සාමාන්‍යයෙන් ඔෆිස් එකක් කියන්නේ ගොඩක් රැකියා කරන අයට දෙවෙනි ගෙදර වගේ තැනක්නේ. ඒකනේ සමහරු කියන්නේ “කන්තෝරුව තමයි මාගේ විනෝද උයන” කියලත්. කොහොම හරි ඉතින් කන්තෝරුවක් නැතිනම් දැන් කාලේ කියන විදියට ඔෆිස් එකක් කියන්නේ එකිනෙකාගෙන් වෙනස් මිනිස්සු ගැහැණු පිරිසක්, රාජකාරීමය බැම්මකින් බැඳිලා එකට ඉන්න තැනක්. මෙතන නානාවිධ ආකාරයේ යාලුමිත්තර කම්, යාලුමිත්තරකම් වලින් එහාට ගියපු අනං මනං කම් වගේම සතුරු කම් එහෙමත් ඇතිවෙන්න පුළුවන්. පොලිටික්ස් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔෆිස් එකක ඉන්න ඕන මේ විදියටයි, ඔෆිස් එකකට තමන් දක්වන්න ඕන දායකත්වය සහ ඔෆිස් එකක තමන්ගේ අයිතිවාසිකම් මේ විදියයි කියලා අපිට පැහැදිලිව දක්වන්න පුළුවන් ආචාර ධර්ම, විධිවිධාන තියෙනවා. හැබැයි ඉතින් අර මුලිනුත් කිව්වා වගේ ඔෆිස් එකක ඉන්නෙත් මිනිස්සු. එකිනෙකාගෙන් වෙනස් වුණු, වෙනස් වෙනස් විදි වලට හිතන මිනිස්සු. අන්න ඒ නිසා ඒ මිනිස්සු අතින් වැරදි සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට වෙන්නේ හරි දේවල් කියලා හිතාගෙන ඔෆිස් එකක ඉන්න අය වැරදි දේවල් කරනවා. ආන්න එව්වා ගැන තමයි මේ කියන්න යන්නේ.
1. හොයා බැලීම වෙනයි, ඕපාදූප වෙනයි
දැන් ඔෆිස් එකක වැඩ කරන අය හැමෝම එක කුලකයකට අයිති වෙනවා. ඒ තමයි එක ඔෆිස් එකේ ස්ටාෆ් එක කියන එක. අන්න එතනදී අපි රොබෝලා වගේ වැඩ කරන්න ඕන නෑ. අනික් එකා එක්ක බොක්කේ තියෙන දේත් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕන තමයි. හැබැයි අනෙක් එකා ගැන මානුෂීය මට්ටමකින් හොයා බැලීම සහ කෙයාර් කිරීම වරදක් නෙවෙයි. විශේෂයෙන්ම ඔෆිස් ස්ටාෆ් එකේ කෙනෙක් ප්‍රශ්නෙක ඉන්නවා කියලා පේනවා නම්, අවුලක් තියෙනවා නම් තමන්ගේ ශක්ති මට්ටමෙන් හොයා බැලීම සහ උදවු කිරීම හොඳයි.
හැබැයි රජෝ ඕපාදූප හෙවිල්ල කියන්නේ නම් ගැටළුවක්. එතනදී ඇත්තටම තියෙන්නේ සහෝදර කාර්යාල සේවකයෙක්ට හෝ සේවිකාවකට උදවු කිරීමේ අරමුණට වඩා හිනාවීමේ අරමුණනේ. සමහරු උදවු කරන්න ගිහිල්ලා, ගොසිප් අරගෙන ඇවිත් වපුරනවා. ආන්න ඒක නරකයි.
2. ඇගයීමට ලක් කිරීම වෙනයි, පස්සට පිහියෙන් ඇනීම වෙනයි
ඇගයීමක් කියන්නේ හොඳ කීමක් කියලා තමයි ගොඩක් ඔෆිස් වල වැඩ කරන අය හිතාගෙන ඉන්නේ. හැබැයි ඇත්තටම ඇගයීමක් කියන්නේ හොඳ දේවල් වගේම දියුණු කරගන්න පුළුවන්, දියුණු කරගත යුතු දේවල් ගැනත් මනා තක්සේරුවක් කරන එක. එතනදී යාලුෆිට් එකට හොඳ කියන්න වුවමනා නෑ. බොරුවට නරක කියන්නත් වුවමනා නෑ. මොකද, අපි තවත් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් ගැන හරි හැටි තක්සේරුවක් කළොත්, ඒක ඔෆිස් එකේ වැඩකටයුතු සිදුවීමටත් හොඳයි, ඒ කියන්නේ අපිටත් හොඳයි.
හැබැයි ඉතින් ඉවැලුවේෂන් එකක අර බොරුවට නරක කියන එක, නැති වැරදි හොයලා කිවීම කියන්නේ නරක දෙයක්. ඒකෙන් පාඩුව වෙන්නෙත් දීර්ඝ කාලීනව බැලුවහම තමන්ටම තමයි.
3. කෙලින් කතා වෙනයි, රූඩ් කතා, හින්ට් ගැහිලි වෙනයි
සමහරු ඉන්නවා කෙලින් කතා කරන. හැබැයි ඒ කෙලින් කතාවට හිත් රිදෙන්නෙ නෑ. ඒ වගේම යම් දෙයක් කෙලින් කියලා ඒක එතනින් ඉවර කරන්නත් පුළුවන් ඒ අයත් එක්ක. පර්සනල් ගන්න දෙයක් නෑ. ආන්න ඒ අය තමයි කෙලින් කතා තියෙන මිනිස්සු.
තව ඔෆිස් වල කට්ටියක් ඉන්නවා තමන් කෙලින් කතා කරනවා කියලා හිතාගෙන ඉන්න. මේ මිනිස්සු එක්කෝ කරන්නේ හිත රිදෙන්න වචන වලින් දමලා ගහන එක, මිනිස්සුන්ට රූඩ් වෙන එක. එහෙම නැතිනම් තව සෙට් එකක් ඉන්නවා හින්ට් ගහන. හැබැයි ඔය දෙකම කෙලින් කතා නෙවෙයි. ඒවා හදාගන්න ඕන වැරදි.
4. දෝෂ සාකච්ඡාව වෙනයි, වැරැද්දට බෝලේ පාස් කිරීම වෙනයි
දැන් ඔන්න අපේ ටීම් එකේ කවුරුහරි අතින් වැරැද්දක් වෙනවා. එතකොට මොකද කරන්නේ? අපි හොයනවා කොහොමද වැරැද්ද වුණේ, මොකක් නිසාද වැරැද්ද වුණේ, කවුරු අතින්ද වැරැද්ද වුණේ සහ ඒ වැරැද්ද ඊලඟට නොවෙන්න කරන්න ඕන දේවල් මොනවද කියලා. ආන්න ඒකට කියන්නේ දෝෂ සාකච්ඡාව කියලා. එතනදී අපිට වැරැද්ද කරපු එකාව අස් කරන්න හරි, උල තියන්න හරි ඕන නෑ. අපිට ඕන කරන්නේ ඒ වැරැද්ද ඒ කෙනා අතින් හෝ වෙනත් කෙනෙක් අතින් හෝ ආයෙ නොවෙන්න. එච්චරයි.
හැබැයි බෝලේ පාස් කරන්නෝ එච්චර දුර හිතන්නෙ නෑ. ඒ අය කරන්නේ වැරැද්ද කරපු කෙනාව පොයින්ට් කිරීම. ඌව දඬුකඳේ ගහන්න කතා කිරීම. ඒ වගේම වැරැද්ද තමන් අතේ නම් කොහොමින් කොහොම හරි ඒ වැරැද්ද වෙනත් කෙනෙක්ට පැටවීම. තමන් ෂේප් වීම. ආන්න ඒක අන්තිම නරකයි.
5. ෆ්‍රෙන්ඩ්ලි වීම වෙනයි, අනං මනං සීන් දැමීම වෙනයි
මේක නං ඇත්තටම ඔය ඔෆිස් ගොඩක් ඒවල තියෙන ප්‍රශ්නයක්. දැන් ඔය ඔෆිස් වල ඔෆිස් ලව් තියෙනවා. සමහර ඔෆිස් වල ඔෆිස් ලව් තහනම් වුණත්, එව්වා නවතින්නෙ නෑ. අපිට ඒ ගැන කතා කරන්න ඕනෙත් නෑ.
දැන් සාමාන්‍යයෙන් ඔෆිස් එකක ඉන්නකොට අපි බිල්ලෝ, බුම්මන්නෝ වගේ ඉන්න බෑනේ. හොර හතුරෝ වගේ ඉන්නත් බෑනේ. අපි සුහද වෙන්න ඕන. එකිනෙකාට කාරුණික වෙන්න ඕන. කොටින්ම කියනවා නම් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න ඕන.
හැබැයි සමහරු ඉන්නවා, මේ ෆ්‍රෙන්ඩ්ලි වීම ඕනවට වැඩියි. දෙපැත්ත කැපෙන කතා, අනවශ්‍ය ඉඟි බිඟි, අත පත ගෑවිලි, සෙක්ස් ආරාධනා වගේ ඔය ඕනම එකක් කරලා, වැරදෙන්න යනකොට ඒක ෂේප් කරනවා ඒ ඔෆිස් එකේ සුහදත්වය කියලා. නෑ, ඒක ෆ්‍රෙන්ඩ්ලි වීම නෙවෙයි. ඒක සීමාව ඉක්මවීම!
6. රාජකාරිය කිරීම වෙනයි, බොස්ටත් වඩා ඔෆිස් එකට ලව් කිරීම වෙනයි
මේක ඉතින් ටිකක් හිනාත් යන කාරණයක්. දැන් සාමාන්‍යයෙන් ඕනම සේවකයෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ රාජකාරිය හොඳින් ඉෂ්ට කිරීම. අකුරට රාජකාරිය කිරීම නෙවෙයි, එතනිනුත් එහාට ගිහිල්ලා, ඔෆිස් එකේ අභිවෘද්ධිය ගැනත් හිතලා අවශ්‍ය උපරිමයෙන් රාජකාරිය කිරීම. ඒක හරි.
හැබැයි තව සමහරු ඉන්නවා, ඔෆිස් එකට ලොක්කටත් වඩා ලව්. අයිතිකාරයාටත් වඩා ලව්. අන්න ඒ නිසා රාජකාරිය උපරිමයෙන් කිරීම වෙනුවට ජීවිතේම රාජකාරිය කරගන්න හදනවා. මේ ජාතියේ සමහරු ලොක්කට පන්දම් අල්ලන එකේ ඉඳලා ලොක්කගේ පස්ස හෝදන එක දක්වා දේවල් කරන්න යනවා. අන්න ඒකෙන් ගොඩක් වෙලාවට රාජකාරිය උපරිමයෙන් කරන්නත් බැරි වෙනවා. අන්න ඒක වැරදියි.
7. ඉහළ නැගීම වෙනයි, අනික් එකාගේ කකුලෙන් ඇදීම වෙනයි
ඔෆිස් එකක වැඩ කරන මනුස්සයෙක් හැම වෙලේම හිතන්න ඕන තමන්ගේ වෘත්තියේ ඉහළ නැගීම ගැන. තමන් ඉන්න තැන ඕකේ නම්, වෙන ඉහළට යන්න ඕනැත් නැතිනම්? ඒත් ලෝකේ වෙනස් වෙනවා. තමනුත් ඒ එක්ක යාවත්කාලීන නොවුනොත්, අද තියෙන ජොබ් එකට හෙට ඊට වඩා වැඩේ අලුත් විදියට කරන්න පුළුවන් කෙනෙක් එයි. අන්න ඒ නිසා තමන් දියුණු වීම, ඉගෙන ගැනීම සහ ඒ අනුව ඉහළ නැගීම තමයි හරි ක්‍රමය.
හැබැයි සමහරු තමන් ඉහළ නගින්න උත්සාහ කරන්නේ වැඩ උපරිමයෙන් කරලා, හැකියාව පෙන්නලා, අලුතින් දේවල් ඉගෙන ගෙන එහෙම නෙවෙයි. තමන් එක්ක මේ වෘත්තිය ඉණිමගේ නගින අනික් එවුන්ගේ කකුලෙන් ඇදලා, පහළට දාලා තමයි තමන් උඩට යන්න හදන්නේ. මේක ඉතින් කේලම් කීම, අවස්ථාවන් නැති කිරීම වගේ නොයෙකුත් ක්‍රම වලට කරනවා. ආන්න ඒක වැරදි ක්‍රමය. ඒක තාවකාලිකයි.
Leave a Reply