මේ දවස්වල කුඩයක් නැතුව පාරට බහිනවා කියන්නේ හෙන දුකක්. කුඩයක් හැම වෙලේම අතේ ගැවසෙන්නේ නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට කලු ගැහිලා කරකුට්ටං වෙලා පොෂ් එකෙන් කිව්වොත් sun kissed වෙලා තමයි ගෙදර එන්න වෙන්නේ. ඉතින් එහෙම වුණාම කරන්න දෙයක් ඇත්තෙම නැද්ද? කීපයක්ම තියෙනවා.
1. කෝමාරිකා
ගින්දරට පිච්චුනත් කෝමරිකා කෑල්ලක් අතුල්ලගන්න එකේ අව්වට පිච්චුනාම නොගා ඉන්න විදියක් නැහැනේ. කෝමාරිකා කෑල්ලක් කඩාගෙන ඒක අස්සේ තියෙන තරලය ගෑවාම මේ වේලිච්ච ගතිය අඩු වෙනවා. එහෙම කෝමාරිකා හොයාගන්න අපහසු නම් වෙළඳපොළේ ස්වාභාවික කෝමාරිකා ජෙල් වගේම ඒවා මිශ්‍ර ක්‍රීම් සහ ලෝෂන් වර්ග තියෙනවා. සැරටම අව්වට පිච්චුනා නම් කෝමාරිකා ගගා ඉඳලා හරියන්නේ නෑ, නමුත් වේදනා ගතිය පොඩ්ඩක් අඩු වෙලා කූල් වෙලා යනවා. ඒත් ඉතින් ගෙදර කෝමාරිකා තියෙනවා කියලා තද අව්වේ එහෙ මෙහෙ යන්න නම් එපා.
2. කෝපි
කන්න බොන්න තියෙන එව්වැයින් රූපලාවණ්‍ය වැඩ කරන එක වෙනම ආතල් එකක්. කෝපි කුඩු අරගෙන වතුර ඩිංගිත්තක් දාලා ස්ක්‍රබ් එකක් වගේ හදාගන්නවා. ඊට පස්සේ ඇඟිලි තුඩුවලින් සර්පිලාකාරව ඒක සමේ ගාගන්නවා. එච්චරයි.
3. බේකින් සෝඩා
බේකින් සෝඩා මිශ්‍ර ඇල් වතුරවලින් පිළිස්සුන තැන් සෝදා ගත්තාමත් වැඩේ ගොඩයාමක් තියෙනවා. අතට ඇති තරම් බේකින් සෝඩා අරගෙන ඇල් වතුර පිරුණු බේසමකට මේවා එකතු කරගන්නවා. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් තියෙන්න ඇරලා ඇඟට හලාගන්න එකයි ඇත්තේ.
4. අල
සැන්ඩ්විච් හදාගන්න අල තම්බලා පේස්ට් එකක් හදාගන්නවා නේ. ඒ විදියට තම්බා ගත් අල කීපයකින් පොඩි කරපු පේස්ට් එකක් හදාගන්න. ඉතින් ඊට පස්සේ අදාළ ප්‍රදේශයේ තවරාගන්න. වේලෙන්න ඉඩ ඇරලා සෝදලා ඉවත් කරන්න. මැරුණු සෛල ඉවත් කරලා කලු ගැහිලා තියෙන ගතිය අවම කරලා දෙනවා.
5. තක්කාලි සහ ලෙමන්
තක්කාලි ගෙඩියක යුෂවලට ලෙමන් බිංදු කීපයක් දාලා පේස්ට් එකක් හදාගන්න ඕනි. මේ දෙකේම සම සුදු කරන බ්ලීචිං අඩංගු වෙලා තියෙනවා. අර පේස්ට් එක ආලේප කරලා විනාඩි 10ක් නැත්තම් 15ක් තියෙන්න අරින්න. යන්තම් රස්නේ වතුරවලින් හෝදලා ටිකකින් ආයෙත් ඇල්වතුරෙන් හෝදන්න. හොඳම ප්‍රතිඵල ගන්න නම් සතියකට තුන් වතාවක්වත් කරන්න ඕනි.
6. කහ
කඩල පිටි හැඳි දෙක තුනකට කහ කුඩු තේ හැඳි කාලක් විතර එක්කහු කරගන්නවා. ඊට පස්සේ ලෙමන් යුෂ බිඳු කිහිපයක් එකතු කරගන්නවා. කිරි තේ හැඳි භාගෙකුත් එක්කහු කරගෙන තලපය හදාගන්නවා. මේක සර්පිලාකාරව ආලේප කරලා විනාඩි දහයක් තියන්න අරිනවා. ඊට පස්සේ හිමීට මද උණු වතුරෙන් හෝදනවා. සතියකට දෙපාරක්වත් කරන්න වෙනවා.
7. වෛද්‍යවරයා හමුවීම
දාහක් දේවල් කරලත් හරි ගියේ නැත්නම් දොස්තර ළඟට තමයි. චර්ම රෝග විශේෂඥයකු ළඟට යන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. වේදනාව සමනය කරගන්න බෙහෙත් සහ ජෙල් වර්ග වුණත් දෙන්න පුළුවන්. දුන් නැත්තන් ජෙල් එකක් වගේ දෙයක් ගැන ඇහුවාම වෛද්‍යවරයෙකු නොකියා ඉන්නේ නැහැ.
මොනවා වුණත් කුඩයක් නැතුව එළිබහින්න හිතන්න එපා. ගෑණු පිරිමි දෙගොල්ලාටම සෙල්ලම් නෙවෙයි.
මේත් එක්කම දැනුවත් වෙන්න ඕනි දෙයක් තියෙනවා මේ වගේ අවස්ථාවක නොකළ යුතු දේ ගැන. මුලිනම දැනගන්න ඕනි මේක මේ කලු වෙන එකම විතරක් ලෝක ප්‍රශ්නයක් වෙන එකක් නෙවෙයි. ඉර එළිය හිතාගන්න බැරි තරම් සැරයි. හමට මොනවායින් මොනවා වෙයි ද කියන්න බැරි තරම්. ඉතින් කැප් එකක්වත් අවශ්‍ය වෙනවා. හොඳින් වතුර බොන එක සහ ගෙයින් එළියට යන්න කලියෙන් සන් ක්‍රීම් එකක් පාවිච්චි කරන එක වැදගත්. දවසේ වැඩ අහවර වෙලා මූණ හොඳින් පිරිසිදු කිරීම වෙන කවරදාටත් වඩා වැදගත්.
කලින් කිව්වත් වගේ මේ වෙලාවක නොකළ යුතු දේවල් විදියට හිර ඇඳුම් අඳින එක, රසායන ද්‍රව්‍ය සහිත සන් ස්ක්‍රීන් භාවිතය, පිච්චුන තට්ටුව වහගන්න මේක් අප් දාන එක වගේ දේවල් නොකළ යුතුයි.
Leave a Reply