ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නායක හාමුදුරුවන් පිළිබඳ අප්‍රකට කතා

Lifie අපි දැනට ලංකාවේ වැඩ වාසය කරන සංඝ පීතෘන් වහන්සේලා පිළිබඳව ආටිකල් සීරිස් එකක් ලියන්න පටන් ගත්තා. පහුගිය සතියේ ඔබට අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක කොටුගොඩ ධම්මාවාස ස්වාමීන්වහන්සේ පිළිබඳව කියවන්න ලැබුණා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරමක් දුරට විප්ලවකාරී ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳව. ඒ සියම් නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ වර්තමාන මහා නායක ධුරය දරණ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ පිළිබඳව 

 

1. රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාවේ ආරම්භය

 

මුල් අවධියේදී රංගිරි දඹුලු රජමහා විහාරය ඇතුළු පරිවාර විහාරස්ථානය අයත් වුණේ සියම් නිකායට. මේ නිසා රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ධූරයට ස්වාමීන් වහන්සේ නමක් පත්වීමත් සිදුවුණේ අස්ගිරි විහාරයේ අනුදැනුම පරිදි. නමුත් මීට එම විහාරස්ථානවල වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලාගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වුණා. අවසානයේදී  ප්‍රතිඵලය වුණේ 1985 වර්ෂයේදී ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් ඇතුළු භික්ෂුන්වහන්සේ පිරිසක් කණ්ඩලම වැවේ සෑදූ සීමාවකදී උපසම්පදා විනය කර්මයක් සිදුකිරීම. ඒ සමගම උන්වහන්සේලා අස්ගිරි පාර්ශවයෙන් බැහැරව වෙනම සංඝ සභාවක් පිහිටුවා ගැනීමට කටයුතු කළා.

 

2. අස්ගිරි පාර්ශවයේ අනුනායක පදවිය ප්‍රතික්ෂේප කිරීම 

අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරයට පත්වූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් යළිත් සුමංගල හිමියන්ට අස්ගිරි පාර්ශ්වයට එක්වන ලෙසත් උන්වහන්සේට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පිරිනැමීමට තමන් වහන්සේ බලාපොරොත්තු වන බවත් දැනුම් දෙනු ලැබුවා. නමුත් එවැනි තීරණයක් තමන්වහන්සේ ගතහොත් රංගිරි දඹුලු පාර්ශවය වටා එක් වූ භික්ෂූන් වහන්සේලාට අසාධාරණයක් වන නිසා සුමංගල හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. යම් විදිහකින් සුමංගල හිමියන් එම ඉල්ලීමට එකඟ වුණා නම් අද වන විට අස්ගිරි පාර්ශ්වයේ මහනායක ධුරය පවා උන් වහන්සේට හිමි වෙන්නට තිබුණා.

 

3. බුද්ධරක්ඛිත හිමියන්ට දැක්වූ ලෙන්ගතුකම

දඹුලු විහාරයේ පොතුහැර සංඝ පරම්පරාවට අයිති හිමිනමක් වීම නිසාත් රංගිරි දඹුලු සංඝ සභාවේ භික්ෂූන් වහන්සේලා කෙරෙහි උඩුගම  බුද්ධ රක්ඛිත හිමියන් දැක්වූ කාරුණික ආකල්පය නිසාත් ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් බුද්ධරක්ඛිත හිමියන්ට විශේෂ කුළුපගු කමක් දැක්වූවා. උන්වහන්සේට වකුගඩුවක් බද්ධ කළ යුතු මොහොතකදී උන්වහන්සේව සහ වකුගඩුවක් පරිත්‍යාග කළ තැනැත්තාව සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහල වෙත ගෙන යාමට ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් කටයුතු කළා. පසුව බුද්ධරක්ඛිත හිමියන් අපවත් වන අවස්ථාව වන විට ඉනාමළුවේ සුමංගල හිමියන් නැවතත් ප්‍රතිකාර සඳහා උන් වහන්සේව මවුන්ට් එළිසබෙත් රෝහල වෙත රැගෙන ගියා. එහිදී උන්වහන්සේට අවසන් දන් වේල පිළිගන්වනු ලැබුවේද සුමංගල හිමියන් විසින්.

 

4. කණ්ඩලම වැව් තාවුල්ල රැකගැනීමට කළ අරගලය 

කණ්ඩලම හෝටලයේ ඉදිකිරීමේදී වැව් තාවුල්ලට සිදුවන හානිය පිළිබඳව මතුකරමින් ඉනාමළුවේ සුමංගල හිමියන් ඇතුළු දඹුලු සංඝ සභාව ඊට දැඩි ලෙස විරෝධය දැක්වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට අගමැති ප්‍රේමදාස උන්වහන්සේට තර්ජනය කළත්, එවැනි තර්ජන ගර්ජන වලින් උන්වහන්සේ සැලුනේ නැහැ. එම විරෝධතාවල කූටප්‍රාප්තිය වුණේ මුළු රටේම විවිධ ආගම් අදහන පිරිස් දඹුල්ලට රැස්කරවා සිදුකළ විශාලතම විරෝධතාවය. කෙසේ වෙතත් ඉන්පසුව කණ්ඩලම හෝටලය නිර්මාණය කිරීමේ දී පරිසරයට අවම හානියක් වන පරිදි නිර්මාණය කිරීමට කොන්ත්‍රාත්කරුවන් වග බලාගත්තා. නමුත් රාජ්‍ය මාධ්‍ය මඟින් සුමංගල හිමියන්ගේ චරිතය ඝාතනය කිරීමට විවිධ කට කතා ප්‍රචාරය කරනු ලැබුවා 

 

5. රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය නිර්මාණය කිරීම සඳහා ලබාදුන් ඉඩමේ භාරකාරීත්වය ලැබී තිබුණේ රන්ගිරි දඹුලු රජමහ විහාරයටයි. එහිදී උන්වහන්සේ විසින් එම ඉඩම ක්‍රිකට් පාලක මණ්ඩලයට බදු දුන් අතර ඔවුන් විසින් ප්‍රසාද දීමනා ලෙස ලබාදුන් ලක්ෂ හැත්තෑවක් පමණ මුදල යොදවා උන්වහන්සේ එම ඉඩමේ කලින් පදිංචිව සිටි පිරිස් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරනු ලැබූවා. පසුව එම ගිවිසුමේ තිබූ අඩුපාඩුවක් මත මෙම ක්‍රීඩාංගනයේ සම්පූර්ණ අයිතියම රංගිරි දඹුලු විහාරයට හිමිවෙනවා. 

 

6. රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලය

 

2004 වසරේ දී සුමංගල හිමියන් විසින් විසින් රංගිරි ශ්‍රී ලංකා නාමයෙන් පුවත්පතක් ආරම්භ කළ අතර, පසුව ඒ නමින්ම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා දෙකක් උන්වහන්සේ ආරම්භ කළා. එවැනි කටයුතු කිරීමේදී උන්වහන්සේට විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවුණා. විශේෂයෙන්ම උන්වහන්සේගේ බලාපොරොත්තුව වූයේ ඩිජිටල්කරණය කරන ලද රූපවාහිනී නාලිකාවක් වුවත් එය සාර්ථක කරගැනීමට නොහැකි වූ නිසා ඩයලොග් ටීවී වැනි සේවාවන් හරහා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනී නාලිකාව නැරඹීමේ අවස්ථාව මෙරට ජනතාවට ලැබී තිබෙනවා. නමුත් උන්වහන්සේ අදටත් බලාපොරොත්තු වන්නේ පරිපූර්ණව ඩිජිටල්කරණය කරන ලද රූපවාහිනී නාලිකාවක් නැරඹීමේ අවස්ථාව මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමයි.

 

7. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය 

දඹුල්ල ජනතාව වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ විශිෂ්ටතම කාර්යභාරය වන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිර්මාණය කිරීම සඳහා දායක වීමයි. ඒ සඳහා උන්වහන්සේ විසින් දඹුලු රජමහා විහාරයට අයත් ඉඩමක් ලබා දීමට කටයුතු කළා. උන්වහන්සේ පවසන්නේ මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංකල්පය එවකට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය කළ අනුර දිසානායක මහතාගේ වන බව සහ එතුමාගේ එම විශිෂ්ට සේවය ඉතිහාසයේ රන් අකුරෙන් සටහන් විය යුතු බවයි

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *