ලොව පතල වුණු දමස්කස් වානේ කඩු

වානේ පන්නරය ලැබීම සහ වානේ වලින් ආයුධ තැනීම ගැන විවිධ පුරාවෘත්ත තියෙනවා. ඒ කතා වල සඳහන් වන විදිහට පුරාණයේ වානේ නිපදවන විට ඒ සඳහා මිනිස් ලේ පවා පාවිච්චි කරලා තියෙනවා. ඒත් දැන් තාක්ෂණානුකූලව කරපු පරීක්ෂණ එවැනි දේවලින් එච්චර ප්‍රයෝජනයක් නැහැ කියලා හොයාගෙන තියෙනවා. කොහොම වුණත් දමස්කස් වානේ කියන්නේ ලොව පුරා තවමත් සියවස් ගණනාවක් තිස්සේ ජනප්‍රිය වූ වානේ වර්ගයක්. ඒ ගැන අපි ටිකක් විස්තර බලමු.

 

1. වානේ යනු? 

වානේ යනු මිශ්‍ර ලෝහ අතර මිනිසාට වඩාත් වැදගත් මිශ්‍ර ලෝහයකි. මූලික වශයෙන් යකඩ ඇතුළත් වානේ වල කාබන් 0.002% සහ 2.1% අතර ප්‍රමාණයක් අන්තර්ගත වෙයි. මේ කාබන් ඇතුළත් වීම නිසා වානේ වල ශක්තිමත් බව යකඩ වලට වඩා වැඩි වන අතර බරද වැඩි වේ. නූතනයේ යොදාගන්නා වානේ වලට මැංගනීස්, පොස්පරස්, සල්ෆර්, සිලිකන්, ක්‍රෝමියම් වැනි අමතර ලෝහ වර්ගද එකතු කරනවා. ඒ හරහා වානේ වල සවිශක්තිය තව තවත් වැඩි වෙනවා.

 

2. අපේ වානේ ඉතිහාසය

සීගිරියේ සිදුකරන ලද කැණීම් වලදී එහි තිබූ පුරාවස්තු අනුව එකල වානේ කර්මාන්තය දියුණු මට්ටමක පැවති බවට ඉතිහාසඥයින් මත පළ කරලා තියෙනවා. ඒ වගේම සමනළ වැව දිහාවෙනුත් අතීතයේ වානේ කර්මාන්තය සම්බන්ධ වටිනා සාධක රැසක් හමුවෙලා තියෙනවා. නිරිත දිග මෝසම් සුළඟ ආධාරයෙන්, යකඩමරං වැනි දර වර්ග යොදාගෙන එකල වානේ නිපදවූ බවට විශ්වාස කරනවා. ලංකාවේ නිපදවූ වානේ වෙනත් රටවලට අපනයනය කොට ඉස්තරම් කඩු නිපදවූවා. කෙසේ වෙතත් යුරෝපීයයන් ලක් දෙරණට එන්නට ප්‍රථමයෙනුත් යකඩ සහ වානේ තාක්ෂණයෙන් ලංකාව යම් තැනක සිටියා.

 

3. දමස්කස් වානේ

දමස්කස් වානේ ජනප්‍රිය වෙලා තියෙන්නේ තියුණු තල ආයුධ වලට එහි තියෙන වැදගත්කම නිසා. ඒ වානේ සැහැල්ලුයි ඒත් ශක්තිමත්. ඒ නිසා කඩු සහ පිහි හදන්න මේ දමස්කස් වානේ යොදාගෙන තියෙනවා. පැරණි සටන් වලදී දමස්කස් කඩු ලේසියෙන් නොකැඩෙන නිසාත් සැහැල්ලු නිසාත් ජනප්‍රිය වුණා. මේ වානේ වල ලී වල වගේ ලස්සන වයිරම් තියෙනවා. ඒ වයිරම් නිසා පෙනුමෙනුත් යම් උසස් තත්ත්වයක් මේ වානේ වලට එකතු වෙනවා.

 

4. හදපු හැටි

සාමාන්‍යයෙන් මේ විදිහේ ශක්තිමත් තල හදනකොට ලෝහ පටි කිහිපයක් අඟලක හමාරක ඝනකම තියෙන්න වෙල්ඩින් කරනවා. ඉන් පස්සේ ඒ පටි කිහිපය එකට එකතු වෙලා තලයක් වෙන විදිහට ගිනියම් වෙන්න රත් කරලා තලනවා. ඉතින් මේ විදිහට දමස්කස් වානේ නැවත නිෂ්පාදනය කරන්න මෑත කාලීන විද්‍යාඥයින් උත්සාහ ගත්තා. ජපානයේ ඉවුම් පිහුම් වලට ගන්නා ශක්තිමත් තියුණු පිහි සහ ජපාන කඩු වලටත් මේ දමස්කස් කඩු හදන ආකාරයේ තදබල තාක්ෂණයක් පාවිච්චි කරනවා. මේ ක්‍රමයෙන් පිහියක් හදන්න දවස් ගණනාවක් ගත වෙනවා. ඒ නිසාම මේ විදිහට හදපු දමස්කස් පිහියක් ඩොලර් දාහකටත් වැඩි වෙන අවස්ථාවන් තියෙනවා.

 

5. ඓතිහාසික පසුබිම

දමස්කස් කඩු වල ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 750 – 950 කාලය දක්වා පැතිරෙනවා. මේ දමස්කස් කඩු හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය එවකට ලංකාව ඉන්දියාව වගේ රටවලින් රැගෙන ගිය බවට විශ්වාස කරනවා. එවකට පැවති යුද්ධ කටයුතු වලදී මේ දමස්කස් කඩු වැදගත් තැනක් ගත් බව සඳහන්. අද තිබෙන දමස්කස් කඩු හදන්නේ එදා හදපු විදිහට නෙමෙයි, එදාට වඩා වෙනස් ක්‍රමයකට. එවකට පැවති දමස්කස් කඩු දැනටත් ලොව වටා කෞතුකාගාර සහ පුද්ගලික, පෞරාණික බඩු එකතුවල තියෙනවා. මේ පැරණි දමස්කස් කඩු කඩා එහි ව්‍යුහය අන්වීක්ෂ වලින් පරීක්ෂා කොට බලා එහි අන්තර්ගතය සොයාගෙන තිබෙනවා.

 

6. කඩුවලට නම හැදුණු හැටි

දමස්කස් වල කඩු හැදුව නිසා හෝ දමස්කස් හරහා මේ කඩු මිලදී ගන්නට තිබුණ නිසා හෝ දමස්කස් කියෙන රෙදි වර්ගයට සමාන හැඩයෙන් යුක්ත වූ නිසා මේ දමස්කස් කඩු යන නම එයට ලැබී තිබෙනවා. දමස්කස් පැරණි ලෝකයේ වෙළඳාමට වැදගත් වූ නගරයක්. කෙසේ වෙතත් දමස්කස් කඩු එවකට ලෝකය වටා යන්නට නම් දමස්කස් නගරය වැදගත් මෙහෙයක් කරන්නට ඇති.

 

7. පැරණි දමස්කස් කඩු වල රහස

මේ කඩු මුලින්ම වූට්ස් කියන වානේ වර්ගයෙන් නිපදවු බව සඳහන් වෙනවා. මේ වූට්ස් ඉන්දියාවේ අවුරුදු දෙදාහකටත් පෙර පාවිච්චි වූ මිශ්‍ර ලෝහයක්. එහෙත් මේ වූට්ස් වලින් ආයුධ හදන වැඩේ ජනප්‍රිය වෙලා තියෙන්නේ 3 – 4 වන ශතවර්ෂවලදී. ඉතින් ඉන්දියාවේ තිබෙන ගල් අඟුරු වලින් මේ වූට්ස් කියන ලෝහ වර්ගය තට්ටු ගෙන තැලීමේදී මේ ආකරයට වයිරම් රටා මවමින් දමස්කස් ලෝහ නිෂ්පාදනය වෙන බව පසුකාලයේදී සොයාගත්තා. කෙහොම වෙතත් මේ දමස්කස් කඩු වල තිබෙන ශක්තියට ඉවහල් වන වැනේඩියම් දකුණු ඉන්දීය යපස් නිධි වලින් හමු වෙලා තිබුණා. ඒ අනුව ඒ යපස් වල කොහොමත් තිබුණ වැනේඩියම් නිසා දමස්කස් කඩු වලට ශක්තිය ලැබුණු බව සඳහන් වෙනවා.

 

දමස්කස් කඩු වලට ඒ ශක්තිය ලැබුණු අංශුමාත්‍ර මූලද්‍රව්‍යයන් එයට එකතු වුණ ආකාරය හරියටම කියන්නට බැහැ. ඇතැම්විට ඒ කාලයේ වානේ හදන ක්‍රියාවලියේදී දහන කටයුතු වලට පාවිච්චි වුණ ගල් අඟුරු හරහා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය වානේ සමග එකතු වන්නට ඇති. කෙසේ වෙතත් මේ ඉපැරණි තාක්ෂණයෙන් අදටත් යහමින් ප්‍රයෝජන ගන්නා අවස්ථාවක් ලෙස මේ දමස්කස් කඩු සහ පිහි දක්වන්නට පුළුවන්.

Leave a Reply

Your email address will not be published.