් නැති දෙයක්. මේ ආකාරයේ පහරදීම් අවසානයේ ඔවුන්ටම බූමරංගයක් විදිහට එන්න පුළුවන්.
මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අවශ්‍ය නම් මේ පිළිබඳව කමෙන්ට් සෙක්ෂන් එකේ සංවාදයක් කරන්නත් අපි සූදානම්.
Leave a Reply