දේශපාලනයෙන් බැසගිය තරු (දෙවෙනි කොටස)

අපි මේ ලිපියේ මුල් කොටස ලිව්වේ පසුගිය මාසයේදීයි. ඒ ලිපියට ඔබෙන් ලැබිලා තිබ්බ ප්‍රතිචාර එක්ක ඉක්මනින්ම දෙවැනි කොටසකුත් අපි ලියන්න හිතුවා.

දේශපාලනයෙන් බැසගිය තරු

 

 

1. ජේ. ආර්. පී සූරියප්පෙරුම 

දීර්ඝ කාලීන දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන ජේ.ආර්. පී සූරියප්පෙරුමව රටම හඳුනා ගත්තේ දොරමඬලාව වැඩසටහන තුළින්. නමුත් ඊට කලින් ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයෙක් විදිහට සහ විවිධ අවස්ථාවල ආන්දෝලනාත්මක දේශපාලන තීරණ ගත් පුද්ගලයෙකු විදිහට රටේ ජනප්‍රිය වෙලා හිටියා. නමුත්  ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබුනේ 2010 වසරේදි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම නිසයි. 2015 වසරේදී මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඔහු පිළිබඳව වැඩි යමක් ඇසුණේ නැහැ.

 

2. මාලනී ෆොන්සේකා

සිංහල සිනමාවේ නිළි රැජින වන මාලනී ෆොන්සේකා හටත් 2010 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීමට අවස්ථාව ලැබුණා. නමුත් ඇය එම කාලසීමාව තුළ සිංහල සිනමාවේ දියුණුවට කළේ කුමක්ද යන්න අදටත් නොවිසඳුණු ගැටළුවක්. කෙසේ නමුත් සූරියප්පෙරුම සේම 2015 දී මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසුව ඇය දේශපාලන ක්ෂේත්‍රය තුළ සක්‍රීය වුණේ නැහැ.

 

3. නිර්මල කොතලාවල 

ඔහු පිළිබඳව පක්ෂ විපක්ෂ සියළුදෙනාම තුළ තිබුණේ යහපත් ආකල්පයක්. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ඔහු මහින්ද රාජපක්ෂ මහතාට ඉතා සමීපව කටයුතු කළ අයෙක්. රාජපක්ෂගේ පරාජයෙන් පසුව වුවත් ඔහුව අත්නොහැර මහින්ද සුළඟ වැනි ව්‍යාපාර බිහි කිරීමට නිර්මල විශාල දායකත්වයක් ලබා දුන්නා. නමුත් සියළු දෙනාම පුදුමයට පත් කරමින් 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඔහු නාම යෝජනා දීමෙන් වැළකී සිටියා. ඉන් පසුව විටින් විට සමාජ මාධ්‍ය ජාලා හරහා සිය හඬ අවදි කළත් සක්‍රීය දේශපාලනයේ ඔහු  දැනට යෙදෙන්නේ නෑ.

 

4. ජෝෂෆ් මයිකල් පෙරේරා

ලංකාවේ හිටපු කතානායකවරයෙකු වන ජෝෂෆ් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ බල කණුවක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා. ඉන්පසුවත් මැතිවරණ සඳහා ඉදිරිපත් වුවත් ඔහුට උරුම වූයේ පරාජයයි. කාලයක් තමන්ගේම පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් සමගද ඔහු ගැටුම් ඇති කරගෙන තිබුණා.

 

 

5. කරුණාසේන කොඩිතුවක්කු

 

කාලයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට කටයුතු කරපු කරුණාසේන කොඩිතුවක්කුගේ  දේශපාලන ආගමනය බොහෝ දෙනෙක් දැක්කේ මෙම ක්ෂේත්‍රය තුළ පවතින උගතුන්ගේ හිඟයට හොඳ පිළිතුරක් විදිහටයි. 2001 වර්ෂයේ පැවති මහමැතිවරණයෙන් ජයගත් ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට පත්වීම් ලැබුවා. ඔහු ගත් ඇතැම් තීරණ ජනතාවගේ දැඩි විරෝධයට සහ විවේචනයට ලක් වුණා. එහි ප්‍රතිඵලය වුණේ ඊළඟ ඡන්දයෙන් ඔහු පරාජය වීමයි. ඉන් අනතුරුව ඔහු තානාපතිවරයෙක් විදිහට කටයුතු කළත් දේශපාලන ලෝකය තුළ සක්‍රීය වුණේ නැහැ.

 

6. උඩුවේ ධම්මාලෝක හිමි

ජාතික හෙළ උරුමය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ පාර්ලිමේන්තුවේ සභාවාරයක මුලසුන ගත් පළමු භික්ෂූන්වහන්සේ විදිහට  වාර්තාවක් පිහිටවනු ලැබුවා. කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය තුළ උන්වහන්සේගේ ක්‍රියා කලාපය පක්ෂය තුළින්ම විවේචනයට ලක්වූ අතර මහින්ද රාජපක්ෂ පළමු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමය වන විට එම ගැටුම් දුරදිග ගොස් තිබුණා. ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කරද්දී උඩුවේ ධම්මාලෝක හිමියන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණයෙන් පසුව යළිත් ඔහුට සමීප වූ උන්වහන්සේ, දිගටම ඔහුට සහයෝගය දැක්වූවා. නමුත් සක්‍රීය දේශපාලනයෙන් නම් උන්වහන්සේ සමුගත්තා.

 

 

7. කොළොන්නාවේ සුමංගල හිමි

ජාතික හෙළ උරුමය නියෝජනය කළ තවත් භික්ෂූන්වහන්සේ නමක් වන කොළොන්නාවේ සුමංගල හිමියන් ඒ වන විටත් ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටියේ විචිත්‍ර ධර්මකථික ස්වාමීන්වහන්සේ නමක් විදිහටයි. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමත් සමඟ උන්වහන්සේට විවිධ ශාරීරික හිංසන වලට පවා මුහුණ දීමට සිදුවුණා. අවසානයේදී ජාතික හෙළ උරුමයේ අභ්‍යන්තර මතගැටුමක් මත උන්වහන්සේ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා. මේ වන විට අමරපුර සිරි සුමන නිකායේ මහා නායක පදවිය දරන උන්වහන්සේ දේශපාලන ලෝකය තුළ සක්‍රීය නැහැ.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ලිපිය ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *