පිළිකාව නිසා අපි අතරින් සමුගෙන ගිය සොඳුරු මිනිසුන්

පිළිකාව කියන දේ අපේ සමාජය තුළ දැන් සාමාන්‍ය රෝගාබාධයක් බවට පත්වෙලා. ඇතැම් පිළිකා මුල් අවස්ථාවේ දී ම හඳුනාගැනීම තුළින් සියයට සීයක් සුවකර ගැනීමේ හැකියාව තියෙනවා. ඇතැම් පිළිකා නම් මාරාන්තිකයි. යහපත් සෞඛ්‍යයෙන් යුතු ජීවිතයක් ගත කිරීම පිළිකාවලින් තොර හෙටක් වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙනවා. Lifie මේ සටහන පිළිකා රෝගය නිසා අපි අතරින් සමුගෙන ගිය සොඳුරු කලාකරුවන් කීප දෙනෙක් ගැන.

 

1. හෙන්රි ජයසේන 

පුංචි තිරයේ සුදු සීයා වුණු හෙන්රි ජයසේන රිදී තිරයේදී පියල් බවට පත් වුණා. දැඩි ලෙස දුම්බීමට ඇබ්බැහි වී සිටි හෙන්රි ජයසේන මහතා මිය ගියේ පිළිකාවකින්. තමන්ට පිළිකාවක් වැළඳුණා යැයි කියා දැනගත් අවස්ථාවේ දී පවා එතුමා සිතා ඇත්තේ තමන් මියගිය පසු තමන්ගේ ආදරණීය බිරිඳ වුණු මානෙල් ජයසේන තනි වෙනවා නේද යන්නයි. නමුත් වෙනත් සෞඛ්‍ය ගැටලුවක් නිසා මානෙල් ජයසේන ඔහුට කලින් මෙලොවින් සමුගත්තා. තමන් පිළිකාව සමඟ ගත කළ ජීවිතය ගැන එතුමා පොතකුත් ලිව්වා. ඒ පොතේ නම “බල්හ ගිලානං.”

 

2. ට්‍රිලීෂියා ගුණවර්ධන 

ට්‍රිලීෂියා පළමු වැනි මනමේ කුමරිය විදිහට සිංහල නාට්‍ය ඉතිහාසයේ වාර්තාවක් තබපු කාන්තාවක්. ඒ වගේම ඇය ගම්පෙරළිය චිත්‍රපටය තුළ අනුලාගේ චරිතය විශිෂ්ට අයුරින් නිරූපණය කළා. ගම්පෙරළියේ අනුලා, කළියුගයේදී ක්ෂය රෝගයෙන් මිය ගිය අතර ට්‍රිලීෂියා ගුණවර්ධනට ජීවිතයෙන් සමුගන්නට සිදු වුණේ පිළිකා රෝගය නිසා. එවකට ක්ෂය රෝගයත් සැලකුණේ ප්‍රතිකාර රහිත රෝගයක් විදිහට.

 

3. රෙබෙකා නිර්මලී 

ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලි නාට්‍යයේ වෙදහාමිනේ විදිහට තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරපු රෙබෙකා එම නාට්‍යය තුළ නිරූපණය ක​ළේ බටහිර වෛද්‍ය ක්‍රමය මගින් සුවපත් කළ නොහැකි රෝගියෙකුව සුවපත් කරන දේශීය වෛද්‍යවරියකගේ චරිතයක්. නමුත් සැබෑ ජීවිතය තුළදී නම් ඇයට පිළිකාව ඉදිරියේ පරාජය වීමට සිදු වුණා. ඇගේ හිතවතියන් නම් ඇගේ මරණය අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ පිළිකාව හඳුනා ගැනීමට ඇය ප්‍රමාද වූ බවයි.

 

4. ජනේෂ් සිල්වා 

ෆ්‍රෙඩී සිල්වාගේ ආදරණීය පුත්රයා වූ ජනේෂ් සිල්වා සිය පියා මෙන්ම විකට ජවනිකා තුළින් සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ට ලං වුණා. නමුත් එතුමාගේ රංගන ජීවිතය කෙටි කාලයකට සීමා වෙන්න සිද්ධ වුණේ පිළිකා රෝගය නිසා. නමුත් එම රෝගයට එතුමා නිර්භීතව මුහුණ දුන්නා කියලා කියලා කිව්වොත් නිවැරදියි. තමන්ගේ රෝගය පිළිබඳව ප්‍රසිද්ධියේ පුවත්පත් සමඟ පවා අදහස් දක්වන්න එතුමා ක්‍රියාකරලා තිබ්බා.

 

5. සතිෂ් පෙරේරා 

පිය උරුමයෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු සතිෂ්, ක්ෂේත්‍රය තුළ සිය පියාටත් වඩා ගමනක් යනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළා. ඒ පියාගේ ශෝකී ස්වරයම ඔහුටත් උරුම වෙලා තිබුණු නිසා. මේ නිසාම පියාගේ ගීත හැඟුම්බරව ගායනා කිරීමට ඔහුට හැකියාව ලැබුණා. නමුත් අවාසනාවකට වගේ පිළිකා රෝගය ඔහුව අපෙන් උදුරාගත්‍තා.

 

6. මර්ටල් ප්‍රනාන්දු

සිංහල සිනමාවේ ප්‍රධානතම සංධිස්ථානයක් වුණු රේඛාව චිත්‍රපටියේ ප්‍රධාන ළමා චරිතයක් වුණු අනුලාගේ චරිතය රඟපෑමට මර්ටල් ප්‍රනාන්දු භාග්‍ය​ය ලබන විට පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියා. ඊට පෙර ඇය ‘පුදුම ලේලි’ චිත්‍රපටයේ පමණයි රඟපා තිබුණේ. නමුත් අවාසනාවකට වගේ වයස අවුරුදු 16 වන විට ඇයට ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වුණේ පිළිකාවක් ඇගේ ජීවිතයට බාධා එල්ල කිරීම නිසා.

 

7. සෝමපාල ප්‍රනාන්දු

රේඛාව චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන ළමා චරිතය වුණු සේනගේ චරිතය රඟපෑවේ එවකට පසළොස් හැවිරිදි වියේ පසුවූ සෝමපාල ධර්මප්‍රිය. නමුත් පසු කලකදී සෝමපාල වඩාත් ප්‍රිය කරන්නේ සිනමාවේ කාර්මික අංශය කෙරෙහියි. ඔහු ‘ආදරවන්තයෝ’, ‘ආදර කතාව’, ‘සලඹක් හඬයි’ වැනි චිත්‍රපටි ගණනාවක කැමරාව මෙහෙයවීමට දායකත්වය ලබා දුන්නා. නමුත් මර්ටල්ගේ වගේම සෝමපාලගේ ජීවිතයත් පිළිකාව විසින් කෙටි කරනු ලැබුවා.

 

8. ජයලත් මනෝරත්න

ලිපිය නිමා කරන්නට අපට සිදු වන්නේ මෑතකදී පිළිකා මාරයා විසින් අපෙන් උදුරාගත් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්ව සිහිපත් කරමිනුයි. ඒ තමයි ප්‍රවීණ රංගධර ජයලත් මනෝරත්නයන්. පිළිකා රෝගයෙන් කලක් පීඩා වින්ද ඒ මහතා පසුගියදා අපෙන් වෙන්වන විට 71 ව​න වියේ පසුවුණා.

 

අවසාන වශයෙන් අපි ඔබට කියන්නේ පිළිකාව යනු බොහෝ විට මුල් අවස්ථාවේ හඳුනා ගත් විට සුවකර ගත හැකි රෝගයක් නිසා පිළිකා රෝගය පිළිබඳව දැනුවත් වන්න කියායි. ඒ පිළිබඳව බොහෝ අධ්‍යාපනික වැඩසටහන් සහ ලිපි අන්තර්ජාලය තුළත් ඇතුළත් වෙනවා, ඒවා පරිශීලනය කරන්න. දැනුවත් වන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *