නම රැන්දූ ශ්‍රී ලාංකික ආර්ථික විද්‍යාඥයෝ

අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ සුප්‍රකට ආර්ථික විද්‍යාඥයන් කීප දෙනෙක් පිළිබඳව. ගොඩක් වෙලාවට සිංහලයෙන් මෙතුමන්ලා විසින් කරන ලද සේවය පිළිබඳව පාඨකයන්ට කියවීමට ලැබෙන්නේ අල්ප වශයෙන්. ඒ නිසා මේ ලිපිය කියවීමෙන් පස්සේ මේ ගැන අදහස් අපිත් එක්ක බෙදා ගන්න ඔබ අමතක කරන්න එපා.

 

 

1. එන්. යූ. ජයවර්ධන

ශ්‍රී ලංකා මහ බැංකුවේ පළවෙනි ශ්‍රී ලාංකික අධිපතිවරයා බවට පත්වෙන්නේ එන්.යූ ජයවර්ධන මහතායි. දකුණු පළාත තමන්ගේ  නිජබිම  කරගත්ත එන්. යූ. ජයවර්ධන උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩන් විශ්ව විශ්ව විද්‍යාලයට සහ සුප්‍රකට ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් ආයතනයට ඇතුළත් වනවා. නැවත ලංකාවට පැමිණීමෙන් පසු කෙටි කාලයක් විවිධ වෘත්තීන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කරද්දී නියෝජ්‍ය මහ බැංකු අධිපති ධුරයටත් පසුව එහි අධිපති පදවියටත් පත් වෙනවා. රජය එක්ක ඇතිවන ගැටුමක ප්‍රතිඵලයක් විදිහට ඔහුව එම තනතුරෙන් පහ කරනවා. නමුත් පසුව ඔහු නිදොස් බව හෙළි වීමත් සමඟ සෙනෙට් සභාවට පවා පත්වීම් ලැබෙනවා. ඔහු විසින් කරපු විශිෂ්ටතම සේවය විදිහට සම්පත් බැංකුව නිර්මාණය කිරීම හඳුන්වන්න පුළුවන්.

 

 

2. නෙවිල් කරුණාතිලක 

ආර්ථික විද්‍යාව සම්බන්ධව පමණක් නොව, බෞද්ධ දර්ශනය, සාහිත්‍ය, කලාව ආදී විවිධ විෂය ක්ෂේත්‍රයන් ගැන පැතිරුණු දැනුමක් සහිත පුද්ගලයකු විදිහට නෙවිල් කරුණාතිලකව හඳුන්වන්න පුළුවන්. පාසල් අවධියේ දී ඉතා දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ මෙතුමා සිය උපාධි හාවර්ඩ් විශ්ව විද්‍යාලය, ලන්ඩන් විශ්ව විශ්ව විද්‍යාලය වැනි සුප්‍රකට විද්‍යායතන වලින් ලබා ගනු ලැබුවා. කෙටි කාලයක් ලංකා විශ්ව විද්‍යාලයේ සේවය කළ එතුමා ශ්‍රී ලංකා මහ බැංකුවට එක් වීමෙන් පසුව අවසානයේ එහි අධිපති ධූරය හොබවනු ලැබුවා. රාජකීය ආසියාතික සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ එතුමා ශ්‍රී ලංකා ආර්ථිකය සඟරාවේ පළමු ප්‍රධාන කර්තෘවරයා ද වනවා.

 

 

3. ජයන්ත කැලේගම 

කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය හැදෑරීමෙන් පසුව ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තමන්ගෙ වෘත්තීය ජීවිතය ආරම්භ කරපු ජයන්ත කැලේගම පසුකාලයක මුදල් අමාත්‍යාංශයේ සේවය සඳහා එක් වුණා. 1960 – 1965 සමයේ ජාතික අයවැය සැලසුම් කිරීම එතුමා වෙත පැවරුණු භාරදූර කර්තව්‍යයක් වුණා. විද්‍යාලංකාර පිරිවෙන විශ්වවිද්‍යාලයක් බවට පත්වීමෙන් පසුව එහි පළමු ආර්ථික මහාචාර්යවරයා බවට පත්වීමට ජයන්ත කැලේගමට හැකි වුණා. මේ නිසා සිංහල භාෂාවෙන් ආර්ථික විද්‍යාව ඉගැන්වීමේ ප්‍රමුඛයෙකු ලෙස ජයන්ත කැලේගමව හඳුන්වනු ලබනවා.පසු කලෙක විවිධ ජාත්‍යන්තර සංවිධාන කීපයකත් එතුමා සේවය කරනු ලැබුවා.

 

 

4. සමන් කැලේගම 

සමන් කැලේගමගේ ඇති එක් විශේෂත්වයක් වන්නේ ඔහු සිය ශ්‍රාස්ත්‍රපති උපාධිය සඳහා ගණිතය හැදෑරීමයි. ශ්‍රී ලංකා සැලසුම්කරණ අධ්‍යයන ආයතනයට එකතු වූ එතුමා එම ආයතනයේ තත්ත්වය උසස් කිරීමට සුවිශාලම මෙහෙයක් සිදු කරනු ලැබුවා. ඊට අමතරව දකුණු ආසියාතික රටවල ආර්ථික සහයෝගීතාවය වෙනුවෙන් සැළකිය යුතු මට්ටමේ වැඩකොටසක් කිරීමට  එතුමා සමත් වුණා.

 

 

5. ගාමණී කොරයා

සුප්‍රකට කොරයා පවුලේ සාමාජිකයෙකු වූ ගාමණී කොරයා සිය උපාධිය සම්පූර්ණ කර ගත්තේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලිනුයි. නැවත ලංකාවට පැමිණීමෙන් පසුව සිය වෘත්තීය ජීවිතය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ආරම්භ කළ ඔහු පසුව සැලසුම් සහ ආර්ථික කටයුතු පිළිබඳ  අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්වරයා බවට පත්වුණා. යළිත් වරක් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා බවට පත් වූ ඔහු පසුව බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තය යන රටවල සහ යුරෝපා ආර්ථික සමුළුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබූවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන සැලසුම් අංශයට එකතු වූ එතුමා අවසානයේදී UNCTAD ආයතනයේ මහලේකම් ධූරය හෙබවූවා.

 

 

6. ඒ. එස්. ජයවර්ධන

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් සහ හාවර්ඩ් විශ්වවිද්‍යාලය යන විද්‍යායතන වලින් සිය උසස් අධ්‍යාපනය ලැබූ ඒ. එස්. ජයවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවට කනිෂ්ඨ විධායකයෙකු ලෙස එක් වුණා. පසු කලෙක ඔහු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ආර්ථික උපදේශකයෙකු ලෙස කටයුතු කළා. කලක් ලංකා බැංකුවේ මහා කළමනාකාර ධූරයද දැරූ ඔහු ඉන් අනතුරුව කෙටි කලකට ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේද කටයුතු කරනු ලැබුවා. 1998දී ඔහුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයට පත් කරනු ලැබූ අතර 2004 වසරේදී ඔහු විශ්‍රාම ගන්නා තෙක් එම ධූරය උසුලනු ලැබුවා.

 

 

7. ආචාර්ය ඒ. ඩී. වී. ඩී. එස්. ඉන්ද්‍රරත්න

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඉපදුණු ඉන්ද්‍රරත්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමි උගතෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ දී සම්පූර්ණ කළා. කාලයක් එම විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙක් විදිහටත් එතුමා කටයුතු කළා. ඉන්පසු කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික මහාචාර්යවරයා විදිහට කටයුතු කරපු එතුමා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික පීඨය ඇති කිරීමට මූලිකත්වය ගනු ලැබුවා. එසේම විදේශ විශ්වවිද්‍යාල රැසක් එතුමාගේ සේවය ආරාධිත දේශකයෙකු විදිහට ලබා ගනු ලැබුවා. පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ජාතික අධ්‍යාපන කොමිසම වැනි ආයතන ගණනාවකට එතුමා සිය සේවය ලබා දෙනු ලැබුවා.

 

එහෙමනම් ආරම්භයේ දී කිව්වා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ලිපිය ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

 

 

Leave a Reply

Your email address will not be published.