මිනිස්සුන්ට ආදරේ කියන්නෙ මොකක්ද කියල අමතක වුණ වෙලාවට ඒක මතක් කරල දෙන්න තමයි මේ ලෝකෙට බලු සුරතලුන්ව එවල තියෙන්නෙ කියල කතාවක් තියනවා. බල්ලන්ට ආදරේ කරන කෙනෙක් ආයෙ මේ කියමන ගැන දෙපාරක් හිතන්නෙ නෑ. ඒක ඒ තරම් ඇත්ත කතාවක්. බල්ලන් සහ මිනිස්සු අතර බැඳීම අදක ඊයෙක ඇති වෙච්ච එකක් නෙමෙයි. මේ ඉතිහාස කතන්දරේ ඇතුළෙදි මිනිහා එක්ක එක මග ගමන් කරපු සමහර බලු රාළලා මේ වෙද්දි නොයෙකුත් හේතු නිසා මේ ලෝකෙන් නොඑන්නම යන්න ගිහිල්ලා. මේ කියන්නෙ ඒ විදිහට ලෝකෙන් වඳ වෙලා ගිය බලු වර්ග කීපයක් ගැනයි.
1. Moscow Water Dog
නම කියපු හැටියටම තේරෙන්න ඇතිනේ මේ බලු රාළගෙ ඇරඹුම සිද්ධ වෙන්නෙ රුසියාවෙන්ය කියලා. මේ වෙද්දි මේ මොස්කව් දිය බල්ලා ලෝකෙන් වඳවෙලා ගිහින් කියලයි කියන්නෙ. 1980 ගණන් වලදි තමයි මේ අයගෙ අන්තිම සාමාජිකයො මේ ලෝකෙ ජීවත් වුණේ කියල කියනවා. දෙවැනි ලෝක යුද්ධෙ කාලෙදි හමුදාවට සහය වෙන්න තමයි මේ බලු වර්ගය බෝ කරලා තියෙන්නෙ. ගිලෙන්න යන භටයන්ව බේර ගන්න මේ අයව යෙදෙවුවට මොකද මෙයාලා ස්වභාවයෙන් ටිකක් දරදඬු ගති ඇති අය නිසා බේරගැනීම කෙසේ වෙතත් ගිලෙන්න යන මිනිස්සුන්ව හපන්න ගිහිල්ලා තියනවා වැඩිපුරක්ම. දෙවැනි ලෝක යුද්ධයෙන් මේ සුනඛයො සෑහෙන ප්රමාණයක් මිය ගිහින් තියනවා. ඊට පස්සෙ ක්රම ක්රමයෙන් රුසියාවෙ හමුදා කටයුතුවලට විතරක් බෝ කරපු මේ බලු වර්ගය නැත්තටම නැතිවෙලා තියනවා.
2. Salish Wool Dog
ඇමරිකාවේ ජීවත් වුණු ආදිවාසී කොට්ඨාසයක් වෙච්ච සේලිෂ් උදවිය අතරේ තමයි මේ සේලිෂ් බූල් බල්ලා ජීවත් වුණේ. සේලිෂ් ජනතාව අතර බැටළුවෝ හිටියේ නැහැ. ඒ නිසා බැටළුවන් වෙනුවට බ්ලැන්කෙට්ටු මහන්න මේ අය යොදාගත්තෙ මේ බලු වර්ගයේ ලොම් තමයි. හැම අවුරුද්දෙම මැයි-ජුනි මාස වෙද්දි මේ බල්ලන්ගෙ ලොම් බාගෙන ඒවායෙන් මේ සේලිෂ් උදවිය ලස්සන බ්ලැන්කෙට්ටු, පාපිසි වගේ දේවල් වියලා තියනවා. කොහොම හරි පස්සෙ කාලෙක මේ ප්රදේශවලට යුරෝපීයයන්ගේ ආගමනයත් එක්ක බැටළුවො පැමිණීමත්, ලාභ සහ ලෙහෙසි මැහුම් ගෙතුම් ක්රම ප්රචලිත වීමත් එක්ක සේලිෂ් බල්ලාගේ අගය අඩුවෙලා ගිහින් උන් වඳවෙලා තියෙනවා.
3. Molossus
මෝලෝෂස් කියන්නේ ඉතාම ඈත අතීතයේ පුරාණ ග්රීසියේ ජීවත් වුණාය කියන සුවිශේෂී බලු වර්ගයක්. ලෝකේ හිටපු විශාලම, ශක්තිමත්ම සහ දරුණුම බලු වර්ගයක් හැටියටයි මොලෝෂස් ගැන සඳහන් වෙන්නේ. ප්ලේටෝගේ ලියවිලි අතරත් මේ අපූරු බල්ලා ගැන සඳහන් වෙනවලු. සටන් සහ දඩයම් සඳහා උදවුවට ළඟ තියාගත්ත මොලෝෂස් කියන්නේ කළු ලොම් තියන, දැක්කම බය හිතෙන දැවැන්ත බල්ලෙක්. මේ බල්ලා වඳවෙලා ගිය හේතුව නම් හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි මේ වෙද්දි ඇමරිකානු මෝලෝෂස් කියලා බලු වර්ගයක් ඉන්නවා මේ බල්ලාව සිහිපත් වෙන්න අලුතින් නිර්මාණය කරපු.
4. Turnspit
හිටපු වික්ටෝරියා මහ රැජිණ ටර්න්ස්පිට් බල්ලන්ව තමන්ගේ සුරතලුන් හැටියට තියාගෙන ඉඳලත් තියනවා. මේ බල්ලා ගැන නම් තියෙන්නෙ තරමක් හිත රිදෙන කතාවක්. ටර්න්ස්පිට් කියන නමින් හඳුන්වන්නේ ඒ කාලේ මස් රෝස්ට් කරන්න යොදාගත්ත උඳුනක් වගේ දෙයක්. මේකෙදි මස් ගාතයේ හැම පැත්තක්ම සමානව රෝස්ට් වෙන්න නම් රෝදයක් කරකවන්න ඕනෙ. මේ රෝදය කරකවන්න තමයි ටර්න්ස්පිට් බල්ලාව යොදාගෙන තියෙන්නෙ. මේ අය කොට කකුල් සහ දිග ශරීර තියෙන බල්ලන් කියලයි කියන්නේ. කොහොම වෙතත් පස්සෙ කාලෙක මිනිස්සු හෝ බල්ලන් විසින් කරකවන්න ඕනෙ නැති යාන්ත්රික මස් රෝස්ට් කරන යන්ත්රවල ආගමනයත් එක්ක ටර්න්ස්පිට් බල්ලන්ව බෝ කරන එකත් නැවතුණාලු.
5. Tahltan Bear Dog
නමේ හැටියටම නියම වැඩ්ඩෙක් මේ බල්ලා. ටහ්ල්ටෑන් කියන ගෝත්රික ජනතාව එක්ක ජීවත් වුණු මේ බල්ලාව යොදාගෙන තියෙන්නෙ වලස් දඩයමට උදවු වෙන්නයි. ටහ්ලටෑන් බල්ලා කියන්නෙ අතිශය නිර්භීත බල්ලෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. නැත්නම් මොන බල්ලද වලස්සුන්ගෙන් ගේම ඉල්ලන්න යන්නේ. වලස් දඩයමට යන්න කලින් මේ බල්ලගෙ පස්සා ගාත් ප්රදේශයට උල් අස්ථියකින් ඇනලා තුවාල කිරීමේ සම්ප්රදායකුත් තිබුනලු. වලස් ඉව පස්සේ ගිහින් වලහාව ග්රහණයකට හසු කරගෙන හරි වලසාව කොටු කරගෙන හරි තමන්ගෙ ස්වාමියාට වලසාව දඩයම් කරන එක මේ බල්ලො විසින් පහසු කරනවලු. මෙයත් මේ වෙද්දි මේ ලෝකෙන් තුරන් වෙච්ච සුවිශේෂී බලු වර්ගයක් වෙලා හමාරයි.
6. Dogo Cubano
කියුබානු සම්භවයක් තියන මේ බලු වර්ගේ සටන් බල්ලන් හැටියට වගේම මුර බල්ලන් හැටියටත් භාවිතා කරල තියනවා. පැනලා යන වහල්ලුන්ව හොයාගැනීමටත් මේ බලු වර්ගය සෑහෙන වැඩ කොටසක් කරලා තියනවා. මේ රස්සාව හින්දාම මේ බලු වර්ගෙ පරිහානියත් සිද්ධ වුණා කියලයි කියන්නේ. මොකද පස්සේ කාලෙක කියුබාවේ වහල් සේවයට තහංචි පැණවීමත් එක්ක මේ අයගෙ බෝ කිරීම පහළ වැටිලා ක්රම ක්රමයෙන් වඳවෙලා ගිහින් තියනවා.
7. Paisley Terrier
දිළිසෙන බූල් පිරුණු බොහොම ලස්සන බලු වර්ගයක් තමයි මේ. අපේ මේ ලැයිස්තුවේ හුඟක් බලු වර්ග භාවිතා කරලා තිබ්බේ මිනිසාගේ යම් යම් රාජකාරිවලට සහායට හිටපු බල්ලන් හැටියටයි. හැබැයි මේ කියන පේයිස්ලි ටෙරියර්නම් ප්රධාන වශයෙන් සුරතලෙක් හැටියට හදපු බල්ලෙක්. ඒ වගේම සුනඛ සංදර්ශනවලටත් මෙයාව සෑහෙන භාවිතා කරල තියනවලු. කොහොම වෙතත් මේ අයගෙ දිගු සිනිදු ලොම් නිසා සුනඛ සංදර්ශන තරඟ වලින් මේ අය සෑහෙන ජය අරන් තියනවලු. මේ හේතුවෙන් මේ සුනඛ වර්ගයට සමාන වෙනත් සුනඛ වර්ග ඇති කරන උදවිය මේ බලු වර්ගයට දැඩිව විරෝධය පළ කරලා තියනවා. ඒ හේතුවෙන් ක්රම ක්රමයෙන් මේ පේස්ලි ටෙරියර්ව බෝ කරන එක නැවතිලා උන් වඳවෙලා ගිහින් තියනවා.
Leave a Reply