අපි මේ ජීවත් වෙන්නේ කෝවිඩ්19 වෛරසය සීරියස් ලෝක ව්‍යාප්ත වසංගතයක් වෙලා තියෙන කාලෙකනේ. ඉතින් විශේෂඥයෝ කියනවා, කෝවිඩ්19 පැතිරීම සහ තමන්ටත් බෝවීම වළක්වගන්න තියෙන හොඳම ක්‍රමයක් වෙන්නේ social distancing නැතිනම් සමාජයෙන් තාවකාලිකව හුදෙකලා වීම කියලා. හැබැයි ඉතින් ඕක කියපු ගමන් අපේ අයියලට මතක් වෙන්නේ අර ලෝක විනාසේ ගැන හදපු ෆිල්ම්. ඉතින් ඔන්න මුලින්ම සුපර් මාකට් එකකට පැනලා ඒකේ තියෙන බඩු මුට්‍ටු ඔක්කොම පොට්ටනි ගහගෙන ගෙදර ගේනවා. ඉන් පස්සේ ගේ වටේට බංකර් හදලා ලෝක විනාසෙට මූණ දෙන්න ආවුද හොයනවා! හැබැයි ඇත්තටම social distancing කියන්නේ එහෙම කාරණාවක් නෙවෙයි. ඊට වඩා සරලව ගොඩදාගන්න පුළුවන් දෙයක්!
1. සුපර් මාකට් හිස් කරන්න ඕන නෑ!
ඇත්තටම නම් මේක තාවකාලික හුදෙකලා වීමක්. ඒ නිසා කරුණාකරලා සුපර් මාකට් වලට පැනලා හාල් මුට්ට පිටින්, කොන්ඩම් පැක් පිටින් ගෙදර ගේන්න එපා. උපරිම සති දෙකකට සෑහෙන බඩුමුට්ටු ගෙදර ගෙන ඒම ප්‍රමාණවත්. ඇත්තටම වුවමනාවට වැඩියෙන් ගේන බඩුමුට්ටු නාස්ති වෙලා යන්නත් ඉඩක් තියෙනවා. ඒ වගේම අනවශ්‍ය විදියට අපි බඩු ගොඩගැහීමෙන් කෘත්‍රිම භාණ්ඩ හිඟයකුත් ඇති වෙන්න පුළුවන්. අනික් අතට තමන්ගේ අතේ තියෙන සල්ලිත් නිස්කාරණේ නාස්ති වෙනවා කියන එක අමතක කරන්න බැහැ.
2. රෙස්ටුරන්ට් එකකට ගියාට කමක් නෑනේ?
රෙස්ටුරන්ට් වලට, කෝපි කඩ වලට යෑම නෙවෙයි social distancing කියන්නේ. මෙතනදී ප්‍රධානතම කාරණාවක් වෙන්නේ සෙනඟ බහුලව ගැවසෙන තැන් හැකිතාක් මඟ හැරීම. ඉතින් එතකොට අනික් ඔක්කොම ගෙදරට වෙලා ඇති කියලා හිතාගෙන දෙන්නත් එක්ක ඩේට් අවුට් එකකට රෙස්ටුරන්ට් එකකට එන එක වැරදියි. ඒ වගේම තමයි කොත්තුවක් ගන්න හංදියේ සයිවර් කඩේට යන එක වුනත් අනුමත කරන්න බැහැ. ඒ නිසාමයි social distancing කාලය ඇතුළතදී හැකිතාක් ගෙදරම කෑම බීම හදාගන්න කියලා කියන්නේ. ඒක සෞඛ්‍යයටත් වඩා හොඳයි.
3. ගෙදර උන්ටත් මූණ නොදී ඉන්න ඕනද?
මෙහෙමයි. ගෙදර අයට, තමන් එක්ක ඉන්න රූමාට මූණ නොදී ඉන්න ඕන එක්කෝ තමන්ට ආසාදනයක් වැළඳිලා, ස්වයං නිරෝධායනයක ඉන්නකොට. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට වෛරස් උණක් හැදිලා තිබ්බොත් අපි කාමරේට වෙලා ඉන්නවා ඇරෙන්න ගෙදර මිනිස්සුන්ව අතපත ගාන්න යන්නෙ නැහැනේ. හැබැයි ඒ ඇරෙන්න ගෙදර මිනිස්සුන්ට මූණ දෙන්න බැරි තරමේ වෙන ලෝක ලැජ්ජාවට පත් වෙන දේකුත් කරලා නැතිනම්, මේ social distancing කාලය ඇතුළතදී ගෙදර අයත් එක්ක ඇසුරු කරන එකේ ගැටළුවක් නෑ. හැබැයි ගෙදර අය එක්කෙනෙක් හරි පිටට ගිහිල්ලා එනවා නම්, ඒ කෙනා පිරිසිදු වීමේ සෞඛ්‍ය පියවර -ඒ කියන්නේ අත් සබන් දාලා සෝදා ගැනීම ඇතුළු- අනුගමනය කළ යුතුයි.
4. නෑදෑයෝ ගෙදර ආවට කමක් නෑනේ
ලංකාවේ සංස්කෘතියේ හැටියට අපිට පවුල කිවුවහම දැනෙන්නේ ඔය හැටහුටහමාරක් ඉන්න දෙපැත්තේ නෑදෑයෝත් ඒකට ඇතුළත් කියලනේ. හැබැයි නෑසියෝ කියන්නෙත් සමාජයම තමයි. අන්න ඒ නිසා social distancing කියපු ගමන් පවුලේ කට්ටියට සුව සාදයක්, පැදුරු පාටියක් ඕගනයිස් කරන්න යන්න එපා. වසංගත රෝග තත්ත්වයක් පැතිරීම වළක්වන්න තාවකාලිකව හුදෙකලා වෙන එකේ තේරුමක් එතකොට නැතුව යනවා. අනික එහෙම විශාල පිරිසක් එකතුවෙනවා කියන්නේ ආයෙමත් වසංගතයකට බොහොම පහසුවෙන් පැතිරෙන්න ඉඩ හදලා දෙනවා කියන එක තමයි.
5. ජිම් එකට?
ඔව්, ශරීර සුවතාවය මේ කාලෙදීත් අවශ්‍ය දෙයක් තමයි. විශේෂයෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියට එහෙමත් දෛනික ව්‍යායාම එහෙම කරන එක ඉතාම හොඳයි. හැබැයි ජිම් යන්න බෑ. එතකොට උදේට සෙට් එකත් එක්ක ජොගින් දාන්න යන්නත් බෑ. ඒවා social distancing නෙවෙයි. විශේෂයෙන්ම ජිම් එක කියන්නේ වසංගත රෝගයක් පැතිරෙන්න හොඳම තෝතැන්නක්. අන්න ඒ නිසා කරන ව්‍යායාමයක් ගෙදර ඉඳලා කරන එක තමයි වටින්නේ. බැරිවෙලාවත් ජිම් යන්නම ඕන, ජිම් ගියේ නැතිනම් මැරෙන ලෙවල් එකේ ජිම්කානා කෙනෙක්ට නම් කරන්න තියෙන්නේ ජිම් එකට එන අනෙක් අය එක්ක සෘජු සම්බන්ධතාවය මග අරින එකත්, තමන් අල්ලන හැමදෙයක්ම විෂබීජ හරණය කරන එකත්, මූණ නොඅල්ලා ඉන්න එකත්, තමන්ගේ අත පය හොඳින් සබන් යොදා සෝදා පවිත්‍ර කරගන්න එකත් තමයි!
6. එතකොට ගෙදරින් එළියට බහින්නම එපාද?
මෙහෙමයි. Social distancing කියන්නේ පුළුවන් තරම් හුදෙකලා වෙලා ඉන්න එක තමයි. හැබැයි දැන් තියෙන වසංගතය වෙන කෝවිඩ්19 වගේ වෛරසයක් වාතය හරහා පැතිරෙන්නෙ නෑ. ඒ නිසා එළියට පහළියට බැස්සට කමක් නෑ. හැබැයි ඉතින් මේ එළිපහළියට බහිනවාය කියන එක අසල්වැසියෝ මුණගැහෙන්න, යාලුවෝ එක්ක සෙට් වෙන්න, ඔෆිස් එක පැත්තේ රවුමක් දාලා එන්න වගේ වුනොත් කේස්. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවා නම් අනිවාර්යයෙන්ම මග අරින්න වෙනවා. අන්න ඒ නිසා ගෙදරින් එළියට බහින එක පොඩ්ඩක් හුළං වදින්න, නැවුම් හුස්ම පොදක් ගන්න සහ වෙනත් අත්‍යාවශ්‍ය කාරණයකට විතරක් තියාගත්තොත් තමයි හොඳ.
7. එතකොට ඔෆිස් යන්නම එපාද?
ඒක මෙහෙමයි. ගොඩක් වෙලාවට මේ වගේ social distancing කාලයකදී නිර්දේශ කරන්නේ working from home එහෙම නැතිනම් ගෙදර ඉඳන් ඔෆිස් වැඩ කිරීම තමයි. එහෙම ගෙදර ඉඳලා වැඩ කරන එක නියම වෘත්තිමය විදියට කරන්නත් ඕන. ඒකට අපි කලිනුත් උපදෙස් දීලා තියෙනවා. හැබැයි ඉතින් ඔය අත්‍යාවශ්‍ය සේවාවන් වල නියැලෙන අයට එහෙම ඇත්තටම social distancing කියන එක ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරන්න අමාරුයි. ඒ අයට යන්න වෙනවා. ඒ ඇරෙන්න ගෙදර ඉඳන් වැඩ කරන්න බැරි විදියේ රැකියාවල නියැළෙන අයට නම් කරන්න තියෙන්නේ අත්‍යාවශ්‍ය සේවා නෙවෙයි නම් නිවාඩුවක් අරගෙන ඉන්න එක තමයි.
Leave a Reply