පහුගිය දවස් වල ගොඩක් අයගේ අවධානය යොමු වෙච්ච සිදුවීමක් තමයි පලස්තීනය විසින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරපු සිදුවීම. ඒ සිදුවීමේදී ගොඩක් දෙනෙක් වැඩිපුරම අවධානය යොමු කළේ පලස්තීනය විසින් එල්ල කරපු මිසයිල ගුවනේදීම සුනු විසුණු කරල දාපු ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂක පද්ධතිය ගැන. ඉතින් අපිත් කල්පනා කළා මේ ගැන වැඩිදුර විස්තරයක් ඔයාල එක්ක බෙදා ගන්න.
1. මොකක්ද මේ අයන් ඩෝර්ම් කියන්නේ?
අයන් ඩෝර්ම් කිව්වට මේකේ සම්පුර්ණ නම තමයි Iron Dome Air Defense Missile System කියන එක. සරලවම කිව්වොත් අයන් ඩෝර්ම් කියන්නේ මිසයිල ආරක්ෂක පද්ධතියක්. මේක සම්පුර්ණයෙන්ම ඊශ්‍රායලයේ නිර්මාණයක්. ඒ කියන්නේ Rafael Advanced Defense Systems කියන ආයතනයෙන් තමයි මේ නිර්මාණය සිදුකරන්නේ. මේ ආයතනය තමයි ඊශ්‍රායලයේ ආයුධ සහ හමුදාවල තාක්ෂණික කටයුතු සිදු කරන්නේ. මේ වගේ නිර්මාණයක් කරන්න මුල්වුණ සිදුවීම උනේ අනූ ගණන් වල හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායල ප්‍රදේශ වලට රොකට් ප්‍රහාර එල්ල කිරීම කියල කියන්න පුළුවන්. ඒ ප්‍රහාර වලින් සිදු වෙච්ච හානිය නිසා තමයි ඊශ්‍රායලය තමන්ගේ ආරක්ෂාවට ඒ වගේ එල්ල වෙන කෙටි දුර ප්‍රහාර ස්වයංක්‍රීයව වළක්වන්න පුළුවන් පද්ධතියක් නිර්මාණය කරන්න වැඩකටයුතු කරන්නේ. ඉතින් 2008 ඉඳල අවුරුදු ගණනාවක් එක එක අත්හදාබැලීම් කරලා 2011 අවුරුද්දේදී මේ වැඩේ සාර්ථක නිර්මාණයක් විදිහට ඊශ්‍රායල ආරක්ෂක ඇමතිගේ අනුමැතිය හිමි කරගන්නව ප්‍රයෝගික භාවිතය සඳහා. ඒ වගේම මේ නිර්මාණයේ පේටන්ට් අයිතිය පවා ඊශ්‍රායලය සතු වෙනවා.
2. මොකක්ද මේකෙන් තියෙන ප්‍රයෝජනේ?
කලින් කිව්වා වගේ අයන් ඩෝර්ම් කියන්නේ මිසයිල ආරක්ෂක පද්ධතියක්. ඒකෙන් මූලිකවම සිද්ධවෙන්නේ තමන්ගේ පරාසය ඇතුළේ සිද්ධ වෙන ගුවන් ප්‍රහාරයකට ගුවනේදී ප්‍රති ප්‍රහාර එල්ල කරලා එකෙන් වෙන්න පුළුවන් හානිය නැති කරගන්න එක. එහෙම නැතුව ආයුධයක් විදිහට නෙමෙයි මේක භාවිතා වෙන්නේ. මේ පද්ධතියට පුළුවන් කිලෝමීටර් 70ක පරාසයක් ආවරණය කරන්න. ඒ කියන්නේ කිලෝමීටර් 70කට එහා ඉඳන් එල්ල කරන ප්‍රහාරයක් මේ පද්ධතියෙන් වළක්වගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ආරක්ෂාව ලැබෙන්නේ කෙටි දුර රොකට් ප්‍රහාර සහ මි.මී.155 කාලතුවක්කු ප්‍රහාර සඳහායි. විශේෂයෙන්ම ඕනම කාලගුණ තත්ත්වයක් යටතේ මේ පද්ධතිය ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ඉතින් කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැතුව ස්වයංක්‍රීයව මේ සියළු දේ වෙන නිසා කරන්න තියෙන්නේ මල් වෙඩි සංදර්ශනයක් බලන් ඉන්නව වගේ බලන් ඉන්න විතරයි.
3. අයන් ඩොම් එකේ වැඩකෑලි?
මේ පද්ධතිය ට්‍රක් වලට සවි කරපු සම්පූර්ණ පද්ධතියක්. ඒ කියන්නේ මේක එහා මෙහා ගෙනියන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නේ. කලින් කිව්වා වගේ මේක ඕනම කාලගුණ තත්ත්වයක දිවා රාත්‍රී දෙකේම පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්පුර්ණ පද්ධතිය සමන්විත වෙනවා කොටස් තුනකින්. පළවෙනි එක තමයි රේඩාර් පද්ධතිය. මේ රේඩාර් පද්ධතිය නිර්මාණය කරන්නෙත් ඊශ්‍රායල සමාගමක් වන ELTA කියන ආයතනයයි. අනිත් කොටස යුධ කළමනාකරණ සහ පාලන ඒකකයයි. එකට කියන්නේ BMC (Battle Management & Weapon Control) කියල. මේ ඒකකය නිර්මාණය කරන්නෙත් තවත් ඊශ්‍රායල මෘදුකාංග සමාගමක් වන mPrest Systems කියන පුද්ගලික ආයතනයයි. අනිත් කොටස මිසයිල ඒකකයයි. ඒ කොටස නිර්මාණය කළේ මේ සම්පුර්ණ නිර්මාණයේ හිමිකරු වන Rafael ආයතනයයි. මේකට පාවිච්චි කරන ප්‍රති ප්‍රහාරක මිසයිල් එකත් Tamir කියන 100%ක් ඊශ්‍රායල නිර්මාණයක්. මේ සම්පූර්ණ මිසයිල ඒකකය ලෝන්චර් තුනකින් හෝ හතරකින් සමන්විත වෙනවා. එක ලෝන්චර් එකක මිසයිල 20ක් තියෙනවා. මේ හැම මිසයිලයකටම ඉලෙක්ට්‍රෝ ඔප්ටික් සෙන්සරයක් වගේම දිශාව පාලනය පහසු කරවන තටු සවි කරලා තියෙනවා.
4. කොහොමද වැඩ කරන්නේ?
මේක වැඩ කරන්නේ කිසිම කෙනෙක්ගේ මැදිහත් වීමක් නැතුව. යම් හෙයකින් අදාළ ආරක්ෂක පද්ධතිය ස්ථානගත කරල තියෙන තැන ඉඳන් ඒකෙ පරාසය ඇතුළේ යම් රොකට් ප්‍රහාරයක් සිද්ද උනොත් මේකේ රේඩාර් පද්ධතිය මාර්ගයෙන් ඒ ප්‍රහාරය මොකක්ද, ඒක එන මාර්ගය මොකක්ද, ප්‍රහාර කීයක් එල්ල වෙනවද, වගේ හැම තොරතුරක්ම ග්‍රහණය කරගන්නවා. ඉන් පස්සේ ඒ සම්පුර්ණ දත්ත ටික යොමු කරනවා මේකේ පාලන ඒකකයට. ඒ පාලන ඒකකයෙන් ප්‍රහාරයට අදාළ තොරතුරු වලින් ප්‍රහාරය වළක්වන්න ගන්න ඕනේ පියවර ටික මිසයිල ඒකකයට ලබා දෙනවා. එකේදී ප්‍රති මිසයිල කීයක් ඕනෙද? මොන දිශාවන් වලටද ප්‍රති ප්‍රහාර එල්ල කරන්න ඕනේ කියල ස්වයංක්‍රීයව තීරණය කෙරෙනවා. අන්න ඒ විදිහටයි මේ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ.
5. කොච්චර සාර්ථකද?
මේ අයන් ඩෝර්ම් කියන නමින්ම තේරෙනවනේ මේක කොච්චර දුරට සාර්ථක පද්ධතියක්ද කියල. මේ අයන් ඩෝම් පද්ධතිය මේ වෙද්දී 2500 කට අධික මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර ප්‍රමාණයක් වළක්වලා තියෙනවා සහ 90% කට වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරල තියෙනවා. ඒ සාර්ථකත්වයට හේතුව මේ පද්ධතිය එක රැයකින් නිර්මාණය කරපු එකක් නොවීම. මේ සංකල්පය අවුරුදු ගණනාවක් අත්හදාබැලීම් කරල තමයි ප්‍රයෝගික භාවිතයට යොදාගැනෙන්නේ. ඒ වගේම අදටත් මේ ආරක්ෂක පද්ධතිය තව තවත් දියුණු කරන්න ඊශ්‍රායලය පර්යේෂණ සහ අත්හදාබැලීම් සිදු කරනවා.
6. කාටද මේවා තියෙන්නේ?
ඊශ්‍රායලය කියන්නේ අවි ආයුධ බොහොමයක් නිෂ්පාදනය කරන රටක් වගේම අවි ආයුධ ව්‍යාපාර සිදු කරන රටක්. අපි හැමෝම දන්න කෆීර් යුධ ගුවන්යානාවත් මෙයාලගේ නිර්මාණයක්. ඒක අපේ රටේ යුද්ධෙදි කොච්චර උදව් උනාද කියල අපි හැමෝම දන්නවනේ. ඒ වගේම තමයි මේ අයන් ඩෝර්ම් කියන ආරක්ෂණ පද්ධතියත් මෙයාල වෙන රටවල් වලට අලෙවි කරනවා. හැබැයි, මේ තාක්ෂණය බොහොමයක් රටවලින් ලබා නොගන්න බලපාන මූලිකම සාධකය තමයි මේකෙන් ආවරණය කෙරෙන එහෙම නැත්නම් මේකෙන් ආරක්ෂාව සැපයෙන භුමි ප්‍රමාණය ඉතා කුඩා වීම. ඒ උනත් කුඩා රටවල් වලට මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. වාර්තා වෙන විදිහට සිංගප්පූරුව මේ පද්ධතිය මිලදීගෙන තියෙනවා. ඒ වගේම ඇමෙරිකාවත් දෙකක් මිලදීගෙන තියෙනවා. ඒ වගේම අසර්බයිජාන්, ඉන්දියාව, රුමේනියාව කියන රටවලුත් ගිවිසුම් ගත වෙලා තියෙනවා මේ ආරක්ෂක පද්ධතිය එක එක වෙනස්කම් සහිතව සහ රහිතව මිලදී ගන්න.
7. වියදම එහෙම?
රටක් විදිහට ගත්තම යුදධයක් කියන්නේ රට ඉදිරියට යන එක බොහෝ දුරට අඩාල වෙන දෙයක්. හැබැයි ඉතින් ඊශ්‍රායලය ගත්තම කෙටි කාලයක් තුළ විශාල යුද්ධ ප්‍රමාණයකට සම්බන්ධ උනත් රටේ සංවර්ධනය නම් අඩුවක් වෙලා නෑ. කොයි හැටි උනත් මේ අයන් ඩෝර්ම් කියන ආරක්ෂක පද්ධතියට සහ එකේ අත්හදාබැලීම් වලට ඊශ්‍රායලය සහ ඇමරිකාව ඉතා විශාල ධනස්කන්ධයක් වැය කරල තියෙනවා. ඒකට අමතරව මේවා නිෂ්පාදනය කරන්නත් ලොකු වියදමක් යනව. එක ලෝන්චර් එකක් ඩොලර් මිලියන 50ක් විතර වෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය වෙන ප්‍රති ප්‍රහාරක මිසයිල එකක් ඩොලර් 50,000ක් විතර වෙනවා. ඒ විදිහට ගත්තම එක ලෝන්චර් එකක් පුරවන්න ඩොලර් මිලියනයක් විතර ඕනේ. හොඳයි නේද වියදම?
Leave a Reply