වාහනයක් විකුණන්න කලින් හිතන්න ඕන දේවල්

අපි මීට කලින් දවසක වාහනයක් මිල දී ගන්න කලින් හිතන්න ඕන දේවල් ගැන කතා කළා. අද අපි කියන්න යන්නෙ වාහනයක් විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැන. අපි මේ කියන්න යන්නෙ කාර් සේල් එකක කෙනෙකුට එයාගෙ සේල් එකේ තියෙන වාහනයක් විකුණන්න කලින් හිතන්න ඕන දේවල් නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් වාහනයක් විකුණන්න කලින් මුකුත් හිතන්න ඕනෙ ද තමන්ගෙ ගා​ණට ආවොත් දීලා දානව මිසක් කියල.  ඒත් සමහර දේවල් තියෙනවා ඒවා ගැන නොහිතා වාහනේ විකු​ණලා හිරේ විලංගුවෙ වැටෙන්න තමයි වෙන්නෙ. අපි කලින් ආර්ටිකල් එකකත් කිව්වනෙ ලංකාවෙ ඉන්නෙ වාහන කාපු අයියල. ඒ නිසා ගනිද්දි වගේම විකු​ණද්දිත් ගොඩක් හිතන්න ඕනෙ. ප්‍රවේශම් වෙන්න ඕනෙ. 

 

 

1. ලියකියවිලි ප්‍රශ්නෙ

වාහනයක් විකු​ණනවා කියන්නෙ කඩේක සීනි විකු​ණනවා වගේ සරල දෙයක් නෙමෙයි. ඒවට නීති රෙගුලාසි තියෙනවා. වාහනයක් විකු​ණද්දි ඒ විකිණීමට අදාළව මිලදී ගන්න කෙනාට පැවරුමක් කරන්න අවශ්‍යයි. ​මේකට අදාළ පෝරම එහෙම RMV නාරාහේන්පිට කාර්‍යාලයෙන් හරි ​ළඟම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වලින් නොමිලේ ගන්න පුළුවන්. ඒකෙ කොපි හයක් තියෙනවා. ඒකෙන් ඔයා (විකුණුම්කරු) RMV එකට යවන්න ඕන පිටපත් ටික යවල එහෙන් දෙන කුවිතාන්සිය (CMT52) ළ​ඟ තියාගන්න. ඕපන් පේපර්ස් වලට වාහනේ දෙන එක්ක හරිම අවදානම්. ඒ නිසා ඒ කාරණාව ගැනුම්කරුට පැහැදිලිව කියන්න.  අනික වාහනේ විකුණන්න සීමාවල් පනවලා තියෙනවද කියන එක ගැන අවබෝධයක් ඔයාට තියෙන්නත් ඕනේ. පොතෙත් එහෙම දේවල් ගැන සටහන් කරලා තියෙනවා. 

 

 

2. ඉන්ෂුවරන්ස් එක

වාහනයක් විකු​ණද්දි ගොඩක් අයට අවබෝධයක් නෑ ඉන්ෂුවරන්ස් එක සම්බන්​ධ වැඩ කොහොමද කරන්නෙ කියලා. තර්ඩ් පාර්ටි එකක් නම් කිසි අවුලක් නෑ. ගත්‍තු කෙනාට එයාගෙ නමින් අලුතින් එකක් දාගන්න පුළුවන් කිසි අවුලක් නෑ. හැබැයි ෆුල් ඉන්ෂුවරන්ස් නම් එහෙම බෑ. ඉස්සෙල්ලා ඔයා තීරණය කරන්න ඕනෙ ෆුල් ඉන්ෂුවරන්ස් එක එයාට දෙනවද නැද්ද කියල. දෙනවනම් ඔයා පැහැදිලිව ඉන්ෂුවරන්ස් එක එයාගෙ නමට හරවගන්න කැමැත්ත ප්‍රකාශ කරන ලියුමක් දෙන්න සහ ඒක එයාගෙ නමට හරවගත්තද කියල හොයල බලන්න. ෆුල් ඉන්ෂුවරන්ස් එක දෙන්නෙ නැත්නම් ඔයා ඒක ඉන්ෂුවරන්ස් එකට කියල කැන්සල් කරවගන්න. මොකද වාහනේ විකිණුවට පස්සෙ ඉන්ෂුවරන්ස් ගෙවන්නෙ නෑ පරණ අයිතිකරුට. එහෙම උනොත් රිජෙක්ට් වෙනවා. 

 

 

3. මි​ල

වාහනයක් විකු​ණද්දි හිතන්න තියෙන වැදගත්කම කාරණාව තමයි මි​ල කියන්නෙ. තමන්ගෙ වාහනේ වෙ​ළඳපොල මිල ගැන හැම වාහන හිමියෙක්ම නිරන්තර අවධානයකින් ඉන්න ඕනෙ. තමන්ගෙ වාහනේ මිළ අඩු වෙච්ච වෙලාවක නෙමෙයි වාහනේ විකුණන්න ඕනෙ. වාහනේ මිල ප්‍රශස්ත මට්ටමක තියෙන වෙලාව එනකන් ඉන්න ඕනෙ මොන හදිසිය තිබ්බත්. නැත්නම් ලොකු ගා​ණකට පාඩු වෙන එක ව​ළක්වන්න බෑ. 

 

 

4. රෙපෙයාර් වැඩ

සමහරුන්ට නම් වාහනේ තියෙන පොඩි පොඩි රෙපෙයාර් වැඩ මතක් වෙන්නෙ වාහනේ විකුණන්න යද්දී. එතකොට හදිසියට එහෙන් මෙහෙන් ගහල ගන්න එන එකාගෙ ඇඟේ ගහන එක තමයි සාමාන්‍ය විදිහ. එක්කෝ ඩැමේජ් පිටින්ම.දෙනවා 😀  ඒත් වාහනේ තියෙන ඩැමේජ් ඔක්කොම හදල විකු​ණන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිහ. මොකද එතකොට ගන්න කෙනාට ආයෙ ගරාජ් වල රස්තියාදු වෙන්න දෙයක් නෑ. පොඩි පොඩි ඩැමේජ් නම් ඉතින් හැදුවත් මෙහෙම දෙයක් තිබුනා කියල විකුණන්න පුළුවන් නම් වටිනවා. ඒත් දැන් කාලෙ කවුරුත් එහෙම පොඩි හරි ඩැමේජ් එකක් තිබුනා කිව්වොත් ගන්න පොඩ්ඩක් මැළි වෙනවා. හැටි. ඒත් ඔයාගෙ අවංකකම වටින කෙනෙක් වාහනේ ගනීවි. සතුට සල්ලි වලට ගන්න බෑ මහත්තයො

 

 

5. ගන්න කෙනාගෙ පැටිකිරිය

තමන් මෙච්චර කාලයක් දරුවෙක් වගේ බලාගත්තු වාහනේ නිකන් නාස්ති වෙන්න දෙන්න ගොඩක් අය කැමති නෑ. ඒ හින්ද ගොඩක් වෙලාවට දෙන කෙනා ගැන පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා. ඒ වගේම ගන්න කෙනා මොන වගේ දේවල් වලටද වාහනේ යොදවන්න හිතන් ඉන්නේ කියන එක දැනගෙන ඉන්න එකත් හිතට සහනයක්. මේ ඔක්කොම හිතන්න වෙන්නේ ලංකාවේ අපි වාහනයකට දරුවෙකුට වගේ සලකන නිසා.

 

 

6. ලීසිං ප්‍රශ්න

මේ කාරණාවත් ගොඩක් වැදගත් පළවෙනි එක දැනට ඔයා විකුනන්න යන වාහනේට ලීසිං තියෙනවද කියන එක. දෙවෙනි එක ගන්න කෙනා ලීසිං දාලද ගන්නේ කියන එක. ඔයාගේ වාහනේට ලීසිං තියෙනවනම් විකු​ණන්න කලින් හිතන්න ලීසිං එක තියෙද්දී විකුණනවද ලීස් එක හෝ ලෝන් එක සෙට්ල් කරලා විකුණනවද කියල. සෙට්ල් කරලා විකු​ණනවානම් පොඩ්ඩක් ලීසිං කොම්පැනියෙන් අහල බලන්න ගාස්තු මොනාහරි අය වෙනවද කියල. වඩා හොඳ විදිහ තමයි සෙට්ල් කරලා විකුණන එක. අනිත් එක තමයි ගන්න කෙනා ලීස් එකක් දාලද ගන්නේ කියන එක. එතකොට අදාළ ලීසිං කොම්පැනියෙන් D/O එක තමයි ඉස්සෙල්ල දෙන්නේ. ඒකෙන් ඒ අදාළ ලීසිං ආයතනය තහවුරු කරනවා ඊට අදාළ ගෙවීම් කරනවා කියල. ඉතින් පිළිගත් ආයතනයකින් නිකුත් කරන D/O එකකට නම් වාහනේ රිලීස් කළාට කමක් නෑ. හැබැයි වඩා හොඳයි චෙක් එක ලැබුනම වාහනේ නිදහස් කරන එක. අනිත් එක අත්පිට මුදලට විකු​ණනවා වගේ නෙමෙයි ටිකක් කාලයක් යනවා ලීසිං එකක් අනුමත වෙන්න. ඒ නිසා හදිස්සියට විකු​ණනවානම් අත්පිට මුදලට විකුණන එක වඩා හොඳයි. හැබැයි අද කාලේ ලීසිං එකක් අනුමත වෙන්න ගොඩක් දවස් යන්නෙත් නෑ. එක ඔයා තීරණය කරන්න. 

 

 

7. අවංක වෙන්න

මේ කාරණාව නම් එච්චර අදාළ දෙයක් නෙමෙයි. ඒත් ගොඩක් වැදගත්. ඔයා ඔයාගෙ වාහනේ විකු​ණන්න නම් හදන්නෙ මතක තියාගන්න ඒ වාහනේ ගන්නෙ ඒ ජාතියේ අලුතින් වාහනයක් ගන්න බැරි කෙනෙක්. ඒ කෙනා දහසක් බලාපොරොත්තු තියාගෙන තමයි ඔයාගෙ වාහනේ බලන්න හරි එන්නෙ. ඒ නිසා ඇඩ් එකක් දැම්මත් වාහනේ නිවැරදි තොරතුරු දාන්න. බොරු දාලා එන මනුස්සයගෙ බලාපොරොත්තු කඩලා දාන්න එපා. ඒ වගේම බොරු කියල වාහන විකු​ණලා ඒ මනුස්සයව ගරාජ් වල රස්තියාදු කරවන්නත් එපා. විශේෂයෙන් මයිලේජ් වෙනස් කරනවා වගේ වැඩ නම් කොහොමත් කරන්න එපා. ඒ වගේ දේවල් කරල අහු උනොත් ලේසි වෙන්නෙ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *