අපේ බොහෝමයක් උන්දැලා ෆේස්බුක් එකේ නිතරම ෂෙයා කරන පින්තූරයක් වෙන්නෙ ගමක තියෙන පොල් අතු ගෙදරක පින්තූරයක් එක්ක මෙහෙම තැනක තියෙන සැප පහසුව සහ නිවිහැනහිල්ල අපි මේ නගරයෙ ගෙවන ජීවිතේ නෑ කියන එක. ඕක බොහොමයක් දෙනා ෂෙයා කරන එක හේතුවක් වෙන්නෙ තමුන්ට සිරා නගරබද ජීවිතයක් තියෙන බව පෙන්වන්න. නිකමට මතක් කරන්නකො මෙහෙම අයියලා ගැන. කන්න ආසම මොනවද ඇහුවම පොල් සම්බෝලයි බතුයි තමයි කියල කියන්නෙ හැමදාම පීසා කාලා ඇතිවෙලා අයියො මූඩ් එකෙන්. අන්න ඒකම තමා මෙතැනදිත් වෙන්නෙ. අපි මේ කියන්න හදන්නෙ එයාලගෙ බොරුව ගැන නෙමෙයි. ඔය බොරුව ඇත්තටම ඉම්ප්ලිමන්ට් කළොත් කොච්චර අවුල්ද කියන එක ගැනයි.
1. දෙයි මල්ලි
ගම්වල ඉන්න උදවියත් සල්ලි හොයන්න එනව නගරෙට. ඒ ගමක ඉඳන් සල්ලි හොයන එක තරමක් අසීරු නිසායි. එහෙමනං ගෙදර ඉඳන් වැඩ කරන්න ප්ලෑන් කරගෙනවත් ගමට යන්න ඕන. එතන තියෙන ප්‍රශ්නෙ ඊලඟට කියන්නම්. ඒ කොහොමවුනත් ගමක ඉඳන් සල්ලි හොයන එක ලේසි නැහැ. කාලයක් නගරෙ ජීවත් වෙලා පුරුදු මිනිහෙකුට හේන් ගොවිතැන් කරන එකත් ලේසි නැහැනෙ. එහෙම වුනත් ඒ වගේ දේකින් නගරෙ කරන ජොබ් එකකට වඩා හොඳ ආදායමක් හොයන්න පුළුවන්කම තිබුනා. හැබැයි මේ කතාව අපි කියන තරං ලේසි නැහැ. එනිසා සල්ලි හොයන්නනං පහසු ක්‍රම ලැබෙන්නෙ නගරෙන්. ඒ වගේම කාලයක් මේ ගෙන්දගං පොළොවෙ කටු කාගෙන එස්ටැබ්ලිෂ් වෙච්ච මිනිහෙක් ඒක දාලා පොල් අතු පැළකට යනව කියන්නෙ ප්‍රශ්නයක්.
2. සිග්නල්
මේ කියන්නෙ දත් මදින සිග්නල් ගැන නෙමෙයි. මේ කියන්නෙ ඉන්ටර්නෙට් සිග්නල් ගැන. අන්තර්ජාල වේගය නගරබදව ඇරෙන්න ගම්බදව අතිශය අඩු විත්තිය අපි හැමෝම දන්නවනෙ. කන්දක් පාමුල තියෙන, අසළින් දිය පාරක් ගලාගෙන යන උණ බට දාලා, පොල් අතු හෙවිලි කරපු, ඔය අපේ අයියලා ආසයි කියන විදියෙ ගෙදරකට 4G සිග්නල් තියෙයි කියල හිතනවද? ඉතිං අපි උඩදිම කිවුව ගෙදර ඉඳන් ෆ්‍රී ලාන්සින් ජොබක් කරන්න වුනත් තියෙන ප්‍රශ්නෙ තේරෙනවනෙ.
3. දුර ඉන්න මිතුරෝ
පවුලේ සාමාජිකයන් හැරුනාම ජීවිතේ වැඩිපුරම දුක සැප බෙදාගන්න උන් තමයි යාළුවො කියන්නෙ. දෙමවුපියෝ සහ පවුලේ අය නං අපි එක්ක ගමට එයි කියලා හිතුවත්, යාලුවොත් අපි එක්ක ගමට එන්නෙ නැහැනෙ. එතකොට සති අන්තෙක සෙට් වෙන්නත් යන්න ඕනද සිදාදියට බස් එකේ. අන්න ඒ වගේ ප්‍රැක්ටිකල් නැති තැන්වලින් අපේ අයියල ඔහේ තමුන්ගෙ සරළ ගැමිකම පෙන්වන්න ෂෙයා කරන මේ වගේ ෆොටෝවල අරමුණ චාටර් වෙනවා.
4. දුර ආතල්
මිතුරෝ වගේම තවත් අපෙන් දුරස් වෙන දෙයක් ගැනයි මේ කියන්න යන්නෙ. ඒ තමයි ආතල්. අපි හැමෝම අපිටම කියලා විනෝදාංශයකට හුරු වෙන එක සාමාන්‍ය දෙයක්. ක්ලබ් එකකට ක්‍රිකට් ගහන්න, බැඩ්මින්ටන් සෙල්ලං කරන්න, කවි සංසදයකට සහභාගි වෙන්න, පුස්තකාලයකට වැදිලා පොත් කියවන්න වගේ වැඩ අස්සෙ අපි අපේ විවේකී දවස් ගත කරලා දානවා. ඒත් මෙතනදි අපිට සිද්ධ වෙනවා ඒ දේවල් පුරුදු විදියට නොකර ඉන්න. එහෙමත් නැත්තං අපිට සිද්ධ වෙනවා වෙනිං ආතල්වලට හුරු වෙන්න.
5. ට්‍රිප්
දැන් සාමාන්‍යයෙන් අපි ට්‍රිප් එකක් යන්නෙ කොහෙටද? දුර පළාතකටනෙ. දැන් ඉතිං අපි ඉන්නෙම දුර පළාතකනෙ. එනිසා අපිට සිද්ධ වෙනවා එක්කො නගරෙට ට්‍රිප් එකක් යන්න. නැත්තං ඉන්න දුර පළාත නොවන වෙනත් දුර පළාතකට යන්න. එහෙමත් නැත්තං නගරෙ ඉන්න යාළුවොන්ව ට්‍රිප් එකක් ගෙන්නගන්න ගෙදරට. වෙන මොනවා කරන්නද? ට්‍රිප් කිවුවමත් කේන්ති යන තවත් හේතුවක් තියෙනවා. ඒ ගැන ඊලඟට කියන්නං.
6. ගමනාගමනය
මේක තමයි කතාව. ට්‍රිප් යන්න වාහන හොයාගන්න එක දුෂ්කර ගමකදි තරමක් අවුල්. ට්‍රිප් යන්න නොවුණත් හදිස්සියකට වාහනයක් හොයාගන්න වගේම වාහනයක් යන්න පුළුවන් පාරක් හොයාගන්න එකත් අපේ අයියලා කැමතියි කියන ගෙවල් තියෙන මූකලානවලින් හොයාගන්න එක අමාරුයි. මෙහෙදි ගෙදරට යන්න තියෙන කිලෝමීටරෙත් ත්‍රීවීල් එකේ යන උන්දලා කොහේ කඳු බැහැලා ගෙදරට යන්නද? ඔන්න දවස් දෙකතුනකට යනවනං කමක් නෑ. කොහෙද ඉතිං, මෙයාලා කියන්නෙ හැමදාම ජීවත් වෙන්න තිබුනනං හොඳයි කියලනෙ.
7. පුරුදු පරිසරේ
මේක තමයි මේ වැඩේ අවුල්ම කෑල්ල. ඒ තමයි ඔය ඉතිං ෂෝක් කියලා ෆොටෝ එකක් දැකලා කිවුවට ඇස් වහගෙන වුනත් ඇවිදින්න පුළුවන් දශක තුනක් විතර ඇවිදපු පාරෙ පුරුද්ද මෙහෙම තැනකට ගියාම නැති වීම. අත පොවන මානෙ කඩයක්, කෑම බීම, අසල්වැසියෝ වගේ හැමදේම පුරුදු පරිසරෙන් එහාට ගියාම ඉබේම අහෝසි වෙනවා. ඉතිං මේ අපිට හුරු පුරුදු පරිසරේ නැතුව ජීවත් වීම හරිම අමාරු වැඩක් විත්තිය අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.
අපි කිසිසේත්ම ගැමි පරිසරයක ජීවත් වීමේ අවාසියක් හෝ අසාර්ථක බවක් දකින්නෙ නැහැ. නමුත් බොහෝ කාලයක් නගරබදව ජීවත් වෙලා එක්වනම ඔය කියන විදියෙ මැටි ගෙදරකට යනව කියල උජාරුවට කියන එක ප්‍රැක්ටිකල් නැහැ. ඒ බව ඔබේ හය හතර නොදත් මිතුරාට තේරුම් කරලා දෙන්න.
Leave a Reply