සිංහල සිනමාවේ තම නාමය සලකුණු කළ විවාහක යුවළ 7ක්

අපි අද කියන්නේ සුවිශේෂී විවාහ​ක යුවළ කීපයක් ගැනයි. මේ අය ඔක්කොම ලංකාවෙ කලා රසිකයින් අතරේ ජනප්‍රිය අය. ඒ වගේ​ම මේ අය ඔක්කොම රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් වෙනවා. විශේෂත්වය වෙන්නේ මේ ජනප්‍රිය සැමියන් සහ බිරින්දෑවරුන් සියලු දෙනාම සිංහල සිනමාවේ තම නාමය සලකුණු කරන්න සමත් වීමයි. අපි බලමුද මේ අය කවුද කියලා…

 

1.  ශ්‍රියන්ත –කුසුම්

 

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ දක්ෂ නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් ඒ වගේම කුසුම් රේණු කියන්නෙත් ජනප්‍රිය සහ දක්ෂ නිළියක්. 1984 දී “පණ්ඩුකාභය” නම් වේදිකා නාට්‍යයේදී ඇය ශ්‍රියන්ත හමුවූ අතර මේ යුවළ 1986 දී විවාහ වුණා. මේ යුවළට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. කුසුම්ගේ පළමු රංගන භූමිකාව ටී.බී. ඉලංගරත්නයන්ගේ වේදිකා නාට්‍යයක් වූ “සයිලාසනය” යි. ඉන්පසු ඇය බොහෝ රූපවාහිනී කතා මාලා රඟපෑවා. 1984 දී “හිම කුණාටුව” හි චරිතය වෙනුවෙන් ඇය හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තා.  ශ්‍රියන්ත මෙන්ඩිස් 1979 දී නළුවෙකු ලෙස රංගනයට පිවිසියේ “අනේ අබිලිස්” නම් ප්‍රහසන වේදිකා නාට්‍යයක චරිතයක් නිරූපණය කරමිනුයි. ඔහුගේ පළමු ටෙලි නාට්‍යය “පළිඟු මැණිකේ” වූ අතර 1987 දී එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ “මංගල තෑග්ග” චිත්‍රපටය හරහා ඔහු රිදී තිරයට පිවිසියා. කුසුම් රේණු සිනමාවට පිවිසෙන්නේ 1979 දී තිරගත කළ ජීවන ​කඳුළු චිත්‍රපටය හරහායි. ඉන් පසුව සත්කුළු පවුව, පුංචි සුරංගනාවි, කුස පබා, ධර්ම යුද්ධය ආදී චිත්‍රපටවල ඇය සුවිශේෂී රංගනයක නිරත වෙන්න සමත් වෙනවා.

 

2. ආනන්ද – මානෙල්

සිනමාව, වේදිකා නාට්‍ය හා රූපවාහිනිය යන කලා මාධ්‍යයන් තුනේම සම්මානලාභී නළුවෙක් තමයි ආනන්ද වික්‍රමගේ මහතා. චරිතාංග රංගන​යේ සිට හාස්‍ය උත්පාදක චරිත රංගන​ය දක්වා ඉහළ දක්ෂතා ඇති නළුවෙකු වන ඔහු නාට්‍යමය චරිත නිරූපණය කරමින් සිය රංගන ජීවිතය ආරම්භ කළ අතර ඒ සමග​ම රූපවාහිනී කතා මාලාවල හොඳම විකට නළුවෙකු බවට පත් වුණා. ඔහු වඩාත් කැපී පෙනෙන්නේ “පබා” ටෙලි නාට්‍යයේ මර්වින්ගේ චරිතය, “පටලැවිල්ල” ටෙලි නාට්‍යයේ ද්විත්ව රංගනය සහ  “නෙයිනාගේ සූදුව” වේදිකා නාට්‍යයේ කොතලාවල ලෙස දැක්වූ අනගි රංගන පරාසය නිසයි. ඔහු 1984 දී ජනප්‍රිය නිළි මනෙල් වානගුරු මහත්මිය සමඟ විවාහ වන අතර එම යුවළට පුතුන් දෙදෙනෙකුත් ඉන්නවා. මනෙල් චින්තාමානි වානගුරු සිනමාව, නාට්‍ය හා රූපවාහිනිය යන අංශවල සම්මානලාභී නිළියක්. ඇය දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන සාර්ථක රංගන වෘත්තියක හිමිකාරිණියක්. ​මේ යුවළගේ දරුවන් ව​න ජනිත් සහ සංඛේත් දෙදෙනාම ජනප්‍රිය නළුවන්. 

 

3. රෝයි – සුමනා

රෝයි ද සිල්වා මහතා මෙරට සිනමාවේ නොමැකෙන සළකුණු තැබූ නළුවෙක් සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඔහු සිනමා කර්මාන්තයට පිවිසියේ 1964 දී පලණියන්දි නීලකාන්තන් විසින් අධ්‍යක්ෂණය කරන ලද “සුජාගේ රහස” සමඟයි. නළුවෙකු ලෙස වර්ධනය වූ රෝයි ද සිල්වා, තමන් කාලයක් ගමන් ගත් මාවත වෙනස් කරමින් සිනමා අධ්‍යක්ෂණය කරා යමින් සිනමා කර්මාන්තයේ වඩාත්ම සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු බවට පත්වුනා. ඔහුගේ බ්ලොක්බස්ටර් චිත්‍රපට වන “රෑ ඩැනියෙල් දවල් මිගෙල්”, “චෙරියෝ”, “ක්ලීන් අවුට්” සහ “සර් ලාස්ට් චාන්ස්” ආදායම් අතින් සාර්ථක වූ අතර සිනමා කර්මාන්තයේ කැපී පෙනෙන සලකුණු ඇති කළා. ඔහු විවාහ වුණේ එවකට සිනමාවේ අතිශය ජනප්‍රිය නිළියක වූ සුමනා අමරසිංහ මහත්මිය සමඟයි. සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියක් වූ ඇයව සිංහල සිනමාවේ “ස්වීට් ගර්ල්” ලෙස ද හැඳින්වූවා. රංගනයට අමතරව සහය අධ්‍යක්ෂ​කවරියක්, නිෂ්පාදන කළමනාකාරවරියක්, ඇඟලුම් නිර්මාණ ශිල්පිනියක් මෙන්ම නිෂ්පාදකවරියක් ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. ඇයට රෝයි ද සිල්වා මුණ ගැසුණේ 1969 දී  “හතර පෙරළිය” චිත්‍රපටයෙනුයි. ඉන්පසුව මෙම ආදරණීය යුවළ විවාහ වුණේ 1975 වසරේදීයි. ඔවුන් සිංහල සිනමාවට ද ඉතාම වටිනා ශිල්පීන් දායාද කළා. සිංහල සිනමාව තුළ විශාල හිඩැසක් ඉතුරු කරමින් හෘදයාබාධයකයකට ප්‍රතිකාර ලබමින් සිටියදී රෝයි ද සිල්වා මහතා පසුගිය 2018 වසරේදී මිය යනවා. 

 

4. ස්ටැන්ලි – ගර්ලි

1950 දශකයේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය වන “කැලෑ හඳ” හි ජෝන් ජයපාලගේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් සිනමා ලොවට අවතීර්ණ වූ ස්ටැන්ලි පෙරේරා මහතා පසු කලෙක සිංහල චිත්‍රපටි රැසකම තම රංගන ප්‍රතිභාව ප්‍රේක්ෂකයන්ට තිළිණ කළා. අයිරාංගනී, සුදු දුව, චණ්ඩාලී, සුජීවා, ගීතා ඇතුළු නිර්මාණ රැසකට දායකත්වය දුන් එතුමන් විවාහ වුණේ එවකට ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය සමඟයි. 1950 දශකයේ සිනමාවට අවතීර්ණ වූ ගර්ලි ගුණවර්ධන මහත්මිය එවකට ජනප්‍රිය දක්‍ෂ නළුවෙක්‌ වූ ස්‌ටැන්ලි පෙරේරා සමග “දුප්පතාගේ දුක” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් තව දුරටත් ජනප්‍රිය වුණා. ස්‌ටැන්ලි පෙරේරා කිතුණුවකු වීම විවාහයට බාධාවක්‌ වුවද ඒ බාධක මධ්‍යයේම 1957 දී ඔවුන් විවාහ වූණා. එච්. ඊ. ජයසිංහ අධ්‍යක්‍ෂණය කරන ලද “ඉවසන දනා” චිත්‍රපටයේ ගර්ලි ස​හ ස්‌ටැන්ලි පෙරේරා ද පසුකලෙක සිංහල සිනමාවේ ජනප්‍රියම නිළිය වූ ඔවුන්ගේ දියණිය “සබීතා” ද රඟපෑම විශේෂිත අවස්ථාවක්. සබීතා, සන්ධ්‍යා, සධානා හා චන්දිමා යන දියණියන් හතර දෙ​නෙකුගේ මව සහ පියා වූ ඔවුන් සිංහල සිනමාවට දායාද කළ හොඳම තිළිණය වුණේ සබීතා පෙරේරා දියණියයි. අද වෙද්දී ස්​ටැන්ලි- ගර්ලි දෙදෙනාම මෙලොව අතහැර ගොස් අවසන්.

 

5. දිල්හානි – ප්‍රියංකර

දිල්හානි ඒකනායක කියන්නේ සිංහල සිනමාවේ යුගයක් එළිය කළ ජනප්‍රිය තාරකාවියක්නේ. ඒ වගේ​ම ඇගේ සැමියා වන ප්‍රියංකර පෙරේ‍‍රාත් කාලයක් සිනමාවේ රැඳුණු තරුවක් සහ ජනප්‍රිය ගායකයෙක්. සිනමාවට පිවිසීමට පෙර ඇය “විශ්ව ගීතා” සහ “සාමා” වැනි මුද්‍රා නාට්‍ය කිහිපයක රඟපෑවා. 1987 දී චන්න විජේවර්ධන සමඟ ඇය “උකුස්සා” මුද්‍රා නාට්‍යය ඉදිරිපත් කළා. දිල්හානි සිය සිනමා දිවියට පිවිසියේ 1991 දී යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන ලද “දේදුන්නෙන් සමනලියක්” චිත්‍රපටයෙන්. එම වසරේදී ඇය හොඳම නැගී එන නිළිය සඳහා සරසවිය සම්මානය දිනා ගත්තා වගේම 1992 දී ඇය එම උත්සවයේදීම හොඳම නිළිය සඳහා වන සම්මානයත් දිනා ගත්තා. එදා සිට අද තෙක් පැමිණි සිනමා ගමන් මඟ තුල ඇය විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලැබූ සහ ජනතා ආදරය දිනා ගත් ශිල්පිණියක්. ඒ වගේම නැසී ගිය ප්‍රවීණ ගායක මිල්ටන් පෙ‍රේරා මහතාගේ පුතු වන ප්‍රියංකර පෙරේරාත් ගායකයෙක් වගේම කඩවසම්, දක්ෂ සිනමා රංගන ශිල්පියෙක් ලෙස සිංහල සිනමාවට දායකත්වය ලබා දුන්නා. 1996 දී “මධුරි” චිත්‍රපටයේ ඔවුන් දෙදෙනා එකට රඟපා තිබෙනවා. ඒ වගේම ඔවුන් දෙපළගේ තරුණ පුතු වන දිල්මින් පෙරේරාත් නවක ගායකයෙක් විදිහට සංගීත ක්ෂේත්‍රයේ වැඩ අරඹලයි තියෙන්නේ.

 

6. බිමල් –සුජානි

මෙරට සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී ඉහළ දක්ෂතා ඇති  බිමල් සිනමා උළෙලවලදී විශිෂ්ට චරිත සහ සම්මාන නාමයන් සඳහා ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්. ඔහු සිය සිනමා ජීවිතය ආරම්භ කළේ “අලි පැටියෝ ඔයා මමයි” සමඟ 2006 වර්ෂයේදීයි. ඉන් පසු ඔහු “දැකලා පුරුදු කෙනෙක්, සක්කාරං, සංක්‍රාන්ති, ගාමණී, අබා, සිරි පැරකුම් ආදී චිත්‍රපටව​ල ජනප්‍රි​ය හා ආන්දෝලනාත්ම​ක චරිත රැසක් රඟපෑවා. ඒ වගේම විචාරක හා ප්‍රේක්ෂක පැසසුමට ඒ සෑම චරිතයක් ම ලක් වුණා. වර්ෂ 2000 දී ‘රම්‍යා සුරම්‍ය’ ටෙලි නාට්‍යයේදී තමයි බිමල්​ට ඔහුගේ බිරිඳ සුජානි මේනකා හමු වන්නේ. ඔවුන් දෙදෙනා 2007 දී විවාහ වනවා. වයස අවුරුදු 10 දී වෙළඳ දැන්වීම්වල ළමා රං​ගන ශිල්පිනියක ලෙස සිය රංගන දිවිය ආරම්භ කළ සුජානි මේනකා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “ප්‍රාර්​ථනා” ටෙලි නාට්‍යයට එකතු වෙමින් වයස අවුරුදු 3දී කැමරාවට මුහුණ දී තිබෙනවා. 1987 දී ඇය “අහිංසා” චිත්‍රපටයේ ළමා කලාකරුවෙකු ලෙස සිය මංගල සිනමා භූමිකාව රඟපෑවා. බිමල් – සුජානි දෙදෙනාම අද වෙද්දී කෙතරම් කාර්‍යබහුල රංගන ශිල්පීන් වුණත් ඉතාම සාර්ථක හා ආදර්ශමත් යුග දිවියක් ගත කරනවා.

 

7. තුමිඳු – කළණි

තුමිඳු දොඩන්තැන්න සිනමාව, වේදිකාව හා රූපවාහිනී යන කලා මාධ්‍යයන් තුනේම දක්ෂතා දැක්වූ වර්තමාන පරපුරේ සම්මානලාභී නළුවෙක්. ඔහු වෘත්තියෙන් කථිකාචාර්යවරයෙක්. ඒ වගේම තිර රචකයෙක්. විශේෂයෙන්ම ඔහු වේදිකාවේ ආධිපත්‍යය දැරූ නළුවන් පස් දෙනාගෙන් කෙනෙකු ලෙස විචාරක පැසසුමට පවා ලක් වී තිබෙනවා. 2007 දී ප්‍රසන්න ජයකොඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද “සංඛාරා” සමඟ සිනමා ජීවිතය ආරම්භ කළ තුමිඳු, පසුගිය වසරේදී “නිදහසේ පියා ඩී එස්” චිත්‍රපටයේ දී ඩී.එස්. සේනානායකයන්ගේ තරුණ කාලය ප්‍රධාන චරිතයක් ලෙස රඟදැක්වූවා. විශේෂයෙන්ම පුංචි තිරයේ විකාශය වූ “කූඹියෝ” හි දැක්වූ විශිෂ්ට රංගනය නිසා ඔහු අතිශය ජනාදරයට පත් වුණ අතර 2017 වසරේ ජනප්‍රියම නළුවා බවටත් පත් වුණා. ඔහුගේ ආදරණීය බිරිඳ කළණි දොඩන්තැන්න මේ වසරේදී තිරගත වුණු ” තාල” චිත්‍රපටියෙන් සිනමාවට අවතීර්ණ වුණා. ඒ වගේම ඇය වසරේ නැගී එන නිළිය ලෙසත් පසුගිය දා සුමති සම්මානයෙන් පිදුම් ලැබුවා. ඔවුන් දෙදෙනා 2014 දී විවාහ වුණු අතර අද වෙද්දි පුංචි පුතෙක්ගේ ආදරණීය මා පිය යුවළක්.

තිනෙති නානායක්කා​ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *