නත්තල් කාලේ කියන්නේ කිසිම භේදයකින් තොරව ලෝකවාසී හැම දෙනාම සතුටින් ඉන්න කාලයක්. ඔය සතුට වැඩිකරවන එක අංශයක් තමයි නත්තල් ගීත. ඒවයේ සංගීතය, වචන වගේම ජවයකින් යුතුව ගායනා කරන විදිය ඇහුණාම ඕනෑම ශෝක මූඩ් එකක් සුන්නද්දූලි වෙලා යනවා. ඒ විදියට නිමවුණු, අදටත් නත්තල් කාලෙට හතර වටෙන් ඇහෙන මේ ගීතවලට කවුද ආසා නැත්තේ?
1. Feliz Navidad – Jose Feliciano
ලෝකයේ ඉතා විශාල රසික පිරිසක් ආකර්ෂණය වුණ මේ ගීතය ගායනා කරන්නේ කඩු පොලිෂ් ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි. පුවර්ටෝ රිකෝ හි ගායකයෙකු වන ෆෙලිසියානෝගේ මේ ගීතයේ “Feliz Navidad” කියන්නේ ස්පාඤ්ඤ භාෂාවෙන් “සුබ නත්තලක්” කියන එකටයි. ඒ හා සමගාමීවම සින්දුවේ “I wanna wish you a merry christmas” කියලා කොටසකුත් කියවෙනවා. මේ තරම් සරල ගීයක් දේශ සීමා පහු කරලා වැඩියෙන්ම අලෙවි වුණ නත්තල් ගී අතරට යන්න හේතුව වෙන්න ඇත්තේ මේ ගීතයේ තියෙන සරල වගේම සතුටු හිතෙන ගතිය වෙන්න ඕනි. මේ සින්දුවේ අන්තර්ගතය ගත්තොත් තියෙන්නේ පේලි පහක් හෝ හයක්. ඒත් සංගීතය කියන්නේ අමුතු ම දෙයක්.
2. Carol of the Bells
මේ සින්දුව ඇහෙනකොට වෙනම ලෝකෙකට අසන්නාව අරගෙන යනවා. මුළු වා තලයම අමුතු දෙයකින් පිරිච්ච ගූඪ ගතියක් දැනෙනවා. වචන සුපිරිම. හැබැයි ඔක්කොටම වඩා හිරිවැටෙන්නේ සංගීතෙට. මේකේ මූලය ඉංග්‍රීසි නෙවෙයි. මේ සංගීතයේ ප්‍රභවය යුක්රේනය. ඒ රටේ හිටි සංගීතවේදියෙකු වන Mykola Leontovych තමයි මේ සංගීතේ නිර්මාතෘ. මේ මූල නිර්මාණයේ මේ ගීතය නත්තල් ගීතයක් වෙන්නේ නැහැ. අලුත් අවුරුදු උදාව ගැනයි ඉන් කියවුණේ. පස්සේ Peter J. Wilhousky කියන කලාකරුවා නත්තලට හරියන්න ඉතාම ජවසම්පන්න වචන ටිකක් ලියලා මේක නත්තල් ගීතයක් බවට පත් කරා. කැරොල් කණ්ඩායම් අතර අතිශය ජනප්‍රිය මේ ගීතයට අයිතිකාරයෙක් නිශ්චිතව දක්වන්න අමාරුයි.
3. Jingle Bells
නත්තල් ගැන ඉස්සෙල්ලාම දැනගන්නේ මේ සින්දුවෙන් කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නැහැ. පුංචි ළමයි, කැරොල් කණ්ඩායම් වගේම වාණිජ පරමාර්ථයෙන් කරන වෙළඳ දැන්වීම් එහෙමත් මේ ගීතය තමයි වඩාත් කියන්නේ. James Lord Pierpont කියන පුද්ගලයා තමයි ඉස්සෙල්ලාම මේ ගීතය ලියන්නේ. කොහොමහරි මේකේ සංගීතේ සම්බන්ධයෙන් විසඳුනේ නැති ප්‍රශ්නයක් තියනවා. ඒ දේ කරේ රචකයාම ද නැත්තම් වෙනත් අයෙකු ද කියලා. නත්තල් සීයා තෑගී අරගෙන හිම මැදින් පිනිමුවෝ බන්දගත්තු කරත්තෙන් එන කතාව මේ ගීතයේ ලස්සනට ලියවෙලා තියනවා. එදා මෙදා තුර මේ ගීතය බොහෝ දෙනෙක් ගායනා කළ නිසා නිශ්චිත ගායකයෙකු දක්වන්න අමාරුයි.
4. Mary’s Boy Child – Harry Belafonte
ඇත්තටම මේ නම දැක්කම බොහෝ දෙනෙක් හිතන්නේ Boney M කණ්ඩායමේ ගීතය විදියටයි. හැබැයි ඇත්තටම එයාලා ඒ කරේ මේ සින්දුවට කවර් වර්ෂන් එකක් කරපු එක විතරයි. එක්සත් රාජධානියේ මියුසික් චාර්ට් එකේ අංක එකට ආව වගේම පිටපත් මිලියනයකට වැඩියෙන් එක්සත් රාජධානියේ පමණක් අලෙවි වෙලා තියනවා. එහෙම දෙයක් ඒ රටේ කරපු පළවෙනි ගීතය තමයි මේ. Boney M වර්ෂන් එකට වඩා ගොඩක් හිමින් සහ ලයාන්විතවයි මේ ගීතය ගායනා කෙරෙන්නේ. ඒ ගැන සමහරු හොඳ කියනවා. අතලොස්සක් ඒක හරිම කම්මැලි විදියට දකිනවා. කොහොම නමුත් මේ ගීතයෙන් දෙන සුපහන් හැඟීම වචනවල තියෙන නිසා සංගීතය ඒ තරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
5. Little Drummer Boy – Trapp Family Singers
කලාව කොහෙන් කොහෙන් හරි සම්බන්ධ වෙලා වෙලාවකට අපිව පුදුම කරවනවා. මේ ගීතය ඉස්සෙල්ලාම කිව්වේ ඔස්ට්‍රියාවේ ට්‍රැප් ෆැමිලි එක. ඒ කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවා. The Sound of Music චිත්‍රපටයට පාදක වුණ සැබෑ පවුලේ සාමාජිකයන් තමයි ඉස්සෙල්ලම මේක කියන්නේ. හැබැයි ගොඩක් දෙනෙක් දන්නේ Harry Simone කියන කණ්ඩායම ගායනා කරපු එක තමයි පළවෙනියටම ලෝකයා ඇහුවේ කියලයි. ඒ නැතත් ගොඩක් දෙනා ආසම කරන්නෙත් ඒකට තමයි. ගීතය ලිවීම සහ සංගීතය K. K ඩේවිස් කියන ඇමරිකානු සංගීතවේදියාගෙන්.
6. Santa Claus is Coming to Town – Eddie Cranton
නත්තල් සීයා කිව්වම පොඩි අයට විතරක් නෙවෙයි අපිටත් හෙන සතුටක් දැනෙනවනේ. ඉස්සර ඉඳන්ම කියන්නේ පිටරට ගෙවල්වල චිමිනියෙන් තෑගී දානවා කියලයි. ඉතින් ඕක කරන්න නත්තල් සීයා එන්න එපැයි. ඔන්න එයා එනවා කියලා දැන දැන කික් එකේ කියන්න පුළුවන් සින්දුවක් තමයි මේ. මේකෙත් මූලය කියලා ගොඩක් අය හිතන් ඉන්නේ Mariah Carey කියන වර්ෂන් එක. හැබැයි ඊට කලින් තමයි මේ පහළින් තියෙන ගීතය ආවේ. ගොඩක් නත්තල් ගීතවල ප්‍රභවය අවුරුදු ගාණක් ඈතයි.
7. Deck the Hall
මේ ගීතයේ සංගීතය වේල්සයෙන් තමයි අරගෙන තියෙන්නේ. වේල්සයේ ඉංග්‍රීසි වගේම ඔවුන්ටම අනන්‍ය වෙල්ෂ් භාෂාවත් භාවිත කෙරෙනවා. මේ ගීතයේ ප්‍රභවය ලියවුණේ මෙන්න මේ භාෂාවෙන්. ඒක නත්තලටම හදපු ගීතයක් සහ මෙලඩියක් නෙවෙයි. කොහොමහරි Thomas Oliphant මේ සංගීතයට ගැලපෙන්න ඉංග්‍රීසි භාෂාවෙන් Deck the Hall ලියනවා. Jingle Bells වගේම මේ ගීතය කැරොල් ගායනයේ සහ වාණිජ අරමුණුවල දී යොදාගන්නවා.
Leave a Reply