තමන්ගේ කොම්ෆෝර්ට් සෝන් එකෙන් එළියට එන්න උදව් වෙන ටිප්ස් කීපයක්!

How to get out of your comfort zone

දැන් හිතන්න අපි සැප කුෂන් පුටුවක හරි බරි ගැහිලා, බොහොම සැපපහසුවට වාඩි වෙලා ඉන්නවා කියලා. අපිට එතනින් නැගිටින්න හිතෙන්නෙ නැහැ නේද? සමහර වෙලාවට පොඩි බඩගින්නක් ආවත්, කුස්සියට ගිහිල්ලා කන්න දෙයක් අරගෙන එන්නවත් හිතෙනවද? නෑනේ. මොකද, අපි ඉන්නේ සුවපහසුවට වාඩි වෙලා, බොහොම සුවපහසු තැනක. ආන්න ඒ උදාහරණයත් එක්ක, යම් තාක් දුරකට කොම්ෆෝර්ට් සෝන්, නැතිනම් තමන්ගේ සුවපහසු ආරක්ෂිත කලාපය කියන එක ගැන අවබෝධ කරගන්න පුලුවන්. දැන් සාමාන්‍යයෙන් ගත්තොත්, අපි හැමෝටම තියෙනවා යම් කිසි කොම්ෆෝර්ට් සෝන් එකක්. ඒ කියන්නේ, අපි ඔන්න ජොබ් එකකට යනවා කියලා හිතමු. ජොබ් එකෙන් හොඳ පඩියකුත් හම්බෙනවා. අපිට සුවපහසුවට ජීවත් වෙන්න ඒ පඩිය ඉහටත් උඩින්. ඉතින් දැන් අපි හුරු වෙනවා ඒ ජොබ් එකට. ජොබ් එකේ එහෙම ගැටළුවකුත් නෑ කියමු. ආන්න එතකොට ඒක තමයි අපේ කොම්ෆෝර්ට් සෝන් එක. ඒක ඇතුළේ අපි ආරක්ෂිතයි, සුවපහසුවෙන් ඉන්නවා. ඒ නිසා, බිස්නස් එකක් කරන්න, වැඩි පඩියක් ලැබෙන, එහෙම නැතිනම් වෘත්තිය දියුණුවට ඉඩ ලැබෙන වෙනත් රැකියාවකට එහෙම යන්න අපි හිතන්නේවත් නෑ. තව උදාහරණයක් ගමු. සමහරු ඉන්නවා, කසාද බඳින්නත් අම්මලා තාත්තලා කෙනෙක් හොයලා දෙන්න ඕන. එහෙම හොයලා බැන්දට පස්සේ ඉතින් ගෙදරට වෙලා වැඩක් පලක් කරගෙන ඉන්නවා. හස්බන්ඩ් ගෙදරට අවශ්‍ය දේවල්, එයාට අවශ්‍ය දේවල් ඔක්කොම ගෙනැත් දෙනවා. ඒක තමයි ඒ කෙනාගේ කොම්ෆෝට් සෝන් එක. ආයෙ එතනින් එහාට තමන්ගේ හැකියාවක් වැඩි දියුණු කරගන්න, වෘත්තියක් කරන්න වගේ දේවල් හිතන්නේ නෑ. මොකද, එහෙම දේකට නම් කොම්ෆෝර්ට් සෝන් එකෙන් එළියට එන්න වෙන නිසා.

දැන් මෙහෙම කොම්ෆෝර්ට් සෝන් එකේ ජීවත් වෙනකොට සැපපහසුයි, ආරක්ෂාවයි තමයි. හැබැයි ඉතින් ජීවිතේ දියුණුවට, අපේ අත්දැකීම් වැඩි කරගන්න වගේ දේවල් වලට කිසිම දෙයක් කෙරෙන්නෙත් නෑ. එතකොට විශේෂයෙන්ම ඔය අපි පහුගිය කාලේ මුහුණ පාපු ආර්ථික අර්බුදය වගේ එකක් ජීවිතේට ආවහම, කොම්ෆෝර්ට් සෝන් එකේ හිරවෙලා ඉන්න අයට තමයි වැඩියෙන්ම බලපෑම දැනෙන්නෙත්.

ආන්න ඒ නිසා, අපි හිතුවා කොම්ෆෝර්ට් සෝන් එකෙන් එළියට ඇවිත් ජීවිතේ දිනන්න උපකාරී වෙන ටිප්ස් කීපයක් ගැන සඳහන් කරන්න.

01. නොදන්න දේට බය වෙන්න ඕනැද?

How to get out of your comfort zone

දැන් හිතන්න කෙනෙක් තමන්ගේ සුවපහසු, ආරක්ෂිත කලාපය ඇතුළේ ඉන්නවා කියලා. මේ කම්ෆෝර්ට් සෝන් එක ඇතුළේ සිද්ධ වෙන හැම දෙයක්ම කලින් අනුමාන කරන්න පුලුවන්. උදාහරණයක් විදියට කෙනෙක් සුවපහසුවෙන් තමන්ගේ ජොබ් එක කරනවා නම්, ඒ ජොබ් එක එක්ක සිද්ධ වෙන හැම දෙයක්ම කලින් දන්නවා. මාසේ පඩිය ලැබෙන දවස කලින් දන්නවා. වියදම් මොනවද කියන එකත් කලින් දන්නවා. හැබැයි මේ කම්ෆෝර්ට් සෝන් එකෙන් එළියට ගියහම, තමන්ට අනුමාන කරන්න බැරි දේවල් වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට, බිස්නස් එකක් පටන් ගත්තොත්, ඒ බිස්නස් එකෙන් ලාභ ලැබෙන්නේ කොයි මොහොතෙද, එහෙම නැතිනම් පාඩු සිද්ධ වෙන්න පුලුවන්ද කියන එක කලින් කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් මිනිස්සු මේ නොදන්න දේකට, තමන්ට කලින් අනුමාන කරන්න බැරි දේකට අඩිය තියන්න බයයි. ගඟට බහින්න බයයි ගඟේ කිඹුල්ලු ඉඳී කියලා. හැබැයි ඉතින් කිඹුල්ලු ඉන්නවද නැද්ද කියලා දැනගන්නත් ගඟට බහින්න වෙනවා. එහෙම නැතිනම් ඉතින් සදාකල් ගං ඉවුරට වෙලා ඉන්න තමයි වෙන්නේ. ආන්න ඒ නිසා, අපි මේ නොදන්න හැමදේකටම බය වෙන එක නවත්තගන්න ඕන. කම්ෆෝර්ට් සෝන් එකෙන් එළියට එන්න පළවෙනි පියවර තමයි ඒක.

02. නොදන්න දේ ගණනය කරමු

How to get out of your comfort zone

මේක දෙවෙනි කාරණාව. අපි කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න කියලා ගොන්නු වගේ ඕනම අවදානමකට මුහුණ දීලා හරියන්නෙ නෑ. ආන්න ඒකට තමයි අපිට ස්මාට් විදියට හිතන්න පුලුවන් වෙන්න ඕන. උදාහරණයක් විදියට, බිස්නස් එකක් පටන් ගන්න කලින්, අපිට පුලුවන් වෙන්න ඕන හැකි උපරිම මට්ටමකට ඒකේ වාසි සහ අවදානම ගණනය කරන්න. අවදානමට වුණත් මුහුණ දෙන්න ප්ලෑන් බී එකක් විතරක් නෙවෙයි, ප්ලෑන් සී එකක් පවා ලෑස්ති කරගන්න. ගඟේ කිඹුල්ලු ඉන්නවද නැද්ද දැනගන්න ගඟට බහින්නම ඕන වුණාට, අපිට පුලුවන් ගං ඉවුරේ ඉඳන් ගඟේ කිඹුල්ලු ඉන්නවද නැද්ද කියන එක දැනගන්න පුලුවන් කරුණු සාධක විශ්ලේෂණය කරලා බලන්න. එහෙම කරලා කිඹුල්ලු නැහැ කියලා ප්‍රමාණවත් ප්‍රතිශතයක විශ්වාසයක් ඇතිව ගඟට බහින්න. අහල තියෙනවනේ, සාමාන්‍ය මනුස්සයෙක් දකින්නේ ඊලඟ පියවර විතරයි. ස්මාට් මනුස්සයෙක් ඊලඟ පියවර තුන හතරම ගණනය කරලා බලනවා. සුපර් ස්මාට් මනුස්සයෙක්ට ඉදිරි පියවර දහයක් දොළහක් ඉස්සරහට දකින්න පුලුවන්!

03. තමන්ටම අභියෝගයක් වෙන්න

How to get out of your comfort zone

මේක ඉතින් ඕනම පොසිටිව් තින්කින් ඩයල් එකක් කියන සරල, පට්ට ගහපු කතාවක්. හැබැයි හරියට තේරුම් ගත්තොත් පෙරාපු ඇත්ත. කතන්දරේ මෙච්චරයි. තමන් තරඟ කරන්න ඕන, ලොකු ගාණක කාර් එකක් ගෙනාපු අල්ලපු ගෙදර මිනිහා එක්කවත්, ඉගෙනගෙන ලොකු රස්සා කරන තමන්ගේ ඉස්කෝලේ ක්ලාස්මේට්ස්ලා එක්කවත්, වේගෙන් ඉගෙනගනිමින් ජොබ් එකේ ඉස්සරහට යන ඔෆිස් එකේ යාලුවෝ එක්කවත් නෙවෙයි. ඔය කාටවත් තමන් කිසිම දෙයක් ඔප්පු කරලා පෙන්නන්න අවශ්‍ය නෑ. ඇත්තටම තමන් තරඟ කරන්න ඕන තමන් එක්ක. ඒ කියන්නේ, තමන්ට කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න ඉඩ නොදෙන තමන්ගේම බියගුළු ආකල්ප එක්ක. තමන්ට හීන හැබෑ කරගන්න කිසිම ඉඩක් නැති පෞරුෂයත් එක්ක. කිසිම දෙයක් ලොකුවට ඉගෙන නොගත්තු කම්මැලිකම වගේ නරක පුරුදු එක්ක. කොටින්ම කියනවා නම්, කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න, තමන්ටම චැලේන්ජ් කරන්න ඕන. තමන්ගේ නරක හදාගන්න චැලේන්ජ් කරන්න ඕන.

04. කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන පාර හඳුනගමු

How to get out of your comfort zone

දැන් ඔය කොම්ෆෝට් සෝන් (Comfort zone) එක තියෙනවනේ. ඒක ඇතුළේ තමන්ට බොහොම ආරක්ෂිතයි කියලා දැනෙනවා, තමන්ගේ පාලනය යටතේ දේවල් සිද්ධ වෙන්නේ කියලා හැඟෙනවා. ඒක බොහොම සුවපහසුයි කියලත් දැනෙනවා. දැන් කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න තීරණය කළොත්, ඊලඟට අඩිය තියන්න වෙන්නේ බිය දනවන කලාපයට (Fear zone). එතනදී අපි අනික් අයගේ අදහස ගැන තදින් හිතන්න පටන් ගන්නවා. අනික් අය හිතන දේ අනුව කටයුතු කරන්න හිතනවා. මෙතනින් ආයෙමත් කොම්ෆෝට් සෝන් එකට දුවන්න හේතු හදාගන්න හදනවා. කොටින්ම කිව්වොත් තමන්ට ආත්ම ශක්තියක් නෑ කියලා දැනෙනවා. හැබැයි මේ කියපු කාරණා ජය ගනිමින්, තමන්ගේ ගමන ස්ථිරව ගියොත්, ඊලඟට එන්න පුලුවන් තවත් තලයකට. මේකට කියන්නේ ඉගෙනුම් කලාපය (Learning zone) කියලා. මෙතනදී අර කලින් කලාපය සාර්ථකව ජයගන්න ලබාපු පන්නරයත් එක්ක, අභියෝග සහ ගැටළු එක්ක කටයුතු කරන්න පුලුවන්කම ලැබෙනවා. අළුත් කුසලතාවයන් ඉගෙන ගන්න පුලුවන් වෙනවා. ඒ එක්කම මේ කලාපයේ සුවපහසුවක් දැනෙනවා. දැන් තේරෙනවද වෙනස, ඇත්තටම කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ඇවිත් ඉස්සරහට යනකොට, ඇත්තටම ඒ එක්කම තමන්ගේ කොම්ෆෝට් සෝන් එකත් විශාල වෙලා, වර්ධනය වෙලා.

දැන් ඔතනින් යන්න පුලුවන් අවසාන කලාපයට. ඒ තමයි වැඩි වර්ධනය වීමේ කලාපය (Growth zone). මෙන්න මෙතනට එනවා කියන්නේ සාර්ථකව අර පටන් ගන්නකොට හිටපු පුංචි කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ඇවිත්, ජීවිතේට මුහුණ දෙන ගමන් තමන්ගේ කොම්ෆෝට් සෝන් එකත් වර්ධනය කරගෙන. දැන් තමන්ට බොහොම ස්ථාවර අරමුණක් තියෙනවා, හීන වලට ගිහින්, ඒ හීන ජයගනිමින් පවතිනවා කියලා දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වෙනකොට අළුත් අරමුණු, අළුත් හීන දකින්නත් පටන් අරගෙන තියෙනවා. කොටින්ම කියනවා නම්, ලෝකේ ඉන්න බහුතරයකට වඩා සෑහෙන්න උඩ තලයකට ඇවිත් තියෙනවා!

ඔන්න ඔහොම තමයි කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන පාර වැටිලා තියෙන්නේ!

5. තමන්ට කරන්න ඕන දේ හඳුනාගමු

How to get out of your comfort zone

මෙන්න මේක වැදගත්. කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එනවා කියන එක ඕනම විදියකට වෙන්න පුලුවන්. අවුරුදු ගණන් රස්සාවක් කර කර හිටපු මනුස්සයා ෆ්‍රී ලාන්සර් කෙනෙක් වෙන්න හිතන එකත් කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ඒමක්. ජීවිත කාලෙම අම්මලා කියන විදියට ජීවත් වෙලා, අන්තිමට තමන්ට ඕන රස්සාවක් කරන්න හිතන එකත් කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ඒමක්. අම්මලා කේන්දර ගලප ගලප එයාලට ඕන විදියට කසාදයක් කරලා දෙන්න ප්ලෑන් කරනකොට, දමලා ගහලා තමන්ගේ හිතට ෆිට් කෙනාව බඳින්න නිර්භීත වෙන එකත් කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ඒමක්. හැබැයි ඔය කොයි විදියට කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න වුණත්, ඇත්තටම තමන්ට කරන්න ඕන දේ හඳුනාගන්න ඕන. එහෙම නැතුව කේන්දර බල බල අවුරුදු ගණන් මැච්මේකින් කරන අම්මලාගෙන් ගේම ඉල්ලන්න ඕන කමට මොකෙක් හරි කසාද බඳින එක කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ඒමකට වඩා, මෝඩ විදියට අවදානමක් ගැනීමක්.

ආන්න ඒ නිසා, තමන්ට කරන්න ඕන දේ හඳුනාගන්න ඕන. ඒ කරන්න ඕන දෙය කොයි තරම් දුරට ප්‍රායෝගිකව සාක්ෂාත් කරගන්න පුලුවන්ද කියලා හිතලා බලන්න ඕන. අනාගතයේදී තමන්ට ආසාවෙන් ඒ දේ කරන්න පුලුවන් වෙයිද කියලා හිතලා බලන්න ඕන. අන්න එහෙම හිතලා තමන්ට කරන්න ඕන දේ සහ ඒක තමන්ගේ ජීවිතේට ගැලපෙනවද කියලා තේරුම් ගත්තට පස්සේ, ඊලඟ පියවරට යන්න පුලුවන්.

6. ප්ලෑනේ හැටියට වැඩේ කරමු

How to get out of your comfort zone

දැන් ඔය උඩ කියල තියෙන විදියට කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න නම්, තමන්ට ඇත්තටම කරන්න ඕන මොනවද කියලා හඳුනාගන්න ඕනේ. ඒක උඩ කියල තියෙනවනේ. දැන් එහෙම හඳුනාගත්තට මදි. තමන්ට කරන්න ඕන දේ සුපිරියටම කරන්නේ කොහොමද කියලා සුපිරි ප්ලෑනක් ගහන්න ඕනේ. අඩු ගාණේ මුලින් ටාගට් එකක් හදාගන්න ඕනේ. හරි මම බිස්නස් එකක් පටන් ගන්නවා. අවුරුද්දෙන් ප්‍රොෆිට් කරන ලෙවල් එකට ගේනවා. ප්‍රොෆිට් එක 10% ක් කියමු පටන් ගැන්මට. ඔන්න ටාගට් එකක්. දැන් ඔය ටාගට් එකට යන්න කරන්න පුලුවන් දේවල්, ඒකට යන වියදම, ඒකට අවශ්‍ය වෙන දේවල්, කරන්න ඕන දේවල් අරවා මේවා ඔක්කොම පිළිවෙලකට හදාගන්න ඕන. ඔය විදියේ ප්ලෑන්ස් හදාගන්න පුලුවන් ආකෘතීන් තියෙනවා. බිස්නස් ප්ලෑන්, ෆයිනෑන්ෂල් ප්ලෑන් වගේ දේවල්. ඒවා අපි ඉස්සරහට බලමු.

හැබැයි එක ප්ලෑන් එකක් හදලා ආතල් එකේ අවදානමක් අරගෙන කොම්ෆෝට් සෝන් එකෙන් එළියට යන එක කරන්න හොඳ නෑ. ගඟට බහින්න ප්ලෑනක් ගැහුවට, කිඹුල්ලු නෑ කියලා දැනුවත් උපකල්පනයක් කළාට, කොහෙන් හරි ආපු කිඹුලෙක් ගඟේ හැංගිලා ඉන්නත් පුලුවන්. අන්න එහෙම දෙයක් අවාසනාවකට හරි වුණොත් එතකොට ඒ කිඹුලට මුහුණ දෙන්නෙ කොහොමද කියලා ප්ලෑන් බී එකකුත් තියෙන්න ඕන. ගඟේ කිඹුල්ලු නැති වුණත්, හදිසියේ වතුර මට්ටම වැඩි වුණොත් කරන්නේ මොනවද කියලා ප්ලෑන් සී එකකුත් ඕන. කොටින්ම කියනවා නම්, මේ කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන ක්‍රියාවලියේදී තමන්ට මුහුණ දෙන්න වෙන්න පුලුවන් අනතුරු හැම එකක්ම හිතලා මතලා, ඒවලට කොහොමද මුහුණ දෙන්නේ කියලා බැක්අප් ප්ලෑන්ස් තියෙන්න ඕනා.

7. පොඩියට පටන් ගමු

How to get out of your comfort zone

මෙන්න මේක ඉතාම වැදගත්. දැන් අපි කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන පාර ගැන සෑහෙන්න දුරට කවර් කළා. අන්න එතකොට අපි ඕනම කෙනෙක්ට හෙන ගැම්මක් එනවනේ. ආයෙ හැමදාම වගේ එකම රවුමේ දුවන්න ඕන නෑ. එළියට එමු, ගේමක් ගහමු, සුපිරි ලෙවල් එකෙන් දියුණු වෙමු කියලා, හොඳ හුස්මක් එහෙම අරගෙන කෙනෙක් ආයෙ ග්‍රෑන්ඩ් ලෙවල් එකෙන්ම තමන්ගේ හීන වලට යන්න කියලා වැඩේ පටන් ගන්න පුලුවන්. ආන්න ඒක මාර නෑ. ඒක මෝඩයි. පටන් ගන්න ඕන පොඩියට. ඒ කියන්නේ තමන්ගේ ලෙවල් එකෙන් පොඩියට. මොකද, පොඩියට පටන් ගන්නකොට, ස්ථාවර තැනක් හදාගන්න ටිකක් කල් යනවා තමයි. හැබැයි ඒ ගමන ස්ථාවරයි. අහස් කූර වගේ උඩටම නැගලා, ලස්සනට පත්තු වෙලා පුෂ් ගාලා පොළවට කඩාගෙන වැටෙන්නේ නෑ. අන්න ඒ නිසා, උඩ කියපු ප්ලෑන් එක හදනකොට මතක තියාගන්න. පටන් ගන්න ඕන පොඩියට. එතකොට අවදානමත් සාපේක්ෂව අඩුයි. දැන් ටිකෙන් ටික එළියට එන්න ඕන. එතකොට කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන ගමනත් ස්ථාවරයි!

8. තමන්වම ඩිවලොප් කරමු

How to get out of your comfort zone

මේ තමන්වම ඩිවලොප් කිරීම නැතිනම් ස්වයං සංවර්ධනය කියන එක අපි Lifie.lk එකේ සෙල්ෆ් හෙල්ප් ආටිකල් සෑහෙන්න ප්‍රමාණයක කතා කරනවා. ඇයි මේ තමන්ව සංවර්ධනය කිරීම මෙච්චර වැදගත් වෙන්නේ? උත්තරේ සරලයි. තමන්ට දෙයක් කරන්න හැකියාවක් නැති නම්, කොම්ෆෝට් සෝන් එකේ ජීවිත කාලෙම හිටියත් ඉන්න තැනම තමයි. එතකොට ඇඩ්වෙන්චර් සීන් එකේ ඉන්නෙ කියලා කොම්ෆෝට් සෝන් එකෙන් එළියට ආවහම බඩුම තමයි! ආන්න ඒ නිසා, කොම්ෆෝට් සෝන් එකෙන් එළියට එන්න නම් තමන්වම සංවර්ධනය කරගැනීම අනිවාර්යයි. මේ සංවර්ධනය කියන්නේ එකක්, අළුතින් දේවල් ඉගෙන ගැනීම. අන්න එතනදී ආයෙ යන්න අංක හය ප්ලෑන් එකට. ප්ලෑන් එකේ තියෙන්නේ තමන්ගේම ඩිජිටල් සේවා බිස්නස් එකක් දියුණු කිරීම නම්, ඒකට තමන්ව දියුණු කරනවා කියලා හිතාගෙන විශාරද විභාගෙට ඉගෙන ගත්තට වැඩක් නෑ. ඒකට බිස්නස් ඇනලිටික්ස්, මැනේජ්මන්ට් වගේ දේවල් ඉගෙන ගන්න ඕන. එතකොට, තමන් ඉගෙන ගත්තු දේවල් ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන. එහෙම කරන්න අවස්ථා නැතිනම් අවස්ථා හදාගන්න ඕන. පුද්ගලිකව තමන්ව ශාරීරිකව සහ මානසිකව සංවර්ධනය කරගන්න ඕන. ඒකට සමබල ආහාර වේලක් ගැනීමේ, ජිම් යන එකේ ඉඳලා, තමන්ගේ හැසිරීමේ සහ සිතුවිලි වල තියෙන දුර්වලතා හඳුනාගෙන ඒවා සංවර්ධනය කිරීම දක්වා දේවල් ඇතුළත්. මේ හැරෙන්න ඉතින් ලොකේ අත්දැකීම් ගන්න ඕනේ. ඒකට පොඩ්ඩක් පොළවට පය ගහන්න ඕනේ. අන්න එතකොට, තමන්ට සංවර්ධනය වෙන්න, ශීඝ්‍රයෙන් පරිණත වෙන්න පුලුවන්. එහෙම වෙනකොට, කොම්ෆෝට් සෝන් එකෙන් එන්න තියෙන විභවය තවත් වැඩියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *