ස්වයං විනාශකාරී යකඩ මිනිසා – මයික් ටයිසන්

ලෝක බොක්සිං ඉතිහාසය ගැන කතා කරද්දී ශ්‍රේෂ්ඨ මොහොමඩ් අලී හා සමානවම කියවෙන තවත් නමක් තියනවා නම් ​ඒ තමයි මයික් ටයිසන්. මයික් ටයිසන්ගේ ජීවිතය දිහා හැරිල බලද්දී ඔහු​ගේ ලොකුම ප්‍රතිවාදියා වුණේ මයික් ටයිසන්මයි කිවුවොත් එය වැරදි නැති වෙයි. මයික්ගේ වටේ හිටපු උදවියට විතරක් නෙමයි, ඔහුටවත් තමන් තෝරාගන්නා විනාශයේ මාර්ගය සහ තමන්ව හරි හැටි තේරුම් ගන්න බැරිවුණා කියලයි අපිට හිතෙන්නේ. එහෙම නොවුණානම් ඔහු සමහරවිට ලෝක බොක්සිං ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතමයා විදිහටත් මේ වෙද්දි සැලකෙන්න ඉඩ තිබුණා. වර්තමානය වෙද්දී අපි දකින්නේ එදා දැකපු නාහෙට නාහන දඩබ්බර මයික් ටයිසන්ව නෙමෙයි, පරිණත, නිවුණු ටයිසන් කෙනෙක්වයි අපිට අද පේන්නේ. ඉතින් අපි අද හිතුවා ඔහුගේ ජීවිතය ගැන සුවිශේෂී තොරතුරු සහිත ලිපි පෙළක් ඔබට ගෙන එන්න…

01. කණ්ණාඩි දාපු මහත කොළු පැටියා

නිව්යෝර්ක් හි බෘක්ලින් හි බ්‍රවුන්ස්විල්වල උ​පත ලබන මයික් ටයිසන් තමන්ගේ කුඩා අවධිය ගත කරන්නේ ප්‍රචණ්ඩත්වය, අශිෂ්ටත්වය සහ අවිනීතිය පිරුණු පරිසරයකයි. බිළිඳු අවධියේම පියා ඔහුව සහ මවව අතහැර යෑමෙන් පසු​ව මව සමග හැදී වැඩුණු ටයිසන් කුඩා කාලේ ඇස් කණ්ණාඩි දාපු මහත දුර්වල, කුලෑටි කොළුවෙක් වුණා. ඔහුගේ මේ බාහිර පෙනුම නිසා පාසලේදී වගේම අවට සමාජයේදිත් මයික්ව උසුළු විසුළුවට, හිරිහැරයට ලක්වුණා. පාසැල් කාලයේදී දිනක් එක මැරෑටි ළමයෙක් තමන්ට පහර දී තමන්ගේ කෑම වේල පවා උදුරා ගන්න උත්සාහ ගත් බවත්, ​ඒ සිදුවීම සම්බන්ධව පසු කාලයකදී පවා තමන්ට ලැජ්ජා සිතුණු බවත් කීප වතාවක් මයික් ටයිසන් පවසා තිබුණා. ඒ අමිහිරි සිදුවීමෙන් පසුව මයික් ටයිසන් තමන්ගේ පාසල් ගමනටත් තිත තබනවා.

 

02. සාම​යේ පරවියන්ගෙන් ප්‍රචණ්ඩත්වයේ මාවත​ට

තාඩන පීඩනවලින් පිරුණු දුක්බර ළමා කාලයේ මයික් ටයිසන්ට තිබුණු ලොකුම සැනසීම තමයි පරවියන් ඇතිකර​න එක. තමන්ට හිරිහැර කරන, උසුළු විසුළු කරන සමාජයෙන් ඈත්වෙලා පරවියන් එක්ක පුළුවන් තරම් කාලය ගත කරන්න ටයිසන් ප්‍රිය කළා. ඔහු සතුව සුරතල් පරවියන් රැසක්ම හිටියා. කොහොම නමුත් දෛවෝපගතව ටයිසන් තෝරාගත් ප්‍රචණ්ඩ සටන්කාමී මාර්ගයට ඔහුට මග විවර කරන්නෙත් මේ අහිංසක පරවි ප්‍රේමයම තමයි. දවසක් ටයිසන්ට තාඩන පීඩන එල්ල කරන අහල පහල තවත් කොළුවෙක් ටයිසන්ගේ පරවියෙක්ව අල්ලගෙන උගේ බෙල්ල ගලවා මරා දමනවා. ඒ සිදුවීම දැකීමෙන් ඇති වෙච්ච වේදනාවත් කේන්තියත් නිසා ටයිසන් ඒ අසමජ්ජාති අසල්වැසියාට පහරක් ගහනවා. ඒ තමයි ටයිසන්ව ප්‍රචණ්ඩකාරීත්වයට ඇද දමපු පළමු මුෂ්ටි පහර. ඉන් පස්සේ කාලෙදි අතිශය ප්‍රචණ්ඩ චරිතයක් බවට පත්වෙන ටයිසන් කුඩා කාලෙදී තමන්ව අඩන්තේට්ටමට ලක් කළ සියල්ලන්ගෙන්ම වගේ එළව එළවා පළි ගත්ත බව කියනවා.

 

03. ළමා මැරයා

සියල්ලන්ගේම උසුළු විසුළුවට ලක්වුණු මයික් ටයිසන් නම් අහිංසක කොළු ගැටයා ඉතාම කෙටි කාලයකින් සොරකම්, මැරකම් ආදී සමාජ විරෝධී ක්‍රියාවලට ලැදි බවක් දක්වන තැනැත්තෙක් බවට පත්වෙනවා. ටයිසන් ඇතුළු පිරිස ජීවත් වුණු සමාජ පද්ධතියේ දුගී දුප්පත් බවත් පොදු සාධකයක් වෙලා තිබුණා. ඒ නිසාම සොරකම්, මංකොල්ලකෑම් ආදිය එදිනෙදා සාමාන්‍ය සිදුවීම් හැටියටයි සැලකුණේ. වයස අවුරුදු 10ක් 12ක් විතර වෙද්දී ටයිසන් ඇතුළු කොළු ගැටයින් එකතු වෙලා සිඟිති පාතාල කල්ලියකුත් නිර්මාණය කරගන්න සමත් වෙලා හිටියා. සොරකම්, මංකොල්ලකෑම් විතරක් නෙමෙයි, ආයුධ අරගෙන එකිනෙකා එක්ක සටන් කරන තරම් මේ කල්ලි ප්‍රචණ්ඩකාරී ඒවා වුණා. ටයිසන්ගේ තවත් ප්‍රියතම සොරකමක් වෙලා තිබ්බේ වයසක කාන්තාවන්ට නිවසට බඩු මල්ල රැගෙන යන්න උදවු කරන්න ඉදිරිපත් වී, පාළු පෙදෙස්වලදී ඔවුන්ට පහර දී මුදල් සහ වටිනා දේවල් කොල්ල කෑමයි.

 

04. ජීවිතය වෙනස් කළ කස් ඩි අමාටෝ හමුව

ළමා කාලයේ පටන්ම නීති විරෝධී ක්‍රියාවනුත්, පොලිසියත්, මත් ද්‍රව්‍යත් සමග නිතර ගැටුණු ජීවිතයක් ගෙවුව ටයිසන්​ව පසු කාලයකදී ළමා රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කෙරෙනවා. එහි බොක්සිං පුහුණුකරුවෙක් වුණු බොබී ස්ටුවර්ට්ගේ අවධානය දිනාගෙන බොක්සිං පුහුණුවට එකතු වෙන්න ටයිසන් සමත් වෙනවා. කුඩා කාලයේ පටන් වීදි සටන්වලට සහභාගි වෙලා පදම් වුණු චරිතයක් වුණු ටයිසන් ඉක්මනින්ම බොබී ස්ටුවර්ට්ගේ පුහුණුවෙන් උපරිම ඵල නෙලා ගන්නවා. තව දුරටත් මේ ගෝලයාව පුහුණු කරන්නට තරම් ශක්තියක් සහ පරාසයක් තමන්ට නැති බව වටහාගන්නා බොබී, ටයිසන්ව අරගෙන යනවා එක් සුවිශේෂී පුද්ගලයෙක් ගාවට. ​ඒ තමයි පසු කාලෙකදී ටයිසන්ට පියෙක් තරමට සමීප වෙලා, ඔහුගේ අයාලේ ගිය ප්‍රචණ්ඩකාරී ජීවිතේට හැඩයක්, පාලනයක් දෙන්න සමත් වෙන කස් ඩි අමාටෝ.

ටයිසන්ගේ සටන් විලාශය දිහා මද වෙලාවක් බලන් ඉන්න කස් ඩි අමාටෝ හැමෝම පුදුම කරවන අනාවැකියක් කියනවා. ​ඒ තමයි නිසි පරිදි පුහුණු කටයුතු සිද්ධ කළොත් ටයිසන් කවදා හරි බොක්සිං ලෝකයේ ලාබාලම හෙවිවේට් ශූරයා වේවිය කියන එක. පස්සෙ කාලෙකදි කස් ඩි අමාටෝගේ මේ අනාවැකිය සත්‍යයක් බවට පත් වෙනවා. ඒත් ​ඒ බව සියැසින් දැකගන්න කස් ඩි අමාටෝට හැකි වෙන්නෙ නැහැ. මොකද ටයිසන් ලෝක ශූරයා වෙන්න මද කාලයකට කලින් කස් මෙළොව හැර යන නිසා.

 

05. ලාබාලම හෙවිවේට් ශූරයා

කස් ඩි අමාටෝගේ මග පෙන්වීම යටතේ තමන්ගේ වෘත්තීයමය බොක්සිං ජීවිතය ආරම්භ කරන මයික් ටයිසන්, පළමු අවුරුද්ද ඇතුළතදීම අපරාජිතව තරඟ 20ක් නිම කරන්න සමත් වෙනවා. මේ හැම එකක්ම පාහේ ප්‍රතිවාදියාව බිම හෙලමින් වාර්තා කරපු නොකවුට්/ටෙක්නිකල් නොකවුට් ජයග්‍රහණ වුණ අතර, ඒ ජයග්‍රහණ අතරිනුත් බහුතරයක් පළමු වටය තුළදීම ලබාගත්ත ඒවා වුණා. කල් යල් බලා නිවැරදි ඉලක්කයට ප්‍රතිවාදියා වෙත එල්ල කරන ප්‍රබල පහ​රවලින් යුතුව, ආක්‍රමණශීලී සටන්කාමීත්වයක් පෙන්නුම් කරපු ටයිසන් තාක්ෂණික වශයෙනුත් ඉහළ තලයක හිටපු ක්‍රීඩකයෙක්. එක පහරකින් තරඟයක් නිම කරන්න පුළුවන් මේ ශක්තිවන්තයා ගැන ක්‍රම ක්‍රමයෙන් බොක්සිං ලෝකය තුළ කතා බහක් ඇති වෙන්න පටන් ගන්නවා. ටයිසන්ගේ බිහිසුණු ශක්තිය නිසා බොහොමයක් දෙනා ඔහුව “වන මෘගයෙක්” හැටියටයි නම් කළේ. වයස අවුරුදු 20දී ටයිසන්ට තමන්ගේ පළමු හෙවිවේට් ශූරතා තරඟය සඳහා අවස්ථාව උදා වෙනවා. ට්‍රෙවර් බර්බික්ට එරෙහිව පැවැත්වුණු මේ තරඟයට එද්දී ටයිසන් තරඟ 27ක් අපරාජිතවයි පසු වෙන්නේ. මේ තරඟයේ 2 වැනි වටයේදීම බර්බික්ව නොකවුට් කරමින්, වයස 20 දී ලෝක හෙවිවේට් ශූරයා බවට පත්වෙන්න ටයිසන්ට හැකි වෙනවා.

 

06. නොනවතින යකඩයා

ටයිසන් අවුරුදු 20 දී දිනාගන්නා ලෝක හෙවිවේට් ශුරතාවය හඳුන්වනු ලබන්නේ ලෝක බොක්සිං කවුන්සිල ශුරතාවය (WBC – World Boxing Council) නමිනුයි. ඒ වෙද්දී බොක්සිං ලෝකය ඇතුළේ ප්‍රධාන හෙවිවේට් ශූරතා කිරුළු 3ක් පැවතුණා. ටයිසන් දිනාගෙන හිටපු WBC ශූරතාවයට අමතරව WBA (World Boxing Association) සහ IBF (International Boxing Federation) නමින් ​තවත් හෙවිවේට් කිරුළු 2ක් වෙනත් බොක්සිං ශූරයන් විසින් දරණු ලැබුවා. මේ ශූරයන් අතර තරඟාවලියක් පවත්වලා බොක්සිං ලෝකයේ අවිවාදිත ශූරයා ​තේරීම සඳහා ලෝක බොක්සිං තරඟාවලියක් 1986 දී පටන් ගන්නවා. මේ තරඟාවලියේදී WBA බොක්සිං ශූරයා වුණු ජේම්ස් ස්මිත්ව සහ IBF ලෝක ශූරයා වුණු ටෝනි ටකර්ව පරාජය කරමින් ප්‍රථම වරට බොක්සිං ලෝකයේ ප්‍රධානම ශූරතාවයන් තුනම එකවර ලබාගත් ප්‍රථම ක්‍රීඩකයා වෙන්න මයික් ටයිසන් 1987 දී සමත් වෙනවා.

 

07. විනාශයේ ආරම්භය

මයික් ටයිසන්ගේ වෘත්තීයමය බොක්සිං ජීවිතයේ විනාශ​ය පටන් ගත්​තේ බස්ටර් ඩග්ලස් සමග පවත්වපු, ලෝකයම විශ්මයට පත් කරපු තරඟයේදි කියලයි ගොඩක් දෙනෙක් සඳහන් කරන්නේ. ඒත් ඒ කතාව අර්ධ සත්‍යයක්. බස්ටර් ඩග්ලස් එක්ක ඒ තීරණාත්මක සටනට යන්න කලින් පටන් මයික් ටයිසන්ගේ බොක්සිං ජීවිතයේ ඉරි තැලීම් පටන් අරගෙනයි තිබුණේ. ටයිසන්ගේ යකඩ බොක්සිං ජීවිතයට වැදුණු පළමු දරුණු පහර තමයි තමන්ගේ පියා සම වූ කස් ඩි අමාටෝගේ නික්ම යාම. ඒත් කස් ගෙන් පස්සේ ටයිසන්ව භාර වුණේ තවත් දක්ෂ පුහුණුකරුවෙක් වුණු කෙවින් රූනි යටතට. ගොඩක් දෙනෙක් ටයිසන්ව අත පය විසිකරන ගුස්ති කාරයෙක් හැටියට සැලකුවත්, ඊට යටින් දක්ෂ ආරක්ෂිත ක්‍රමවේදයක් (Peek a boo style නමින් ​හඳුන්වන) සහිත තාක්ෂණික බොක්සිං සටන් විලාසයක් ටයිසන් සතු වුණා. ඒ පුහුණුව ටයිසන්ට ලැබුණේ කස් ඩි අමාටෝ සහ රූනි ඇතුළු ඔහුගේ මුල් කාලයේ පුහුණු කණ්ඩායමෙන්. ක්‍රම ක්‍රමයෙන් ටයිසන් අපරාජිතව ලෝක බොක්සිං හොල්ලද්දී, ඒත් එක්කම සල්ලි ගසුත් හෙල්ලෙන්න පටන් ගන්නවා. කුප්‍රකට බොක්සිං කළමනාකරුවෙක් වෙන “ඩොන් කින්ග්” ටයිසන්ගේ ජීවිතයට ළං වෙන්නේ ඔය කාලෙදියි. ඔහු කස් ඩි අමාටෝ හරහා ටයිසන්ට ළං වී හිටපු කෙවින් රූනි ඇතුළු දක්ෂ පුහුණුකරුවන්ව ඉවත් කරලා තමන්ගේ පිරිසක් ළං කරගන්න ටයිසන්ව සූක්ෂම අන්දමින් පොළඹවනවා.

1988 දී මයිකල් ස්පින්ක්ස්ට එරෙහිව පැවති සටන ටයිසන්ගේ බොක්සිං දිවියේ උච්චතම ලක්ෂය කියලා බොහෝ විචාරකයින් සලකනවා. ටයිසන්ගේ ආක්‍රමණශීලී සටන් විලාසයට ප්‍රබල තර්ජනයක් එල්ල කළ හැකි සටන් කරුවෙක්ය කියලා වැඩි දෙනෙක් හඳුන්වපු මයිකල් ස්පින්ක්ස් එක්කයි ඒ තරඟය පැවැත්වෙන්නේ. ඒ තරඟයේදී තත්පර 91 කින් ස්පින්ක්ස්ව නොකවුට් කරමින් ජය ගන්න ටයිසන් සමත් වෙනවා.

වයස අවුරුදු 16 දී කණිෂ්ඨ බොක්සිං ක්‍රීඩකයෙක්ව සිටි අවධියේ පටන් තමන්ගේ වැටීම් නැගිටීම් නිරීක්ෂණය කරමින් සෙවනැල්ලක් සේ තමන්ට ශක්තිය, ධෛර්යය දෙමින් උපාය මාර්ග උගන්වපු කෙවින් රූනිට ඒ තරඟයෙන් පස්සේ ටයිසන් සමු දෙනවා.

ඒ වෙද්දී ටයිසන් තරඟ 35ක් අපරාජිතව ලෝක බොක්සිං වළල්ලේ ඉහළම තලයේ වැජඹෙමින් සිටින්නේ…

නමුත් ඉදිරියේදී තමා කරා හඹා එන අන්ධකාරය ගැන ඔහු ඒ වන විට දැන සිටියේද යන්න සැකයක්…

මයික් ටයිසන්ගේ බොක්සිං ජීවිතයේ මීළඟ ​කොටස අපි ඉදිරි සතියකදී ඔබ වෙත ගෙන එනවා. ටයිසන්ගේ බොක්සිං ජීවිතය වෙනස් කළ බස්ටර් ඩග්ලස් හා සටන, හොලිෆීල්ඩ්ගේ කණ සපා කෑ ආන්දෝලනාත්මක තරඟය ඇතුළු තවත් විස්තර රැසක් ඒ ලිපියෙන් ඔබට කියවන්න පුළුවන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *