ළඟපාත සුන්දර රටවල් කීපයකට වීසා අරන් ඇතුල්වෙන හැටි

Visa procedure

රටකින් රටකට ඇතුළුවීමේදී වීසා ගැන වැඩිමනක් නොසිතන ජනයා සිටින වාසනාවන්ත සංවර්ධිත රටවල් තිබේ. ඒවායේ ජනයාට ලොව තිබෙන රටවල් දෙසීයකින් සීයකට වඩා වීසා නොමැතිව ගමන් කිරීමේ හැකියාව තිබේ. ඒ ලැයිස්තුවේ සිංගප්පූරුව, දකුණු කොරියාව, ජර්මනිය, ජපානය වැනි රටවල් ඉදිරියෙන්ම සිටී. එවැනි රටවල පාස්පෝට් අතැති අයට ලොව බොහෝ රටවලට පිවිසීමට අමුතුවෙන් වීසා ඉල්ලුම් කිරීමට උවමනා නැත. එලෙස පාස්පෝට් එකෙහි වටිනාකම අනුව පෙළගැස්වූ, රටවල් 100 ක ලැයිස්තුවේ ලංකාව සිටින්නේ 91 වන ස්ථානයේය. ලංකාවට පහළින් සිටින රටවල් වන්නේ එරිත්‍රියාව, ලිබියාව, යේමනය, සුඩානය, සෝමාලියාව, සිරියාව, පාකිස්ථානය, ඉරාකය සහ ඇෆ්ඝනිස්ථානය ආදී කලබලකාරී වටපිටාවක් තිබෙන රටවල් පමණක් වේ.

ලංකාවේ පාස්පෝට් හිමි අපි ලංකාවට ආසන්නව තියෙන සුන්දර රටවල් කිහිපයකට ඇතුල්වෙද්දී කොහොමද යන්නේ? කොහොමද වීසා ගන්නේ? අපි ඒ ගැන ටිකක් සොයා බලමු.

 

1. ඉන්දියාව

Visa procedure

Source – vindiatour.com

ඉන්දියානු වීසා ගුවන් තොටේදීද ඔන් එරයිවල් ලෙස ලබාගැනීමට හැකියාව ඇතැයි කියා තිබුනද, කලින් වීසා ලබාගෙන යෑම වඩාත් යෝග්‍ය වේ. ඔන්ලයින් ඇප්ල්කේශන් එකක් පුරවා අවශ්‍ය කරන ලිපි ලේඛන සමග තුම්මුල්ලේ පිහිටි අයි වී එස් ග්ලෝබල් ලංකා ආයතනය හරහා ඉන්දියානු වීසා ලබාගත හැකිය. එම වෙබ් අඩවියේ අවශ්‍ය කරන ලිපි ලේඛන දක්වා ඇති අතර අදාළ පුද්ගලයාට ගොස් පාස්පෝට් එක, ලිපිලේඛන සහ ඡායාරූප බාර දී දවස් කිහිපයකින් වීසා ලබාගැනීමට හැකිය.

ඉන්දියාවේ මුම්බයි, චෙන්නයි, දිල්ලි, මදුරෙයි සහ බැංගලෝර් කරා ප්‍රධාන වශයෙන් ලංකාවෙන් ගුවන් යානා පිටත් වේ. ඉන්දියාව සහ ලංකාව අතර ඇත්තේ කිලෝමීටර 32ක පටු බෝඩරයක් වුවද ලංකාවෙන් ඉන්දියාවට බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක නොවේ. 1983 යුද්ධයට පෙර රාමේශ්වරම් සහ තලෙයිමන්නාරම අතර බෝට්ටු සේවාවක් තිබී ඇති මුත් අද වනවිට ත්‍රස්තවාදී කලබල වල අතුරු ඵල ලෙස එය නැවතී තිබේ. දඹදිව වන්දනා තිබෙන අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝම්බර් කාලයට ඉන්දියාවේ ගයා, වාරණාසී, කල්කටා ආදී ගුවන් තොට වෙත ගුවන් යානා පියාසර කරනු ලැබේ. ස්පයිස්ජෙට්, ඉන්ඩිගෝ, ජෙට් එයාවේස් යන ඉන්දීය පුද්ගලික ගුවන් සමාගම් සහ ඉන්දීය ජාතික ගුවන් සේවාව වන එයා ඉන්දියා සහ ලංකාවේ ශ්‍රී ලංකන් ඉන්දියාව වෙත ගුවන් ගමන් පහසුකම් සලසා දෙනු ලැබේ.

 

2. තායිලන්තය

Visa procedure

Source – bbc.com

තායි රට බෞද්ධ බැතිමතුන්ට අනුව පුරාතන සියම් දේශය වේ. අප රට පොළොන්නරුවේ නටඹුන් මෙන් තවමත් හොඳින් ආරක්ෂා වී ඇති බෞද්ධ නටඹුන් තායිලන්තයේ තිබේ. එමෙන්ම කිසිදාක සුද්දාට යටත් නොවුන තායි දේශය කම්සැප ලබාගැනීමට පහසු රටක් ලෙසද ලෝ පතල රටකි.

තායිලන්තයට පිවිසීමට වීසා සහ ගුවන් ටිකට්පත් මෙරට ඒජන්සි වෙතින්ද ලබාගත හැකිය. එසේ නොමැතිව පුද්ගලිකව අයදුම් කරන්නේ නම් ලැයිස්තුවේ පරිදි ලිපිලේඛන එකතු කරගෙන ඔන්ලයින් අයදුම් පත පුරවා ගෙන ගොස් තායි වීසා තමාටම ලබාගන්නටද හැකිය. එක් පිවිසුමකින් පමණක් තායි රටට ඇතුලුවී පිටවීමට මෙම සාමාන්‍ය ටුවරිස්ට් වීසා හරහා ඉඩකඩ සැලසේ. වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට සිංගල් එන්ට්‍රි ටුවරිස්ට් වීසා ගාස්තුව රු. 5900කි.

 

3. මැලේසියාව

Visa procedure

Source – aroohatours.com

ලංකාවේ සිට ගුවන් ගාස්තු අඩුම රටක් ලෙස මැලේසියාව දැක්විය හැකිය. ආසන්නයේම තිබෙන ඉන්දියාවේ මදුරෙයි ගුවන් තොටටත් වඩා මැලේසියාවට ගුවන් ගාස්තු අඩුය. මැලේසියානු වීසාද ඔන්ලයින් ඇනවුම් කරගත හැකි අතර ඔන්ලයින්ම ලැබෙන වීසා සහතිකය රැගෙන යෑම ප්‍රමාණවත් වේ. එහිදීද සිංගල් එන්ට්‍රි එක වරකට පමණක් ගොස් පැමිණීමේ වීසාවක් ඔන්ලයින් හරහා සරලව ලබාගත හැකිය. නිකුත් කල දින සිට දින 90ක කාලයක් ඇතුළත පාවිච්චි කල යුතු මෙම මැලේසියන් ඔන්ලයින් ටුවරිස්ට් වීසා හරහා මාසයක කාලයක් මැලේසියාවේ රැඳී සිටිය හැකිය.

 

4. ඉන්දුනීසියාව

Visa procedure

Source – bookmundi.com

ලොව 4 වන තැනට විශාලතම ජනගහනයක් සිටින ඉන්දුනීසියාව දූපත් විශාල ගණනක් සහිත රාජ්‍යයකි. ඉන්දුනීසියාවේ බාලි දිවයින සහ බෝරබුදුර් වැනි ස්ථාන ලාංකික සංචාරකයින් අතරද ජනප්‍රිය වී තිබේ. ඉන්දුනීසියාවට ඇතුල්වීමට ශ්‍රී ලාංකිකයින්ට වීසා උවමනා නැත. මූලික ගුවන්තොට කිහිපයකදීම එසේ ලාංකිකයින්ට වීසා නොමැතිව ඉන්දුනීසියාවට ඇතුල් විය හැකිය. අග්නිදිග ආසියානු කළාපයේ ඇති විශාලතම සහ සුන්දරම රටවල් අතරින් වීසා රහිතව ඇතුල් විය හැකි නිසා ඉන්දුනීසියාව දැන් ලාංකික සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයක් වී තිබේ.

 

5. නේපාලය

Visa procedure

Source – andbeyond.com

නේපාලයට යෑමට කෙලින්ම ගුවන් ගමන් කොළඹ සිට නොමැති අතර කවර ආකාරයකින් ගියද ඉන්දියාව හරහා ම යා යුතු වේ. ඉන්දියාව හරහා ගියද ඉන්දියාවේදී ට්‍රාන්සිට් වීසා ගැනීම වඩාත් යෝග්‍ය වේ. ලුම්බිණිය වන්දනාමාන කිරීමට යන දඹදිව වන්දනා බැතිමතුන් නේපාලයට ඇතුල්වන්නේ නේපාල ඉන්දියා සොනෝලි බෝඩරය හරහා වේ. මෙම බෝඩරයේ පිහිටා ඇති ඉන්දියානු සහ නේපාල ආගමන විගමන කාර්යාල දෙක අප රට තේ කඩ මෙන් වූ ස්ථාන දෙකකි. ඉන්දියානු නේපාල ජනයාට දෙරට අතර හුවමාරුව සිදුකල හැකි බැවින් ලාංකික අපටද සමාන හැඩහුරුකම නිසා කෙලින්ම නේපාලයට පිවිසීමට මෙම නේපාල ඉන්දියා බෝඩරයේදී හැකිය. එහෙත් වීසා නොමැතිව රටකට ඇතුල් වීම කිසිසේත් සුදුසු ක්‍රියාවක් නොවේ. ඉන්දියානු සහ නේපාල කාර්යාල වලට පාස්පෝට් එක පෙන්වා නේපාලයෙන් නොමිලේම ලැබෙන දින 30ක ටුවරිස්ට් වීසාව ලබාගෙනම නේපාලයට ඇතුල් වීම වඩාත් යෝග්‍ය වේ. කත්මන්දු ගුවන් තොට හරහා නේපාලයට ඇතුල් වුවද දින 30ක ටුවරිස්ට් වීසාව ලාංකිකයින්ට ලබාගත හැකිය.

 

6. මාලදිවයින

Visa procedure

Source – vanoored.com

මාලදිවයින ලංකාවට ආසන්නව ඇති ලොව සුවපහසු සංචාරක ස්ථාන අතර ජනප්‍රියම තැනකි. ලාබදායී ගුවන් ටිකට්පත්ද මාලදිවයිනට ශ්‍රී ලංකන් එයාලයින් හරහාම ලබාගැනීමට හැකිය. මාලදිවයිනට ශ්‍රී ලාංකිකයන්ට ඔන් එරයිවල් වීසා ලැබේ. එනම් ගුවන් තොටින්ම වීසා ලබාගත හැකිය.

 

7. වියට්නාමය

Visa procedure

Source – lonelyplanet.com

වියට්නාම් ඊ වීසා ක්‍රමයක් හඳුන්වා දී තිබුණද ලාංකිකයින් සඳහා වියට්නාම තානාපති කාර්යාලය හරහා වීසා ලබාගත යුතුය. රු 10,000කට ආසන්න මුදලක් මේ වීසා පත සඳහා වැය වේ. කෙලින්ම වියට්නාම තානාපති කාර්යාලය ඇමතීමෙන් (0112696050) වැඩිදුර විස්තර ලබාගත හැකිය.

 

ඉහතින් දක්වා ඇත්තේ එම රටවලට සංචාරක කටයුතු සඳහා මද කාලයකට වීසා ලබාගත හැකි ක්‍රමවේදය වේ. වෙනත් වෙළඳ සහ රැකියා කටයුතු සඳහා දීර්ඝ කාලයක් එම රටවල රැඳී සිටීමට අදහස් කරන්නේ නම් ඒ තත්ත්වයන්ට ගැලපෙන වීසා තානාපති කාර්යාල හරහා ලබාගැනීම කල යුතු වේ. මෙම වීසා ලබාදෙන සංචාරක ඒජන්සිද රැසක් ලංකාවේ තිබේ. ඇතැම් ඒවායේ නියම මිල මෙන් කිහිප ගුණයක් වීසා ලබාදීම සඳහා අයකරනු ලැබේ. එවන් අවස්ථාවල සාමාන්‍ය ක්‍රමවේද හරහා වීසා ලබාගන්නේ කෙසේදැයි මුලින් විමසා බැලීම වටී. ඔබටත් අප අවට ඇති රටවල් 7කට වීසා ලබාගන්නා ආකාරය ගැන යම් වැටහීමක් මේ හරහා ලැබෙන්නට ඇති. රට යන උණ තිබුනත් වීසා ගන්න හැටි ගැන සරල විස්තරයක් අන්තර්ජාලයේ සොයාගන්නට අපහසුයි. ඉතිං මේ ටුවරිස්ට් වීසා සහ පිවිසීම ගැන තිබෙන පොඩි විස්තරේ රට යන්න උණ තියෙන යාලුවො එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා.

 
Cover Image Source – pixels.com
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *