බුදු හාමුදුරුවෝ ඌරු මස් වැළඳුවාද? බුදුන් වළඳපු අවසන් දානය ගැන කරුණු දැනගමු!

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් වළඳපු අවසන් දානය අතිශයින්ම මතභේදකාරීයි. බොහෝ දෙනෙක් මේ පිළිබඳව විවිධ අදහස් උදහස් පළ කරනවා. එනිසා අපි හිතුවා මේ දානය පිළිබඳව තොරතුරු කිහිපයක් ඔබ වෙත ගෙන එන්න.

 

1. කවුද මේ චුන්ද කර්මාර?

බුදුහාමුදුරුවන්ට අවසන් දානය පිළිගන්වන්නේ පාවා නුවර වාසය කරපු චුන්ද කර්මාර පුත්‍රයා. ඔහු රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් විවිධ ආභරණ හදලා ව්‍යාපාර කරපු දැවැන්ත ව්‍යාපාරිකයෙක්. ගම් තිස් දෙකක පමණ පිරිස් ඔහුගේ ව්‍යාපාරවලින් යැපිලා තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඔහු කලින් වතාවක බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහල සෝවාන් ඵලයට පත්වුණු කෙනෙක්.

 

2. අවසාන දානය පිළිගැන්වීම සඳහා පසුබිම සකස් වීම

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිරිනිවන් පෑමට පෙර දින පාවා නුවර පිහිටි චුන්ද කර්මාර පුත්‍රයාගේ අඹ වනය වෙත භික්ෂු සංඝයා සමඟ වැඩම කරනවා. ඒ අවස්ථාවේදී උද්‍යාන පාලක  උසීර නම් පුද්ගලයා මේ පිළිබඳ පණිවුඩය චුන්ද කර්මාර වෙත යවනවා. මේ පණිවිඩය අහල අතිශයින් සතුටට පත්වෙන  චුන්ද, බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට පළතුරු ආදී  ගිලන් පස සකස් කරන ලෙස තම බිරිඳට දන්වා යවමින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න අඹ වනයට යනවා.

බුදු හාමුදුරුවන් කෙරෙහි අතිශය පැහැදීමකින් සහ භක්තියකින් හිටපු චුන්දට බුදුහාමුදුරුවෝ පසු දින පිරිනිවන් පානවා කියන ආරංචිය දරාගන්න බැරි වෙනවා. මේ නිසාම ඒ අවස්ථාවේදී ඔහු මහ හඬින් හඬනවා. පසුව තමන්ගේ බිරිඳ විසින් ගෙනෙන ලද පළතුරු යුෂ බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරලා පසුදින තමන් විසින් උන් වහන්සේලාට දානයක් පිළිගන්වන බව පවසනවා.

 

3. අවසන් දානය පිළියෙළ වීම

මේ වෙද්දී චුන්ද කර්මාර පුත්‍රයා මාස කීපයක පමණ සිට බුදුරජාණන් වහන්සේ  උදරාබාධයකින් පෙළුණු බව  දැනගෙන හිටියා. මේ නිසාම ඔහු පාවා නුවර වාසය කරපු සෝවාන් ඵල ලාභී අතුල නම් රාජකීය වෛද්‍යවරයා කැඳවලා බුදුරජාණන් වහන්සේ සඳහා ඖෂධීය ආහාරයක් පිළියෙළ කිරීම සඳහා උපදෙස් ලබා ගත්තා. ඒ අනුව තමයි සූකරමද්දව භෝජනය බුදුරජාණන් වහන්සේ සඳහා සැකසෙන්නෙ. බුදු වීමට පෙර සුජාතා සිටුදුව විසින් පිරිනැමූ කිරිපිඬු දානයත්, පිරිනිවන් පෑමට පළමුව චුන්ද කර්මාර පුත්‍රයා විසින් පිළිගැන්වූ මෙම දානයත් එක හා සමාන ආනිශංස වලින් යුක්තයි.

 

4. ඒ පිළිබඳව ඇති මතභේද 

සූකර මද්දවය පිළිබඳව ත්‍රිපිටකය සඳහා ලියැවුණු පසුකාලීන අටුවාවල මත කීපයක් දැක්වෙනවා. නමුත් බෞද්ධයෝ කියාගන්න බොහෝ දෙනෙක් අටුවාවල මත කිහිපයක් තියෙනවයි කියලා දන්නෙවත් නැතුව හිතන්නේ සූකර මද්දව කියන්නේ ඌරු මස් යෙදූ ආහාරයක් කියලා. උදාන අටුවාවේ ධර්මපාල නම් අටුවාචාරීන් වහන්සේ පවසන්නේ විකිණීමට තිබූ ඌරු මසකින් මෙම ආහාරය සකස් කළ බවයි. එසේම ඌරන් මරන ලද තැනක හටගත් හතු ලෙසත්  සූකර මද්දවය පිළිබඳව උන්වහන්සේ තවත් මතයක් පළ කරනවා. නමුත් අට්ඨකථා ආචාරීන් වහන්සේලා අතර ප්‍රමුඛත්වය ගන්නා බුද්ධඝෝෂ හිමියන්  සූකර මද්දවය යනු පස්ගෝරස යෙදූ සිනිඳු බතක් ලෙසත් රසායන වර්ග (ඖෂධීය) යෙදූ ආහාරයක් ලෙසත් විස්තර කරනවා.

 

5. සූකරමද්දව, අජ මද්දව සහ බේලුව මද්දව 

අද පවා නේපාලය ආශ්‍රිත ප්‍රදේශවල සූකරමද්දව කියන්නේ ජනප්‍රිය ආහාරයක්. ඌරන් මඩකරන තැන්වල  සති කිහිපයකට පසුව හටගන්නා හතු වලින් සකස් කර ගන්නා ආහාරයකට ඔවුන් සූකර මද්දව කියන නාම භාවිතා කරනවා. එළුවන් විසින් මඩ කරන තැන් වලින් හටගන්නා හතු වලින් සකස් කරන ආහාරය අජ මද්දව ලෙසත් හරකුන් විසින් මඩ කරන ලද තැන් වලින් හටගන්නා හතු වලින් සකස් කළ ආහාරය ගෝමද්දව ලෙසත් ඔවුන් විසින් හඳුන්වනු ලබනවා. එසේම උණ පඳුරු කැපූ තැන්වල ඒ මුල් මත හටගන්නා හතු වලින් සකස් කරන ආහාරය ඔවුන් බේලුව මද්දව ලෙස හඳුන්වනවා.

එසේම පාවා නුවර සහ කුසිනාරා නුවර දැන් අයත් වන ගෝර්ක්පූර් ප්‍රදේශයේ සූකර් ඛාන් ලෙස හඳුන්වන කුඩා ඉන්නල වැනි අල වර්ගයක් පවතිනවා. පොළොව දිගේ ඇදී යන මෙම අල වර්ගය වැඩි වශයෙන් හාරනු ලබන්නේ ඌරන් විසින්. මෙම අල වර්ගය උදරාබාධ සඳහා සුවය ලබාදෙන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විදිහට පාරම්පරිකව භාවිතා වෙනවා.

එසේම මීට අමතරව නේපාල වැසියන් උදරාබාධ සඳහා ගුණ දෙන කලාදුරු අල සඳහා සූකර ආලු යන නම එදිනෙදා ව්‍යවහාරයේදී යොදාගන්නවා.

 

6. එහෙමනම්… 

මේ සියලුම කාරණා වලින් පැහැදිලි වෙන දේ තමයි අද පවා බුද්ධ චරිතය හා සම්බන්ධ ප්‍රදේශවල අල සහ හතු වර්ග ගණනාවකට සූකර හතු සහ සූකර අල කියන වචන භාවිතා වෙනවා කියන එක. ඒ වගේම මද්දව කියන වචනය තනි තේරුම ගත්තම පුඩිම කියන තේරුම තමයි ලබලා දෙන්න. මීට අමතරව ත්‍රිපිටකයේ සෑම අවස්ථාවක මස් මාංශ සඳහා මච්ඡමාංස කියන යෙදුම භාවිතා වෙනවා. එහෙම නම් වැළඳුවේ ඌරු මස් නම් අන්තිම දානෙට විතරක් මද්දව කියන වචනය විශේෂයෙන් භාවිතා කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

 

7. සූකර මද්දවය පිළිබඳ මතභේදය ඉන්දියාව තුළ බුද්ධාගම නැතිවීමටත්  ප්‍රධාන හේතුවක්

හැමෝම දන්න විදිහට අද පවා ඉන්දියාව තුළ නිර්මාංශ වීම මහ ඉහළින් වර්ණනා කරනවා. අතීතයේ දී මේ තත්ත්වය තවත් දැඩිව තිබ්බයි කියන එක විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නෙමෙයි. විශේෂයෙන් ජෛනාගම බඳු ආගම් වලින් ආගම් වල දැඩි අවිහිංසාවාදයත් උගන්වනු ලබනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ අවසන් දානය විදිහට ඌරු මස් වැළඳුවා කියන කතාව වැඩි වශයෙන් ප්‍රචාරය කරමින්, බ්‍රාහ්මණයන් සහ ජෛන ආගමිකයන් විසින් මේ හරහා වැඩි උගත්කමක් නැති ඉන්දීය බෞද්ධයින් ගණනාවකටත් තමන්ගේ ආගම කෙරෙහි කලකිරීමක් ඇති කිරීමට සමත් වුණා. මේ නිසා ඉන්දියාව තුළ  බුද්ධාගමේ පිරිහීම වේගවත් වුණු බව කණගාටුවෙන් වුණත් කිව යුතු වෙනවා. 

 

අපි හිතනවා මේ ලිපිය හරහා ඔබට බුදුරජාණන් වහන්සේ උදෙසා පිරිනැමූ අවසාන දානය පිළිබඳව නිවැරදි සහ තර්කානුකූල තොරතුරු රැසක් දෙන්න අපට හැකි වුණා කියලා. මේ ලිපිය ලිවීම සඳහා අපිට තොරතුරු ලබාගැනීම සඳහා ප්‍රධාන වශයෙන් මූලාශ්‍රය වුණේ අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක ධුරය දරන කොටුගොඩ ධම්මාවාස හිමියන්ගෙ ලිපි කිහිපයක්. උන්වහන්සේටත් මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කළ යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *