ඡන්ද කාලේ කියන්නේ ටීවී බලන්න හෙම ආස හිතෙන කාලයක්. එක එක පක්ෂ වල ලොකු ලොකු උදවිය ස්ටේජ් උඩ ඉඳන් මවාපාන හීන එක්ක බැලුවාම ආයෙත් ටෙලි නාට්ටි ආදිය බලන්නත් උවමනා නැහැය කියලා හිතෙනවා. ඡන්ද කාලේ පොරොන්දු දීම කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. හැමෝම පත් වුනාට පස්සේ තමයි තනතුරේ වැඩ බාරගන්නේ. ඉතින් ඊට කලින් කරනවා කියනඑක හරි ලේසියි. අපි මේ පාර අලුතින් වගේ ඇහුන ඡන්ද පොරොන්දු කීපයක් ගැන සලකා බලමු.
1. යහපත් රාජ්‍ය සේවයක්
සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් තියෙන රජයේ ප්‍රබල ඇමතිවරයෙක්. ලංකාව මුහුණදෙන අභියෝග ජයගන්න පුළුවන් රාජ්‍ය සේවයක් ගොඩනගන බව සජිත් ප්‍රේමදාස කියලා තියෙනවා. වර්තමානයේ පරිගණක ජාලකරණය හරහා රජය රාජ්‍ය සේවාව වෙනස් කරන්නට යනවා. ඇත්තටම සජිත් මැතිතුමා ඒ වැඩපිළිවෙලම ඉදිරියට ගෙනයනවාද නැතිනම් රාජ්‍ය සේවය මුල ඉඳන්ම හදනවා ද කියන එක ගැනනම් පැහැදිලි අදහසක් නැහැ.
2. 2025 නිවාස 20,000ක්
නිවාස කියන්නේ මූලික අවශ්‍යතාවයක්. නිවාස ඉදිකිරීම සජිත් මහතාට ලැබුන වරමක් විදිහට ඔහු පසුගිය කාලේ කටයුතු කළා. ඔහු 2025 වනවිට නිවාස 20,000ක් ඉදිකරන්නට අදහස් කරගෙන ඉන්නවා කියලා 2019 ජනවාරි වලදී කියලා තිබුනා. ඇත්තටම මේ නිවාස ගම්මානයක කුඩා ඉඩමක් අරගෙන කරන නිවාස 20-25 ආදී ක්‍රමයට නිවාස ඉදිකිරීමක්ද එසේ නැතිනම් මහල් නිවාසද කියන එක ගැන සඳහනක් නැහැ. පසුගිය කාලේ දවසකට දෙක තුන බැගින් විවෘත කළ ඒ නිවාස ව්‍යාපෘති වල ඉදිකිරීම් දෝෂ ගැන වගේම ජලය විදුලිය වැනි අත්‍යාවශ්‍ය පහසුකම් නොතිබූ නිවාස ව්‍යාපෘති ගැනත් පුවත් වාර්තා වෙලා තිබුනා.
3. නිකම් පෑඩ්ස්
මෙවර ජනාධිපතිවරණයේදී කාන්තා සනීපාරක්ෂක තුවා සතියක දෙකක කාලයක් තුල ජනාධිපති සටන සක්‍රියව තබන්නට සමත් වුනා. සජිත් ප්‍රේමදාස මහතා සනීපාරක්ෂක තුවා නොමිලයේ දෙන බවට මැතිවරණ පොරොන්දුවක් දී තිබෙනවා. එහෙත් මේ සජිත් ප්‍රේමදාස මහතාත් දැනට සිටින රජය එම සනීපාරක්ෂක තුවා වලට අමතර බදු මුදල් එකතු කරනවා . කොහොම වුනත් සජිත් ගේ මෙම ප්‍රකාශය ඉන්දියාවේ අරුනාචලම් මුරුගනාදන් හෙවත් පෑඩ් මෑන්ගේද ප්‍රශංසාවට ලක් වෙලා තිබුනා.
4. දූෂණය පිටු දකිමු
“අපගේ ප්‍රමුඛතාවය වර්තමානය සඳහා පමණක් නොවේ. අනාගතයේ අපගේ රජයක් යටතේද කිසිදු වංචාවකට ඉඩ නොතබන්නෙමු. ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව ඉහළ ප්‍රමුඛත්වයකින් ඉල්ලා සිටින වංචා දූෂණ රටින් තුරන් කිරීමට කිසිදු චකිතයකින් තොරව ඇප කැප වන බව ශපත කොට ප්‍රකාශ කරන අතර වංචා දූෂණයෙන් තොර දේශපාලඥයෙකු පමණක් නොව පුරවැසියකුද බිහිකර ගැනීමට අප කටයුතු කරන්නෙමු.” යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙනවා. 2005 -2015 වර්ෂය කාලය තුල මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කළා. එම කාලය තුලදී එම රජයේ සිටි ප්‍රබලයින් කීප දෙනෙකුට මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාටද දූෂණ චෝදනා එල්ල වී තිබුනා. ඒ අනුව දැන් ඔවුන් ඉදිරියට දූෂණය වංචාව තුරන් කරන්නට ලොකු වැඩක් කරන්නට ඉන්න බව මෙයින් පේනවා.
5. වස විස සහ පොහොර
වස විසෙන් තොර ආහාර වේලක් ලබාගැනීමට ජනතාවට ඇති අයිතිය සහතික කරන වැඩපිලිවෙලක් ගෙන එන බව ගෝඨාභය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 23 වෙනි පිටුවේ සඳහන් වනවා. එසේම පසුගිය කාලයේ අනුරාධපුරයේ පැවති මහ රැළියකදී වී ගොවියාට අවශ්‍ය රසායනික පොහොර නොමිලේ ලබාදීමට කටයුතු කරන බවටත් ගෝඨාභය මහතා සහතික වී තිබුනා. රසායනික පොහොර නොමිලේ දීමත් වස විසෙන් තොර ආහාර ප්‍රවර්ධනයත් දෙකම එකවර කරන ආකාරය පුදුම සහගතයි. එහෙත් කියවන උදවියට එක් ප්‍රතිපත්ති විශේෂයකුත් රැලි වලට එන අයට අහන්නට එක් ප්‍රතිපත්ති විශේෂයකුත් ඉදිරිපත් කිරීම ලංකාවේ දේශපාලනය තුල ලොකු මැජික්ස් එකකුත් නෙමෙයි.
6. සෑම නගරයකටම දුම්රිය සේවාවන්
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 87 වන පිටුවේ දුම්රිය සේවාව ගැන මෙහෙම කියනවා. දැනට දුම්රිය මාර්ග ජාලය මගින් ආවරණය නොවන ප්‍රදේශ දක්වා දුම්රිය මාර්ග දීර්ඝ කර එමගින් ලංකාවේ සෑම නගරයකටම දුම්රිය සේවා සැපයීම.
ඊට අමතරව ප්‍රධාන නගරවලට ඇති දුම්රිය මාර්ග වැඩි කිරීම, දුම්රිය අලුතින් එකතු කිරීම, නගරාන්තර සහ ශීඝ්‍රගාමී දුම්රිය වැඩි කිරීම ආදී සිහින පොරොන්දු රැසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත්ය. සැබැවින්ම ලංකාවේ සෑම රජයක්ම දුම්රියේ සේවාව දියුණු කරන්නට කැමතියි . එහෙත් ඒ සඳහා වියදම් වන මුදල් සොයාගැනීම සැබෑ අභියෝගයක්. අලුතින් එන දුම්රියක්, දුම්රිය එන්ජිමක් මිලියන සිය ගණනක් වෙනවා. අලුතින් ඉදිවන මාර්ගයකට හසුවෙන ඉඩම් සඳහා ගෙවිය යුතු වන්දි ද එසේම අහස උසට නගින ලොකු මුදලක්. ලංකාවේ ඇතැම් නගරවලට රෑ 8-9න් පස්සේ යන්නට බස් නැහැ. එවැනි රටක සෑම නගරයකටම දුම්රිය සේවාව සැපයීම යනු බොහෝ දුර ගිය පොරොන්දු සිහිනයක් වගේ පේනවා.
7. එක පවුලකටවත් රජයේ රැකියාවක්
“දුප්පත් කමින් පෙළෙන පවුල්වලට හේතුව ඔවුන්ට සමහර වෙලාවට නිපුණත්වයක් නැහැ රැකියාවක් ලබාගන්නට. මේ හේතුව නිසා අපි විශේෂ වැඩපිලිවෙලක් යොදලා එක පවුලකටවත් රජයේ රැකියාවක් ලබාදෙන්නට අපි වැඩපිළිවෙලක් සකස් කරනවා.” ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් 2019 ඔක්තෝම්බර් මස 28 වෙනිදා වවුනියාවේදී දක්වලා තිබුනා. දුප්පත් පවුල්වල ජනතාව නම් රැකියාවක් ලැබෙනවාට බොහොම කැමති වෙයි. ඒත් දැනටම පිරිස වැඩිවෙලා සමහර තැන්වල වාඩිවෙන්න ආසනයක් වත් නැති තරමට ඉන්න රාජ්‍ය සේවයට තවත් පිරිසක් බඳවගැනීම කියන්නේ නුවණැති ක්‍රියාවක්ද කියලා දෙපාරක් හිතන්නට වටිනවා.
පශ්චාත් භාගයට යට ඇඳුම වගේ මැතිවරණවලට පොරොන්දු එකිනෙක බැඳිලා තියෙනවා. ඉතින් දේශපාලකතුමන්ලාත් දැනුවත් ව හෝ නොදැනුවත්ව ඉටු කරන්නට බොහෝ අපහසු පොරොන්දු ලබා දෙනවා. පසුගිය වාරවල ජනාධිපතිවරණ, මහමැතිවරණ වලදි දුන්න පොරොන්දු ඇත්තටම අපිට මතකත් නැහැ. ඒවායේ තිබුන ආකර්ෂණීය වැඩපිලිවෙල අඩුගානේ ඒ රජයේ අයවැය යෝජනා වලටවත් සමහර වෙලාවට එන්නේ නැහැ. ඒත් බලාපොරොත්තු තියාගන්නවා හැර ඡන්ද දායකයින්ට වෙන විකල්පයකුත් නැහැ. ඇත්තටම මේ පාරනම් ඉලෙක්ෂන් එකේ ලස්සන සුන්දර පොරොන්දු ගොඩක්ම තියෙනවා. එහෙම නේද?
Leave a Reply