ලංකාවේ මිනිස්සුන්ට ඉක්මනටම ඇතිවෙලා ඉක්මනටම නැති වෙලා යන උණ වර්ග 7ක්

අපි මෙතන උණ වර්ග කියලා හැඳින්නුවෙ උණ රෝගයට නොවුණත්, මේකත් එක්තරා රෝගයක් තමයි.  ඒ තමයි අපේ උදවියට එකපාරටම ඇතිවෙන ආසාවල් ඒ ඉක්මනටම නැති වීම. අපි බලමු ලංකාවේ බහුතරයක් උදවියට ඒ විදිහට ඉක්මනටම ආසා හිතිලා, ඉක්මනටම එපා වෙන දේවල් 7ක් ගැන.

 

1. ගිටාරිස්ට්

යූටියුබ් එකේ සින්දුවක්, සින්දුවක කවර් වර්ෂන් එකක් එහෙම අහන් ඉද්දී ඔන්න ඒකේ ඉන්න පොරක් ගහනවා සුපිරි ගිටාර් පාර්ට් එකක්. පුදුම ලස්සනක්, පුදුම ගැම්මක්. ඉතින් ඔන්න බලපු එකාටත් ඇතිවෙනවා ගිටාරිස්ට් කෙනෙක් වෙන්න ආසාවක්. පොර ඉතින් ගිහින් ගිටාර් එකක් අරගෙන හරි, යාළුවෙක්ගෙන් ඉල්ලගෙන හරි පටන් ගන්නවා යූටියුබ් හරහාම ගිටාර් ඉගෙන ගන්න. වීඩියෝ එකේ පොර සට පට ගාලා ගිටාර් එක ගැහුවට මොකද අපේ බුවා වැඩේ පටන් ගන්න කෝඩ් එක අල්ලද්දිම ඇඟිළිවලට නිකන් ඉඳිකටු අනිනවා වගේ. අමාරුවෙන් වගේ සතියක් විතර කෝඩ් අල්ලන්න බලනවා ඇඟිලි රිදි රිදි. සින්දුවල කෝඩ් මාරු කරලා සතියෙන් සින්දු ගහන්න ට්‍රයි කරනවා. නිකන් ටකරමට ගල් ගැහුවා වගේ සවුන්ඩ් එකක් එන්නේ. ඒ මදිවට ඇඟිලි වේදනයි උපරිමේටම. ඉතින් ඇඟිලිවල කරගැට ඇවිත් හයි වෙන්න කලින්ම වැඩේ අතෑරලා දානවා.

 

2. ඩයටින්ග්

කන බොන වෙලාවට යාළුවෙක් ගත්ත ෆොටෝ එකක් එෆ්බී දාලා. ඒකේ හැටියට තමන් පට්ට මහතයි කියලා තමන්ටම පේන්න ගන්නවා. “යකෝ මෙහෙම ගියොත් මම පිම්බිලා පිම්බිලා ලුක් එක සම්පූර්ණ කචල් වෙනවානෙ” කියලා බය හිතෙනවා. හෙට ඉඳන්ම ඩයට් කරනවා කියල හිතනවා. පළවෙනි දවසේ උදේට කනවා ඕට්ස් චුට්ටක්. කනවා කිවුවට නහය වහන් ගිලිනවා. දවල්ට බත් කෝප්පයක්, රෑට සුප් එකක් බොනවා. මේ විදිහට දවස් දෙකක් විතර ගිය තැනදි හිතෙනවා “මොන මගුලක්ද යකෝ කෙට්ටු වෙන්න කියලා මෙහෙම දුක් විඳින්න තරම් මේ ජීවිතේ දිග නැහැ. ඉන්න එකේ කාල මළත් මොකෝ” කියලා. එදාම ගෙන්න ගන්නවා ෆුල් චීස් කොත්තු එකකුයි, හොට් චොක්ලට් එකකුයි. ගෙනත් ගහලා අරිනවා. ඩයටින්ග් එතනින්ම ඉවරයි.

 

3. ෆිට්නස්

සික්ස් පැක් එකක් නැති වුණත් කමක් නෑ ඇඳුමක් ඇන්දට පස්සේ බඩගෙඩිය ඉස්සරහට නෙරන්නේ නැති වෙන සයිස් එකට ඇඟ ටිකක් ෂේප් වුණානම් හොඳයි කියලා හිතනවා. ඒකට තෝරගන්නවා ​මේ දවස්වල නිතර ටීවී එකේ ඇඩ් යන ෆිට්නස් බ්‍රෑන්ඩ් එකකින් උපකරණයක්. අරගෙන, කාමරේ හයි කරගෙන ඒකේ තියෙන වැඩ කෑලි ටික ඔක්කොම දානවා. ඔහෙම දවසක් දෙකක් ගිය තැනදි මේ වැඩේ කරන එක මහ වේදනාවක් වෙනවා. පැයක් තිස්සේ හති මුණින් දාගෙන, දාඩිය පෙරාගෙන මෙහෙම නටන්න කොහෙද වෙලාවක් කියලා හිතෙනවා. එදායින් පස්සේ ඒ ෆිට්නස් උපකරණය ටිකෙන් ටික ගෙදර රෙදි රැක් එකක් බවට පරිවර්තනය වෙනවා.

 

4. ෆොටෝග්‍රැෆි

ෆේස්බුක් එකේ සෙක්සි නංකිලාගෙ ​මොඩ්ලින් ෂූට් දැක්කම ඔන්න ආසාවක් ඇති වෙනවා මේ සුන්දරත්වය කලාත්මක ඇහැකට අහුකරගන්න පොටෝග්‍රැෆි අයියා කෙනෙක් වෙන්න. ඒ රස්නෙ පිට ඔන්න ගිහින් ගන්නවා හොම්බ දිග කැමරාවක්. කැමරාවක් ගත්ත පළියට මොඩ්ල් ෂූට් කරන්න බැහැනේ. මුලින්ම ගන්නවා ගෙදර ටොමියවයි, කිටියවයි. ඊට පස්සේ වත්තේ මල්ගස් ටිකටයි, පොල් ගස් ටිකටයි වැඩේ දෙනවා. රාත්‍රී ආකාසේ ෆෝටෝ ටිකකුත් ගන්නවා. යාළුවො සෙට් වෙද්දී උන් අහක බලාගන්නකම් ඉඳලා සීරියස් ෆොටෝ ටිකකුත් අල්ලනවා. ඊට පස්සේ ටිකෙන් ටික වැඩේ එපා වෙලා යනවා. කැමරාවත් කබඩ් එකේ මුල්ලකට තල්ලු වෙනවා බයර් කෙනෙක් සෙට් වෙනකන්.

 

5. රයිටින්

සාහිත්‍ය මාසේ රස වෑහෙන නවකතා, කෙටිකතා කියවලා හෙන සාහිත්‍ය උණක් හැදෙනවා. කියවන්න වගේම ටිකක් ඊට එහාට ගිහින් ලේඛකයෙක් වෙන්නත් හීන දකිනවා. හොඳ කතා වස්තුවක් පාදක කරන් ලියන්න ඕනෙ කියලා උදේ හවස එක එක ඒවා හිතනවා. අතරින් පතර කෙටි සටහනක් දෙකකුත් ගහනවා. පොඩි සිතුවිල්ලක් දෙකක් හෑෂ්ටැග් එක්ක ෆේස්බුකියටත් මුදා හරිනවා. ටිකෙන් ටික සාහිත්‍ය මාසේ ගෙවිලා ඔක්තෝබර් මැද හරියට එද්දී ඒ උණ ගතිය ටිකක් විතර අඩු වෙලා යනවා. අන්තිමට ලේඛක හීනය තව අවුරුද්දකට කල් යනවා.

 

6. අමද්‍යප

උදේ නැගිටින්නේ ෆුල් අවුල් පිට, ඇඟටත් අමාරුයි. මුලින්ම මතක් වෙනවා “චැහ්! ඊයෙත් බිවුවා නේද? පට්ට අමාරුයි. මොකක්ද මේ ජීවිතේ?” කියලා. අද ඉඳන් සදහටම බීම නවත්වන්න ඕනෙ කියලා තීරණය කරනවා. දවල් වෙලා ඇඟේ පතේ අමාරුකම් ටිකක් අඩු වෙලා පණ ගහලා එද්දි හිතනවා “එහෙම නෙමෙයි, ලිමිට් එකට වැඩේ කරන්න ඕන. සහමුලින්ම නවත්තන්නෙ නෑ. සතියකට වතාවකට වගේ බී​ම අඩු කරනවා” කියලා. එහෙම හිතලා දවස් කීපයක් අමද්‍යපව ඉන්නවා. ඊට පස්සේ එනවා ඔන්න පෙර කරුම පළිසන් දෙන කෝල් එකක්. “අද මොකද කරන්නේ?” ඔන්න ඕක තමයි එහා පැත්තෙන් ඇහෙන ප්‍රශ්නය. අද විතරයි හෙට නෑ බොන්නේ කියලා අයෙත් අර පරණ සයිකල් එකටම ටික ටික වැටෙනවා.

 

7. පිළිව​ල

කරන්නම දෙයක් නැති දවසට කාමරේ මේසෙ උඩ අස් කරන්න ගන්නවා. ඊට පස්සේ හිතනවා මේ ගමන්ම ඇඳුම් අල්මාරියත් පිළිවෙලක් කළොත් හොඳයි නේද කියලා. ඊට පස්සේ ගේත් ටිකක් අතුගාලා දානවා. ෂහ්! පුදුම පිළිවෙල්, හිත නිවෙන ගතියක් කාමරේට ඇවිත් නේද කියලා ඊට පස්සේ හිතනවා. ඒ ගැම්මෙන්ම හිතනවා හෙට ඉඳන් මේ පිළිවෙල මේ විදිහටම පවත්වාගෙන යනවා. බඩුවක් ගත්තොත් ආයෙ ගත්ත තැනින්ම තියනවා. සතියට වතාවක් අස්පස් කරලා ෆුල් පිළිවෙලට, පිරිසිදුව ලයිෆ් එක ගෙනියනවා කියලා. එච්චර තමයි ඉතින්. සතියකින් තියා අවුරුද්දකින්වත් ආපහු අස් කරන දවස උදාවෙන්නේ නෑ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *