ඔෆිස් එකේ හෝ ගෙදර ඔෆිස් රූම් එක මිනිමලිස්ට් ස්ටයිල් එකට නිර්මාණය කරගන්න උපදෙස්…

දැන් මුලින්ම කියන්න වෙනවනේ මිනිමලිස්ට් කියන්නේ මොකද්ද කියලා. ඇත්තටම මිනිමලිස්ම් කියන්නේ පණස් ගණන් වල ආට් වල, ක්‍රාෆ්ටින් වල, එතකොට ඊට පස්සේ මියුසික්, ආකිටෙක්චර්, ඉන්ටීරියර් ඩිසයිනින් වගේ හැම කලාවකටම පැතිරුණු ස්ටයිල් එකක්. මේකෙදී තියෙන්නේ යම් කිසි අවකාශයක අඩු දේවල් ප්‍රමාණයක්, අඩු හැඩගැන්වීම් එක්ක අලංකාරයක් නිර්මාණය කරන එක. නිකමට හිතන්න, ලොකු සුදු බිත්තියක් ඉස්සරහා තනි වේවැල් පුටුවක් විතරක් තියෙන එකේ අමුතුම අලංකාරයක් නැද්ද හා?

 

හැබැයි මේ මිනිමලිස්ම් අපේ ඔෆිස් කාමරය නිර්මාණයට යොදාගන්න එකේ තියෙන්නේ අලංකාරයක් විතරක් නෙවෙයි. අර බඩුමුට්ටු අනං මනං පිරුණු අවුල් ගතිය නැති නිසා, මිනිමලිස්ට් ඔෆිස් රූම් එකක වැඩ රාජකාරි කරන එක හිතටත් හරිම සැහැල්ලුවක්. ඒ වගේම ලේසියෙන් අවුල් වෙන්නෙ නැති නිසා, දේවල් වල පිළිවෙලත් වැඩියි. පහසුවෙන් අස් පරස් කරගන්න, පිරිසිදු කරගන්න එහෙමත් ලේසියි.

 

හරි, දැන් අපි දන්නවානේ මිනිමලිස්ට් ඔෆිස් ඩිසයින් එකක තියෙන වාසි. දැන් බලමු සරලව කොහොමද ඔෆිස් රූම් එක මිනිමලිස්ට් ඩිසයින් එකකට නිර්මාණය කරගන්නේ කියලා.

 

1. සරල ලී බඩු

සරල ලී බඩු කියන්නෙ මොනවද? සරලවම කිවුවොත්, ඉඩ ඉතුරු කරන ලී බඩු ගැන තමයි මේ කියන්නේ. මිනිමලිස්ම් වලදී අවශ්‍ය දෙයක් තමයි යම් කිසි අවකාශයක ඉතාම අවම ප්‍රමාණයකින්, ඉඩ ඉතුරු කරන විදියේ බඩු මුට්ටු තියාගන්න එක. එතකොට හිතාගන්න බැරි විදියට අවකාශය ඉතුරු වෙනවා. අන්න ඒකෙන් තමයි අර මිනිමලිස්ට් ඔෆිස් රූම් එකක තියෙන නිස්කලංක ගතිය එන්නේ.

 

දැන් ඒකට ගැලපෙන්නේ අර දරුණුවට කැටයම් කරපු, බරපතල විදියට නිර්මාණය කරපු ලී බඩු නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, ඉතාම සරල මේසයක් තමයි එන්න ඕන. ඒ මේසේ දිගින් සහ පළලින් විශාල වෙන්න පුළුවන්, තමන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදියට. හැබැයි ඒ මේසේ බොහොම සරල වෙන තරමට හොඳයි. එතකොට ඔය කබඩ් එහෙම වුනත්, වෝල් කබඩ් එහෙම ගන්න එක හොඳයි. ඕන නම් මේසේ එක්කම උඩින් හරි යටින් හරි ස්ටෝරේජ් යුනිට් හයි කරගන්නත් පුළුවන්, වෙනම අමතර ෆයිල් කබඩ් එහෙම ගන්නෙ නැතුව.

 

2. සරලව මේසේ ඇරේන්ජ් කරගමු

අපි වැඩ කරන මේසේ ගත්තහම දැන් ඒක උඩ කොයි තරම් නම් දේවල් තියෙනවද? කම්පියුටරය සහ ඒකට ඈඳලා තියෙන අනං මනං උපාංග සහ ඒවල වයර් තියෙනවා. ලියන කියන පොත් පත් තියෙනවා. ලිපිගොනු, ලියුං අනං මනං තියෙනවා. පෑන් පැන්සල් තියෙනවා. ලිපිද්‍රව්‍ය අනං මනං තියෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් ගත්තහම, හොඳටම පිළිවෙලට ඇරේන්ජ් කරලා තියෙන මේසයක් වුනත් බඩු වලින් පිරිලා තමයි තියෙන්නේ.

 

අපි මිනිමලිස්ට් ක්‍රමේට යන්න මේසේ අස් කරමු. මේසේ උඩට මේස රෙදි අනං මනං නොදා, ටේබල් මැට් එකක් ගමු. දැන් ඒ ටේබල් මැට් එක උඩ වයර්ලස් කීබෝඩ් එක සහ මවුස් එක තියමු. ලොකු මැට් එකක් නම් ලැප්ටොප් එකත් තියන්න පුළුවන්. මේසේ උඩ අමතර මොනිටර් එකකුත් තියෙන්න පුළුවන්. එතකොට ඩෙක්ස්ටොප් කම්පියුටරයක් නම් ඒත් මේසේ උඩ තියෙන්න පුළුවන් මොනිටර් එක විතරයි. CPU එක බිමින් වෙනම තියන්න පුළුවන් විදියට හදාගමු. දැන් මේසේ උඩ පොත් තියෙන්න පුළුවන් අත්‍යාවශ්‍ය සටහන් පොත් විතරයි. ඒ ඇරෙන්න පෑනක් දෙකක් තියෙන්න පුළුවන්. එච්චරයි.

 

3. ලිපි ද්‍රව්‍ය, ලිපිගොනු ඒ ඒ කබඩ් සහ ලාච්චු වල

සාමාන්‍යයෙන් ඔෆිස් එකක නම් ලිපිද්‍රව්‍ය සැහෙන්න ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. කොළ, නෝට්බුක්, නෝට්පෑඩ්, මීම්පෑඩ්, ෆයිල් කවර, ෆයිල් කටු, ස්ටෙප්ලර් කටු, හයිලයිටර් වගේ අනන්ත ලිපිද්‍රව්‍ය ප්‍රමාණයක්, ඒ ඒ ජොබ් එකත් එක්ක කොහොමත් පාවිච්චි වෙනවා. ආන්න ඒවා ඔක්කොම අහුරමු එක ලාච්චුවක. පහළින් විස්තරාත්මකව කියලා තියෙන විදියට, එක විදියේ දේවල් එක ගාවින් අහුරමු.

 

දැන් අත්‍යාවශ්‍ය ලිපිගොනු, ලියුම් කියුම් පවා නිවැරදි විදියට, පිළිවෙලට වෙන වෙනම ෆයිල් වල දාලා, ඒවා ෆයිල් කබඩ් එකක දාමු. කොයි වෙලාවකවත් මේවා තියන්න ෆයිල් ට්‍රේ එහෙම පාවිච්චි කරන්න යන්න එපා. එහෙ බලලා මෙහෙ බලනකොට ෆයිල් ට්‍රේ වල කඩදාසි පිරිලා හැඩි වෙනවා.

 

ඒ වගේම, මිනිමලිස්ට් ඔෆිස් එකක් මේන්ටේන් කරනවා නම්, පුළුවන් තරම් පාවිච්චි කරන කඩදාසි ප්‍රමාණයත් අඩු කරමු. 

 

4. අවශ්‍යම දේ විතරක්

මෙන්න මේක මිනිමලිස්ම් වලට ඉතාම වැදගත් දෙයක්. ඒ තමයි, තමන්ගේ ඔෆිස් කාමරේ අත්‍යාවශ්‍යම දේවල් ටික විතරක් තියාගන්න එක. ඒක කරන්න පහසු ක්‍රමයක් තමයි, ඔෆිස් රූම් එක ඩිසයින් කරනකොටම ඒකට ඕන දේවලුත් හිතන එක. එහෙම නැතුව ටික ටික, සැරින් සැරේ ඔෆිස් එකට දේවල් ගන්න ගියොත්, දන්නෙම නැතුව ඕන දේයි එපාදේයි ඔෆිස් එක ඇතුළට එනවා. අන්න ඒ නිසා අපි ලිස්ට් එකක් හදාගමු ඔෆිස් රූම් එකට ඕනම දේවල්. දැන් ඒ ලිස්ට් එකෙනුත් අත්‍යාවශ්‍යම දේවල් විතරක් තෝරගමු. උදාහරණයක් විදියට ගත්තොත්, කවුරුවත් විශේෂයෙන් ඔෆීෂියල් වැඩවලට එන්නෙ නැති හෝම් ඔෆිස් එකක අමුත්තන්ට පුටු අවශ්‍ය නෑ. තමන්ගේ පුටුවට අමතරව ඕනෑ නම් විතරක් තව සුවපහසු එක සරල පුටුවක් තිබ්බහම ඇති. තමන් දිනපු කුසලාන අනං මනං ඔෆිස් රූම් එකේම ඩිස්ප්ලේ කරන්න ඕන කියලා දෙයක් නෑ. එව්වා වෙන කොහෙන් හරි තියලා තිබ්බත් ප්‍රශ්නයක් නෑ. අන්න ඒ විදියට හිතට අවශ්‍යම දේවල් නැතුව ඔෆිස් රූම් එකට අවශ්‍යම දේවල් තෝරගමු. 

 

5. වයර්ලස්

මේක ගැන නම් දන්නේ ඇත්තටම වයර්ලස් තාක්ෂණයන් පාවිච්චි කරන කෙනෙක් තමයි. සාමාන්‍යයෙන් අපි ගමු කම්පියුටරයක්. කොයි තරම් නම් වයර් ගොඩක් එක්කද ඉස්සර කම්පියුටර් එන්නේ? මේසේ උඩම වයර් කොයි තරම් තියෙනවද? මොකද හැම එකක්ම සම්බන්ධ වෙන්නේ වයර් වලින්. අන්තිමට ඉතුරු වෙන්නේ වයර් පිරුණු අවුල් ජාලයක්. අන්න ඒ නිසා වයර්ලස් උපාංග උපකරණ වලට ආයෝජනය කරන එක ඇත්තටම අනාගතයට වටිනවා. මොකද, වයර්ලස් උපාංග උපකරණ භාවිතා කරන කොට දූවිලි වැදෙන ප්‍රමාණයත් අඩුයි, පිරිසිදු කරන්නත් උපරිම ලේසියි. ඔලුවටත් හරිම සනීපයි. 

 

6. අඩු දේවලින් වැඩි ආලෝකයක්

ඔෆිස් එකක තියෙන්න ඕන වැඩ කරන්න ඕන කරන දේවල් විතරක් නෙවෙයි. අපේ හිතට සහනයක් ගේන දේවල්, අපේ ඇස් වලට පහසුවක් සපයන දේවල් එහෙමත් ඔෆිස් රූම් එකක තියෙන්න ඕන. හැබැයි මිනිමලිස්ම් වලින් කියන්නේ දේවල් පුරෝගන්නෙ නැතුව ඉන්න කියන එකනේ. අන්න ඒ නිසා අපි බලමු අපිට වැඩි ආලෝකයක් කාමරේට ගේන්න සීමිතව තියාගන්න පුළුවන් දේවල් මොනවද කියලා. පොඩි බොන්සායි පැළයක් , කැක්ටස් පැළයක් වගේ දෙයක් අපිට කාමරෙන් තියාගන්න පුළුවන්. ඡායාරූපයක්, සිහිවටනයක් වගේ අපි ආසම දෙයක් මේසෙට උඩින් තියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, සිහිවටන හත අටක් මේසේ උඩ තියෙනවට වඩා, එක සිහිවටනයක් මේසේ උඩ තියෙනකොට, ඒකේ වටිනාකම හිතනවාට වඩා සෑහෙන්න වැඩි වෙනවා. අවකාශයත් ඉතුරු වෙනවා. අන්න මිනිමලිස්ට් ඩිසයින් එකක තියෙන හොඳ ලක්ෂණ.

 

7. එක විදියේ දේවල් එක ගාවින්

මිනිමලිස්‍ට් ඔෆිස් රූම් එකකට මේකත් අවශ්‍ය කන්සෙප්ට් එකක්. සරලවම කිවුවොත්, එක වගේ දේවල් එක ලඟින් තියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, සාමාන්‍යයෙන් ඔෆිස් රූම් එකක මේසේ උඩත් පොත් තියෙන්න පුළුවන්, කබඩ් එක උඩත් පොත් තියෙන්න පුළුවන්. හැබැයි මිනිමලිස්ට් ඔෆිස් රූම් එකේ පොත් තියෙන්නේ එක තැනක විතරයි. පොත් තියෙන කබඩ් එකේ වුනත් පොත් සහ ෆයිල් දෙකම තියෙනවා නම්, පොත් එක පැත්තක සහ ෆයිල් එක පැත්තක තමයි තියෙන්න ඕන. ඔෆිස් එකේ කැමරා උපකරණ තියෙනවා නම්, කැමරා බඩු, ට්‍රයිපොඩ්, බැටරි, ලෙන්ස් අනං මනං ඔක්කොම එක තැනක තියෙන්න ඕන. නිතරම පාවිච්චි වෙන ලිපිද්‍රව්‍ය එක ලාච්චුවක් ඇතුළේ වුනත් එක ගොඩේ දාලා තියන්න බෑ. එව්වා ලාච්චුව ඇතුළේ වුනත් වෙන වෙනම තියෙන්න ඕන. 

 

දැන් නිකමට හිතලා බලන්න, මේ විදියට නිර්මාණය කරගන්න ඔෆිස් රූම් එකක ඇතුළේ කොයි තරම් පිළිවෙලක්, නිදහසක්, නිස්කලංක කමක් තියෙනවද කියලා. උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නත් අන්න ඒක හොඳ පිටුවහලක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *