මිනිස්සු විදියට අපි කැලෙන් එලියට ඇවිත් ජනාවාස වල පදිංචි වෙද්දි බල්ලොත් අපි විසික් කරන කටු කකා අපේ පස්සෙන් ආවා. දැන් බල්ලෝ මනුෂ්‍ය වාසයක දකින්න තියෙන සුලභ සුරතල් සතෙක්, සහායකයෙක් වෙලා ඉවරයි. මේ බල්ලන්ගේ ලිංගික ජීවිතය සහ උන්ව වඳ කරන හැටි ගැන ටිකක් දැන කියාගෙන ඉන්න එක බල්ලො ඇතිකරන අයට වගේම බල්ලන්ගෙන් කරදර තියෙන අයටත් ගොඩක් වැදගත් වෙනවා. බැල්ලියෙක් නිතර පැටවු දාන්න අපේ ගෙවල් අස්සේ රිංගනවා නම් ඒ සතාව නිතරෝම ගහලා එලවනවාට වඩා පශු වෛද්‍යවරයෙක් ලඟට ගිහින් සතාව ඊළඟ වතාවේ වත් වඳ කරන්න පුළුවන් නම් අපිටත් සතාටත් බොහොම අස්වැසිල්ලක් වෙනවා.
1. බල්ලො සෙක්ස් කරද්දි පූට්ටු වෙන්නේ ඇයි?
බල්ලෝ ලිංගික ක්‍රියා කරද්දි එකට ඇලිලා තියෙනවා ලංකාවේ මහාමාර්ග වලදි පවා දකින්න ලැබෙන දර්ශනයක්. අනෙක් සතුන් ලිංගික ක්රියාවේ නිරත වෙද්දි මේ විදියට ලොක්වෙලා ඇලිලා තියෙන්නේ නැහැ. ඒත් බල්ලොන්ගේ ස්වභාවිකවම ලිංගික ක්රියාවේ අතරමැදදී බලු පුරුෂ ලිංගය බැල්ලියගේ යෝනිය තුළ සිරවෙන ලෙස නිර්මාණය වෙලා තියෙනවා. මනුෂ්‍ය ලිංගයක් යෝනියකට ඇතුලු කරන්නට නම් ප්‍රාණවත් වීම අත්‍යාවශ්‍යයි. ඒත් බල්ලන්ට එහෙම ගැටලුවක් නැහැ. බල්ලන්ගේ ශිෂ්ණයේ මැද අස්ථියක් තියෙනවා. ඒ අස්ථිය නිසා බල්ලාට පහසුවෙන්ම යෝනියට ශිෂ්ණය ඇතුල් කරන්න පුළුවන්. ඇතුල් වුනාට පස්සේ ශිෂ්ණය යෝනිය තුලදී බැලුමක් පරිදි පිම්බීමකට ලක් වෙනවා. එයින් බැල්ලගේ යෝනිය තෙරපී විනාඩි 5 සිට 40 දක්වා වූ කාලයක් බල්ලා සහ බැල්ලිය ලිංගික අවයව වලින් ඇලී තියෙනවා. මෙය කිසිසේත්ම එක එක බල්ලාගේ විශේෂ වූ ලක්ෂණයක් හෝ රෝගයක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන කිසිසේත්ම කලබල විය යුතු නැහැ.
2. ලිංගික ක්රියාවේ යෙදෙන බල්ලන් ගැලවීමේ විපාක
බල්ලන් ඇලී තිබෙන විට නොදැනුවත්කම නිසා හෝ විනෝදය නිසා ඇලී සිටින බල්ලන්ට වතුර ගහන, පොලු වලින් ගහන අය තාමත් අපේ ගම් වල, නගරවල ඉන්නවා. ඇතුලතින් ලොක් වී තිබෙන මේ ලිංග දෙකට පොලු පහර දුන්විට එවෙලේ පිම්බී තිබෙන ලිංගය යෝනිය ඉරාගෙන එලියට එනවා. එයින් බැල්ලගේ යෝනි පෙදෙස ඉරී යෑමෙන් ඌට දැඩි වේදනා සහිත තුවාල වලට මූණ දෙන්නට සිදු වෙනවා. ඒ වගේම කාර්යය අවසාන වීමට ප්‍රථම කරන බාධා කිරීම නිසා බල්ලාටත් තමුන්ගේ ලිංගයේ දෝෂ ඇතිවන්නට මේ තත්ත්වයන් හේතු වෙනවා. ඒ නිසා බල්ලන් ලිංගිකව හැසිරෙන විට එය මැජික් එකක් කර නොගෙන, ඒ ගැන අනවශ්‍ය අනුකම්පා නොදක්වා නොදැක්කා සේ යෑම නුවණැති ක්‍රියාවක් වෙනවා.
3. බල්ලෝ වඳ කිරීම
බල්ලෝ කියන්නේ බොහොම වේගයෙන් පැටවු දාන ජාතියක්. මුලු මහත් ගම්මානයක සිටින සියලුම බැල්ලියන් වඳ කරද්දි බැල්ලන් දෙන්නෙක් වඳ කරගන්න බැරිව ඉතිරි වුනත් අවුරුදු දෙකකින් පමණ විශාල බලු ගහනයක් ඒ මගින් ඇතිවෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා බල්ලෝ වඳ කිරීම පළාත් පාලන අංශ මූණ දෙන ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ජල භීතිකාව පැතිරීම, බල්ලන් නිසා රිය අනතුරු සිදුවීම, විදේශිකයින් සහ ප්‍රදේශවාසීන්ට බල්ලන්ගෙන් අනතුරු වීම නිසා අයාලේ යන බල්ලන් ගැන පළාත් පාලන ආයතන වලට නිතර පැමිණිලි ලැබෙනවා. ඒත් නීතිමය තත්ත්වය මත දැන් ඉස්සර වගේ බල්ලන්ව මරණයට පත් කරන්නට බැහැ. ඒ නිසා වඩාත් සුලබ ලෙස බල්ලන් වන්ධ්‍යාකරණ සැත්කම් සිදුවෙන අතර එන්නත් ක්රමයක්ද ක්‍රියාත්මක වෙනවා.
4. බලු වඳ එන්නත
බලු ගහනය පාලනය කිරීමට කලකට පෙර රජය මගින්ම එන්නතක් හඳුන්වා දුන්නා. මේ එන්නත පශු වෛද්‍ය සුදුසුකම් නොලත් අයවලුන්ද ගෙවල් වලට ඇවිත් බැල්ලියන්ට එන්නත් කරන්නට වුනා. මේ එන්නත නිසා පසුකාලීනව බැල්ලන්ට ගැටලු රැසකට මුහුණපාන්න වෙනවා. එන්නත විදින අවස්ථාවේ බැල්ල ලිංගිකමය සක්‍රිය අවස්ථාවේ හෝ ගැබ්බරව හිටියොත් එය ලොකු ප්‍රශ්නයක් වෙනවා. ගැබ්බරව හිටියොත් ඒ අභ්‍යන්තරයේ සිටින පැටවුන් මේ එන්නත නිසා මියයනවා. එසේම මාස හයකට වතාවක් විදින්නට නියම වූ එන්නත තුන්වතාවක් විතර විදිනකොට අනිවාර්යයෙන්ම පෙර සඳහන් කළ Pyometra ආසාදන තත්ත්වයන් එනවා. එන්නත නිසා බැල්ලගේ ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ඉදිමිලා අධික ලෙස ශ්‍රාවයන් පිට කරනවා. ඉන් පස්සේ මේ ශ්‍රාවයන් ආසාදනය වෙලා ගර්භාෂය තුල සැරව පිරීම මේ එන්නත් විද්දට පස්සේ සිදු වෙනවා. මෙය මේ එන්නත සමග ලංකාවේ පශු වෛද්‍යවරුන්ට වාර්තා වූ සුලබ බලු රෝගී තත්ත්වයක් ද වුනා.
5. බලු වඳ සැත්කම
සුදුසුකම් අඩු පුද්ගලයින් විශාල වශයෙන් බැල්ලියන් වඳ කිරීම් ලංකාව පුරා වාර්තා වෙලා තියෙනවා. විනාඩි ගණනක සුළු ශල්‍යකර්මයක් වුනත් මේ බල්ලන් වඳ කිරීමේදී බලු ගැහැණු සතාගේ ගර්භාෂය හා ඩිම්බ කෝෂ ඉවත් කිරීමට සිදු වෙනවා. සැත්කමක් සිදුකිරිමේදී තිබිය යුතු පිරිසිදු කම, යොදාගන්නා උපකරණ අත්වැසුම් පිරිසිදු වීම අත්‍යාවශ්‍ය සාධක වෙනවා. එසේම මැහුම් දැමීම වගේම සතා සිහිය එනතෙක් හොඳින් බලාගන්නත් ඕනි. පසුව මැහුම් ටික නිවැරදිව වේලෙන තෙක් සතාව හොඳින් බලාගැනීමත් මේ සැත්කමෙන් පස්සේ කළ යුතු වෙනවා. මේ සාධක එක්ක සලකා බලද්දි ගෙදර ඉන්න සුරතල් සතා සුදුසුකම් ලත් පශු වෛද්‍යවරයෙක් ලවාම වඳ කරගන්න පුළුවන් නම් ඒක සතාටත් අපිටත් ලොකු සහනයක් වෙනවා.
6. අයාලේ යෑමෙන් වැළඳෙන පිළිකාව
අයාලේ යන බල්ලන් මගින් බෝවෙන පිළිකාවක් බල්ලෝ අතර තියෙනවා. ලංකාවේ බල්ලෝ බැල්ලියෝ අතරත් මේ පිළිකාව ටිකක් සුලභයි. ටී වී ටී TVT (Transmissible Venereal Tumor) ලෙස හඳුන්වන මේ පිළිකා තත්ත්වය බල්ලන්ගේ ලිංගික පද්ධතිය ආශ්‍රිතව වේගයෙන් පැතිරෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වන මේ රෝගය බල්ලන් අයාලේ යෑම මගින් වැඩි වශයෙන් බෝවීමට ඉඩ කඩ තියෙනවා.
7. බල්ලන් කරදරයක් නොවීමට නම්
දියුණු රටවල බල්ලෙක් ඇතිකරනවා කියන්නේ ලයිසන් ඉන්ෂුවරන්ස් තියාගෙන වාහනයක් පාවිච්චි කරනවා වගේ ක්‍රමානුකූලව එන්නත්, බේත් හේත්, සෞඛ්‍යය සහතික තියාගෙන කරන්න ඕනි කාර්යයක්. ලංකාවෙත් මහ නගරසභා ආඥාපනතේ බල්ලෙක් ඇතිකරන්නේ නම් පළාත් පාලන ආයතනයෙන් අවසරය ගත යුතු බව දැක්වෙනවා. ඒත් ප්‍රායෝගිකව එය සිදුවන්නේ නැහැ. සුනඛයින් නිසි පරිදි ලියාපදිංචි කරලා වඳ සැත්කම් ආදිය කලට වේලාවට සිදු වෙනවා නම් අපේ රටේ බලු ගහනය පාලනය කිරීම ගොඩක් අමාරු වෙන්නෙ නැහැ. අයාලේ යන බල්ලන් වැඩිවීම රිය අනතුරු වැඩිවෙන්නට හේතු වෙනවා. ගොඩක් විදෙස් සංචාරකයින් අයාලේ යන සුනඛයින්ට, සුනඛයින්ගේ බිරුම් වලට දැඩි ලෙස අකමැත්තක් දක්වනවා. ඒ නිසා අයාලේ යන බල්ලන් සංචාරක කර්මාන්තයටත් නරකට බලපාන්නට ඉඩ කඩ තියෙනවා.
ඒ තත්ත්වයන් එක්ක බල්ලන් ඇතිකිරීම විධිමත් කිරීමට ලියාපදිංචි සහ නිසි ක්‍රමවත් බලු වන්ධ්‍යාකරණ ක්‍රමවේදයක් ඇතිකිරීම පාලකයින්ගේ වගකීමක් වෙනවා. ඒ වගේම අපේ ගෙදර ඉන්න බල්ලා පාරේ දඩාවතේ යන්න නොදී අපේ වත්ත සීමාවේම ඇතිකරන එකත් අපේ වගකීමක් වෙනවා. අනෙක් අතින් බැල්ලියක් ඇතිකරනවා නම් පැටවු ගැන අකමැත්තකුත් තියෙනවා නම් නිසි කාලයෙදී වඳ සැත්කම් කරලා දීලා ඒ සතාටත් අපිටත් කරදරයක් නොවන විදියට සතාගේ ලිංගික ජීවිතය සැලසුම් කර දීම අපේ යුතුකමක් වෙනවා.
Leave a Reply