රළු පරුෂ නොවී ටීම් එක පාලනය කරන හොඳ බොස් කෙනෙක් වෙන්නේ මෙහෙමයි!

දැන් ගොඩක් අය ආසයිනේ බොස් කෙනෙක් වෙන්න. ඒ කියන්නේ ඔෆිස් එකේ අනික් අයව පාලනය කරන, අනික් අයට උඩින් ඉන්න නායකයෙක් වෙන්න ගොඩක් අය ආසයි. හැබැයි ඉතින් එහෙම ආස වුණාට බොස් කෙනෙක් වෙනවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. අනික් අය ලව්වා වැඩ කරවගන්න එක, වැඩ හරි හැටි කළමනාකරණය කරන එක, ටීම් ස්පිරිට් එක තියාගන්න එක වගේ දේවල් එහෙම ඕනම කෙනෙක්ට කරන්න බෑ. එක්කෝ ඒ කෙනා උපතින්ම නායකයෙක් වෙන්න ඕන. එහෙම නැතිනම් කොහොමද නායකයෙක් වෙන්නේ කියන එක ඉගෙනගන්න ඕන.

 

දැන් අපි ගොඩක් වෙලාවට දකින්නේ තමන්ගේ කණ්ඩායමට සැර කරන, රළු පරුෂ විදියට සලකන, කෑ ගහන, බනින බොස්ලනේ. එහෙම බොස් ලට සමහරු බයයි. හැබැයි ටීම් එකේ හැමෝම එහෙම බොස් කෙනෙක්ට කැමති වෙන්නේ ඉතාම කළාතුරකින්. ගොඩක් වෙලාවට බොස් නිසා මූණට නොකිව්වට, වෙනත් තැන්වල බොස්ව විවේචනය වෙන එක තමයි වෙන්නේ. ඒ හැමදේටමත් වඩා, එහෙම වැඩ කරන බොස් කෙනෙක් කියන දේවල් ටීම් එකේ අය කරන්නේ එයා බොස් හින්දා මිසක්, එයාට ඇත්තටම ගරු කරන හින්දා නෙවෙයි. ආන්න ඒක තමයි නරකම දේ. හරි විදියට තමන්ගේ කණ්ඩායම එක්ක වැඩ කරන්න නොදන්න, රළු පරුෂ වීම සහ බොසී වීම තමයි බොස් කෙනෙක් වීම කියලා හිතන නායකයෙක් ගැන කණ්ඩායමේ කාටවත් ගරුත්වයක් ඇතිවෙන්නෙ නෑ. තියෙන ගරුත්වයත් නැතිවෙනවා මිසක්.

 

අන්න ඒ නිසා තමයි, රළු කරළු පරුෂ කම් නැතුව තමන්ගේ ටීම් එක ඉස්සරට ගෙනියන හොඳ බොස් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගැනීම වැදගත් වෙන්නේ.

 

01. කාරුණික වෙන්න

කෙනෙක්ට හොඳ බොස් කෙනෙක් වෙන්න ඕන නම්, අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරන්න ඕන දේ තමයි ස්වභාවයෙන්ම එන කාරුණිකත්වය. ඒ කියන්නේ ටීම් එකේ ඉන්න ඕනම කෙනෙක්ට – දක්ෂයෙක් වේවා, දුබලයෙක් වේවා ඕනම කෙනෙක්ට – සම සිතින් සලකන එක. එක විදියටම කාරුණික වෙන එක. මෙතනදී කාරුණික වෙනවා කියන්නේ ආදරණීයව කතා කරන එකවත්, හැමදාම දුක සැප හොයලා බලන එකවත් නෙවෙයි. ඒවා ජොබ් එකට අදාළ කාරණා නෙවෙයි. හැබැයි පොදුවේ ටීම් එකේ ඕනම කෙනෙක් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න පුලුවන් වෙන එක, කරුණාවෙන් දේවල් පැහැදිලි කරලා දෙන්න පුලුවන් වෙන එක, ඒ වගේම කිසිම කෙනෙක්ව තලන්නේ පෙලන්නේ නැති මනෝභාවයකින් යුතුව කටයුතු කිරීම වගේ දේවල් තමයි මෙතනදී කියන්නේ. සමහර වෙලාවට බොස් කෙනෙක් ස්වභාවයෙන්ම කාරුණික නොවෙන්න පුලුවන්. හැබැයි බොස් කෙනෙක් නම් අඩු ගාණේ කාරුණික වීම ප්‍රැක්ටිස් කරන්නවත් අවශ්‍යයි.

 

02. කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්

ගොඩක් වෙලාවට ටීම් එකක බොස් වෙන්නේ ඒ ටීම් එකේ අනික් අයට වඩා එක්කෝ තමන් කරන වැඩේ හොඳින්ම දන්න කෙනෙක්, එහෙම නැතිනම් ටීම් එකේ අනික් අයට වඩා හොඳ කළමනාකරණ ශක්තියක් තියෙන කෙනෙක්. ආන්න ඒ නිසා, ටීම් එකේ අනික් සාමාජිකයින්ට ෆීඩ්බැක් ලබාදෙන විදිය ගැනත් බොස් කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, “ඔය සේල්ස් පිච් එක කිසිම තේරුමක් නෑ” කියලා දෙන ෆීඩ්බැක් එක කිසිසේත්ම හොඳ ෆීඩ්බැක් එකක් නෙවෙයි. ඒකෙන් ටීම් එකටවත්, ටීම් එකෙන් කරන්න හදන වැඩේටවත් කිසිම ප්‍රයෝජනයක් නෑ. හැබැයි “ඔය පිච් එකේ ස්‍ට්‍රැටජි එක වඩාත් තර්කානුකූල වෙන්න ඕන” කියලා කිව්වොත් ආන්න ඒක ප්‍රයෝජනවත් ෆීඩ්බැක් එකක්. එතකොට ටීම් එකේ සාමාජිකයින්ටත් තේරෙනවා වෙනස් වෙන්න ඕන කොතනද කියලා. ආන්න ඒකට තමයි කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් (constructive criticism) කියන්නේ.

 

03. ටීම් එකේ ෆීඩ්බැක් වලට අවංකව ඉඩ

සමහර වෙලාවට බොස් කෙනෙක්ගේ වුණත්, ටීම් මෙම්බර් කෙනෙක්ගේ ඇරියස් සහ ඊගෝ එක මුළු ටීම් එකේම වැඩ කටයුතු වලට හානියක් වෙන්න පුලුවන්. ඒකට එක උදාහරණයක් තමයි, බොස් හරි ටීම් මෙම්බර් කෙනෙක් හරි තමන් හැමවිටකම නිවැරදියි කියලා හිතන එක. අපි කොයි තරම් දක්ෂයෝ වුණත් අපිට වරදින්න පුලුවන් තැන් එනවා. ආන්න එහෙම අවස්ථාවකදීත් තමන් හරියි කියන තැනම ඉන්නකොට, ඒකෙන් තමන් කරන වැඩේට හානි වෙන එක වළක්වන්න බෑ. විශේෂයෙන්ම බොස් අනික් අයගේ අදහස් ගණන් ගන්නෙ නැතිනම්, එහෙම නැතිනම් ටීම් එකේ අනික් අය බොස්ගේ අදහස් වලට උඩින් යන්න බය නම් මේ විදියේ හානි කවදා හෝ සිද්ධ වෙන එක වළක්වන්න බෑ. අන්න ඒ නිසා හොඳම දේ වෙන්නේ, ටීම් එකේ හැමෝගේම ෆීඩ්බැක් ලබාගන්න එක. ඒකෙන් ටීම් එකේ අනික් අයත් ක්‍රිටිකල් විදියට හිතන්න පුරුදු පුහුණු වෙනවා. ඒ වගේම, ඒකෙන් ප්‍රොසෙස් එක පොඩ්ඩක් පරක්කු වෙන්න පුලුවන් වුණත්, සාමූහිකව වැරදි නිවැරදි දේ හොයාබැලෙන නිසා, වැරදි සිද්ධ වෙන්න තියෙන ඉඩ අවම වෙනවා.

 

04. වැරදිකාරයෝ නෙවෙයි වැරැද්ද

අපි ඕනම කෙනෙක්ගේ අතින් වැරදි සිද්ධ වෙනවනේ. ඒක මනුෂ්‍ය ස්වභාවය. සාමාන්‍යයෙන් සමාජයේ මනුස්සයෙක් ලොකු වැරැද්දක් කළහම, ඒක විසඳන්න නීතිය හා සාමය සම්බන්ධ ආයතන තියෙනවා. ඒ ආයතන වලින් වැරදිකාරයාව හොයලා දඬුවම් දෙනවා. හැබැයි ආයතනයක ක්‍රියාකාරීත්වය ගෙනියන්න එහෙම වැරදිකාරයාව හොයලා දඬුවමක් දීලා තියන එක නෙවෙයි හරි විදිය. හොඳ බොස් කෙනෙක් හැමවිටම කරන්නේ වැරදිකාරයාව වගේම වැරැද්දත් හඳුනාගන්න එක. ඊට පස්සේ අන්න ඒ වැරැද්ද නොවෙන්න අවශ්‍ය ඇයි කියන එක ටීම් එකත් එක්ක සාකච්ඡා කරන එක හොඳ පියවරක්. හැබැයි එහෙමයි කියලා වැරැද්ද සිද්ධ වුණු කෙනාව අමතක කරලා දාන එක නෙවෙයි කරන්න ඕන. මුලින්ම එයත් එක්ක කතාබහකට ගිහින් වැරැද්ද සිද්ධ වෙන්න හේතු අවබෝධ කරගන්න එක හොඳ බොස් කෙනෙක් කරන දෙයක්. සමහර වෙලාවට ඒ වැරැද්ද කරපු කෙනාගේ අතින් ආයෙමත් ඒ වැරැද්ද නොවෙයි කියලා සහතික වෙනකල් ඒ කෙනාගෙන් යම් යම් වගකීම් අයින් කරලා තියන්න සිද්ධ වෙන්න පුලුවන්. හැබැයි වැරැද්ද සිද්ධ වුණු කෙනාට රළු පරළු විදියට සලකන එක නෙවෙයි හොඳ බොස් කෙනෙක් කරන්නේ.

 

හැබැයි තව දෙයක්, ඒ වැරැද්ද කරපු කෙනා ආයෙ ආයෙමත් ඒ වැරැද්දම කරනවා නම්, ඒ කෙනාව සම්පූර්ණයෙන්ම ටීම් එකෙන් අයින් කරන්න සිද්ධ වෙන්න පුලුවන්. එතකොට හොඳ බොස් කෙනෙක්ට ඒ තීරණයත් ආයෙමත් හැරෙන්නෙ නැතුව ගන්න පුලුවන් වෙන්න ඕන. හැබැයි එහෙම මිසක් වැරදිකාරයාව කොන් කරලා, රළු විදියට සලකලා දඬුවම් දෙන්න යනවා නම් ඒක නරක බොස් කෙනෙක්ගේ ස්වභාවයක්.

 

05. බලය බෙදාහරින්න

ගොඩක් වෙලාවට නරක බොස්ලාගේ දකින්න පුලුවන් ගතිගුණයක් තමයි බලය අල්ලගෙන සිටීම සහ මයික්‍රොමැනේජ් කරන්නට යෑම. ඒ කියන්නේ, එහෙම බොස්ලට තමන්ගේ ටීම් එකේ අය හරියාකාරව වැඩක් කරයි කියලා කිසිම ෂුවර් එකක් නෑ. ඒ නිසාම, එහෙම බොස් කෙනෙක් හිතනවා තමන් හැමවෙලේම බලය තමන් අතේ තියාගෙන ඉන්න ඕන, හැම දෙයකටම තමන් ඇඟිලි ගහන්න ඕන කියලා. මෙහෙම හිතන බොස් කෙනෙක් රළු පරළු බොස් කෙනෙක් නම් වැඩේ තවත් ප්‍රශ්නකාරීයි. ඒකෙන් වෙන්නේ මුළු ටීම් එකම ෆේල් වීම වෙන්න පුලුවන්. අන්න ඒ නිසා, බොසී වෙන්නෙ නැති හොඳ බොස් කෙනෙක් විදියට මේ බලය ටීම් එක අතර බෙදාහරින්න හිතන එක වඩාත් ප්‍රායෝගිකයි. උදාහරණයක් විදියට ප්‍රොජෙක්ට් එකේ යම් යම් කොටස් වලට වගකීම ගන්න විවිධ සාමාජිකයෝ පත් කරන්න පුලුවන්. අන්න එතකොට බොස්ට තියෙන්නේ උඩින් ඉඳන් බලාගෙන ඉන්න විතරයි.

 

06. ප්‍රශංසාවේ කලාව

බොසී නැති, රළු පරළු කම් නැති හොඳ බොස් කෙනෙක් වෙන්න නම්, අවශ්‍ය තැන ප්‍රශංසා කිරීමේ කලාව ඉගෙන ගන්න ඕන. මොකද, ඇත්තටම ගොඩක් ආයතන වල ඇත්තටම මනුස්සයෙක් කරන වැඩේ ප්‍රමාණයටම පඩි ගෙවන්නේ නැහැනේ. විශේෂයෙන්ම මේ ආර්ථිකයත් එක්කත් එහෙම ගෙවන්න හැකියාවක් නැති වෙන්න පුලුවන්. හැබැයි එහෙමනම්, මනුස්සයෙක් ජොබ් එක දාලා නොයා ඒ ජොබ් එකේ රැඳී ඉන්න හේතුවක් තියෙන්න ඕනනේ. ආන්න ඒ හේතුව වෙන්නේ රැකියාවෙන් ලැබෙන තෘප්තිමත් භාවය වෙන්න පුලුවන්. ආන්න ඒ රැකියා තෘප්තිය ඇති කරන්න නම් අත්‍යවශ්‍ය කාරණයක් තමයි තමන් කරන දේට ප්‍රශංසා ලැබීම. ඉතින් හොඳ බොස් කෙනෙක්ට අන්න ඒක කරන්න පුලුවන් වෙන්න ඕන. දැන් සමහර බොස්ලා ඉන්නවා එයාලගෙන් ප්‍රශංසාවක් ලැබීම ගලකින් පට්ටයක් ගන්නවා වගේ. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි. එතකොට තව බොස්ලා ඉන්නවා, මූනිච්චාවට ටීම් මෙම්බර් කෙනෙක් කරන මොන සුළු දේටත් ප්‍රශංසා කරන. ඒකත් හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා, හොඳ බොස් කෙනෙක් වෙන්න නම්, නිරන්තරයෙන්ම ටීම් මෙම්බර්ස්ලාව දිරිමත් කිරීම, ඒ අය සාර්ථකව කරන ඕනම දේකට ප්‍රශංසා කිරීම ඉගෙන ගන්න ඕන.

 

07. යාළුවෝ නෙවෙයි, හැබැයි හොඳ ටීම් මෙම්බර් කෙනෙක්

ඔෆිස් වල අපිට යාලුවෝ ඉන්නවනේ. සාමාන්‍යයෙන් නම් අපි කියන්නේ ඔෆිස් වල යාලුවෝ තියාගන්න එපා, එකට වැඩ කරන අය තියාගන්න කියලා තමයි. හැබැයි ඉතින් ඕක ප්‍රායෝගිකව වෙන්නෙ නෑ. එකට වැඩ කරන මිනිස්සු යාළු මිත්‍රකම් නිර්මාණය කරගන්න එක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක්. හැබැයි ඇත්තටම බොස් කෙනෙක් මේක කිසිසේත්ම නොකළ යුතුයි. බොස් කෙනෙක් තමන්ගේ ටීම් එකේ අයගේ යාළුවෙක් වෙන එක නෙවෙයි වෙන්න ඕන, කාරුණික සහ හොඳ ටීම් මෙම්බර් කෙනෙක් වෙන එක තමයි කරන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ටීම් එකේ අය එක්කම මහන්සි වෙලා වැඩ කරන, තමන් නොකරන දෙයක් ටීම් එක ලව්වා කරවාගන්නට නොයන, කාරුණික සහ ඉවසීම තියෙන, විශේෂයෙන්ම ටීම් එකේ අනික් අය ගැන මානුෂීයව හිතන ටීම් මෙම්බර් කෙනෙක් වෙන එක තමයි බොස් කෙනෙක් කරන්න ඕන.

දැන් මේ කරුණු ටික සලකලා බැලුවහම කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, බොස් මේ විදියට යහපත්, කාරුණික කෙනෙක් නම්, ටීම් එකේ මෙම්බර්ස්ලත් ඒ විදියටම වෙන්න ඕන නේද කියලා. හැබැයි මිනිස්සු විවිධාකාරයිනේ. අන්න එතකොට ටීම් එකේ වුණත් ඉන්න පුලුවන් බොස්ගේ මේ යහපත් කමෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන, බොස් හොඳයි කියලා වැඩ මග අරින්න හදන, බොස් හොඳ නිසා බොස්ගේ කණෙන් රිංගලා යන්න පුලුවන් කියලා හිතන සේවකයොත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? ආන්න ඒ ගැනත්, ඔෆිස් එකක ඔෆිස් කල්චර් එකට හැඩ ගැහෙන එක ගැනත් අපි වෙනම කතා කරනවා.

Leave a Reply

Your email address will not be published.