නිදහසේ බෝතලේකුත් අරගෙන ගිහිල්ලා, කාලා බීලා එන්න පුළුවන් කොළඹ අවට හොඳ​ම තැන්!

සාමාන්‍යයෙන් යාලු මිත්තරයන්ට වුනත්, කපල් එකකට වුනත් නිදහසේ ගිහිල්ලා කාලා බීලා එන්න පුළුවන් රෙස්ටුරන්ට් සිය ගණන් කොළඹ අවට තියෙනවා. හැබැයි සමහර වෙලාවට කෑමත් එක්ක ඇල්කොහොල් පොඩ්ඩක් සෙට් වෙන එක මරු. විශේෂයෙන්ම මිතුරු හමුවකදී විතරක් නෙවෙයි, කපල් එකකට තමන්ගේ සංවත්සරයක් සමරනකොට වුනත් වයින් හරි, ඊට වඩා ස්ට්‍රෝන්ග් ඇල්කොහොල් වර්ගයක් හරි එක්ක හොඳ කෑමවේලක් කන්න පුළුවන් තැනකට යන එක වටිනවා. ඒ නිසා අපි සූදානම් ඒ විදියේ කොළඹ අවට තියෙන කොලිටි තැන් කිහිපයක් හඳුන්වලා දෙන්න. මේ තැන්වලට ගිහින් බලලා, ඒ අත්දැකීම කොහොමද කියලා අපිටත් කියන්න.

 

1. August Middle Eastern

මමා ඒඩාගේ ඕගස්ට් කඩේ නැතිනම් දැන් මේ අයගේ නම කියන විදියට ඕගස්ට් මිඩ්ල් ඊස්ටන් කියන්නේ අවුරුදු ගණනාවක් ගෙවිලා ගිහිල්ලත් තාමත් ගොඩක් දෙනෙක්ගේ අවධානයට අහුවෙලා නැති මැදපෙරදිග නියම ආහාර පාන තියෙන රෙස්ටුරන්ට් එකක්. පොඩ්ඩක් ෆයින් ඩයිනින් නැඹුරුතාවය තියෙන මෙතනට නිස්කලංකව ගිහින් වෙනස් විදියේ කෑම ටිකක් කාලා එන්න හිතන යාලුවන්ට වුනත්, කපල් එකකට වුනත් පුළුවන්. ඒ වගේම ඕන නම් ඒ කෑමවේලට වයින් උගුරක් එහෙම එකතු කරගන්න එකත් ගැටළුවක් නෙවෙයි. එකම දේ, මේ අයගේ මෙනු එක බලලා, ඒ ඒ මැදපෙරදිග ආහාර වර්ග වලට ගැලපෙන විදියේ වයින් එකක් අරගෙන යන්න පරිස්සම් වෙන්න. එච්චරයි. 

2. Giovanni’s Pizza

තිඹිරිගස්යායේ තියෙන ජියෝවානිගේ පීසා කඩේ ගැන අපිට තියෙන්නේ කවදාවත් වෙනස් නොවෙන ලව් එකක්. ඒ නිසා යාලුවෝ සෙට් එකකට වුනත්, ලව් කරන දෙන්නෙක්ට වුනත් වයින් බෝතලේකුත් අරගෙන ගිහින්, වයින් උගුරක් තොලගාන ගමන් රස පීසා එකකුත් කාලා, කයියකුත් ගහලා එන්න පුළුවන් තැනක් විදියට අපි මෙතන රෙකමන්ඩ් කරනවා. යාලුවෝ කීපදෙනෙක්ගේ සෙට් එකක් නම් පහළ තට්ටුවේ හොඳට එලිය තියෙන රෙස්ටුරන්ට් එක තියෙනවා. එහෙම නැතුව දෙන්නත් එක්ක යනවා නම්, අඩ අඳුරේ නැහැවිලා තියෙන උඩ තට්ටුව තමයි හොඳම. ඕන නම් ජියෝවානි එකේ කට්ටිය බෝතලේ චිල් කරලත් දෙයි. 

3. Breeze Barracuda

බැරකූඩා කිව්වහම දන්නෙ නැති කොළඹ කරක් ගහන හාදයෝ හාදියෝ ඉන්න විදියක් නෑ. ගොඩක් දෙනෙක්ගේ අති ජනප්‍රිය හමුවීම් පොට් එකක් වෙන වැල්ලවත්තේ බැරකූඩා එකේම තවත් පොට් එකක් තමයි ගෝල් ෆේස් එකේ තියෙන බ්‍රීස් බැරකූඩා කියන්නේ. එතකොට වැල්ලවත්ත බැරකූඩා එකේ වගේම ගෝල්ෆේස් බ්‍රීස් බැරකූඩා එකෙත් තමන්ගේ ඇල්කොහොල් පිටින් ගේන එක කිසිම අවුලක් නෑ. කොහොමත් මෙතන ඇල්කොහොල් නැති එකේ පිටින් ගේන එක තමයි විකල්පය. බොන්නෙ නැති සාමාජිකයෙක්ට ජූස්, ෂේක්, කෝපි වගේ විකල්ප මෙතන තියෙනවා. තෝරගන්න කෑම අයිටම්ස් වුනත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ගෝල් ෆේස් එකේ ඉර බැහැගෙන යන හැටි නරඹමින් යාලුවෝ එක්ක ෂොට් එකක් නවන්න මෙතන මරු.

 

4. Upali’s by Nawaloka

ටවුන් හෝල් එකේ නිස්කලංක හරියක තියෙන උපාලිස් කියන්නේ පොකට් එකට රිදෙන්නේ නැතුව හොඳ කොලිටි කෑම වේලක් කාලා එන්න පුළුවන් තැනක්. ලොකුවට අය කරන්නේ නැති වුනාට, උපාලිස් එකේ ඉහළ පන්නයේ රෙස්ටුරන්ට් එකක වාතාවරණයත්, වටපිටාවත්, කෑම කොලිටියත් තියෙනවා. ඒ නිසා බය නැතුව යාලුවෙක්ව වුනත් එක්කගෙන යන්න පුළුවන්. කෑම නම් ශ්‍රී ලංකන්. ඒ කියන්නේ ඔය ශ්‍රී ලංකන් චයිනීස් වගේ හයිබ්‍රිඩ් වුණු ඒවා නෙවෙයි, කෙලින්ම රයිස් ඇන්ඩ් කරි වල ඉඳලා පොල් රොටී වල ඉඳලා රෝස් පාන් දක්වා ශ්‍රී ලංකාවේ කෑම ජාති තියෙන්නේ. හැබැයි තෝරගන්නත් විකල්ප ඕන තරම් මෙනු එකේ තියෙනවා. ඕකට ගැලපෙන්න අනුපානෙට රහමෙර චුට්ටකුත් සෙට් කරගන්නවා නම්, උපාලිස් එකේ සේවක මහත්තයෙක්ට කියන්න. නිදහස් තැනක් සෙට් කරලා දෙයි.

 

5. Culture Colombo

නියම ශ්‍රී ලාංකීය ආහාර පාන තවත් ලෙවල් එකකට ගෙනිහින් පිරිනමන ඉතාම කොලිටි රෙස්ටුරන්ට් එකක් තමයි කල්චර් කලම්බෝ කියන්නේ. කොළඹ තියෙන පරණ බංගලාවක පෙනුම තියෙන, නිදහස් වටපිටාවක පිහිටලා තියෙන කල්චර් කලම්බෝ යාලුවෙක් එක්ක නිදහස් වෙලාවක් ගත කරන්න යන්න කියාපු තැන. මේ අයගේ කෑම ගැන කිවුවත් නියම ශ්‍රී ලාංකීය කෑම, ඉහළ කොලිටියකින් සහ ඉහළ රසකින් ලබාගන්න පුළුවන්. ආයෙ බිත්තර ආප්ප වල ඉඳලා ඉඳි ආප්ප දක්වා විවිධ කෑම වර්ග සහ ඒවලටම හරියන නියම ශ්‍රී ලාංකීය කරි සහ සම්බෝල එක්ක බොහොම පුළුල් පරාසයක අයිටම් තොගයක් මේ අයගේ මෙනු එකේ තියෙනවා. ඕන නම් ඒ කෑම වලට හරියන්න වයින් බෝතලයක් එහෙමත් ගෙනියන්න පුළුවන්.

 

6. M’eat Us

මස් කන නියම විලෝපික වර්ගයේ හාදයින්ට සහ හාදියන්ට පැලවත්තේ තියෙන M’eat Us එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ කියලා අපි හිතනවා. අමුතුවෙන් කියන්න වෙනවා නම්, මේක සුපිරි බාබක්‍යු පොට් එකක්. විශේෂයෙන්ම පෝර්ක් බාබක්‍යු එහෙම හොයන කෙනෙක්ගේ බලාපොරොත්තු කඩ නොකරන තැනක්. ඉතින් මස් කන්න දක්ෂ යාලුවෝ කීප දෙනෙක්ට එහෙම හවසකට කාලා බීලා කයියක් ගහන්න ඕන නම් මෙතන මරු. තැන පොඩි වුනාට වාඩි වෙන්න ඉඩ තියෙනවා. තමන්ට ඕන විදියේ බාබක්‍යු ප්ලේට් මොනවා හරි ඕඩර් කරලා, හෙමින් සැරේ බියර් එකක්, වයින් එකක් අරින්නත් පුළුවන් මෙතන. රිබ්ස් ප්ලැටර් එකක් එහෙම මේසෙට ආවට පස්සේ කොහොමත් ඒක බඩට යනකල් වයින් උගුරකින් සැරෙන් සැරේ තොලකට තෙමෙන්නත් ඕන.

 

7. 668 Chinese Barbecue

ටවුන් හෝල් එකේ තියෙන නියම චීන රෙස්ටුරන්ට් එකක් තමයි 668 කියන්නේ. මේකේ පහළම තට්ටුවේ තියෙනවා කැෆේ එකක්, මන්සා ටී. ඊලඟට තමයි රෙස්ටුරන්ට් එක තියෙන්නේ. උඩම තට්ටුවේ තියෙනවා සුපිරි බාබක්‍යු ජොයින්ට් එකක්. විශේෂයෙන්ම නියම චීන බාබක්‍යු රස විඳගන්න නම් යන්න ඕන තැන තමයි මෙතන. ඉතින් යාලුවෝ කීප දෙනෙක් එක්ක වෙනස් අත්දැකීමක් ලබාගන්න යනවා නම් මෙතන හොඳයි කියලා අපි බය නැතුව රෙකමන්ඩ් කරනවා. වෙනස් අත්දැකීමකට ඇල්කොහොල් ටිකකුත් මුහු වුණොත් හොඳයි කියලා හිතෙනවා නම් මෙතන ඒකට ප්‍රශ්නෙකුත් නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *