ඔබේ මංගල දිනයට වෙඩින් කේක් වෙනුවට මේ දේවල් දීලා බලන්න

බොරු කියන්න ඕනි නැහැ ඉතින් අපි වෙඩිමකට යන්නේ හොඳට කාලා බීලා එන්නනේ. ඔය අතරට එන වෙඩින් කේක් කෑල්ල හරි විශේෂයි. තමන්ට විතරක් නෙවෙයි අහල හත්පත්තුවකටම වෙඩින් කේක් බෑග්වලයි සාක්කුවලයි පුරවාගෙන යන අය ඉන්නවා. එහෙම කරත් ඇත්තටම වෙඩින් කේක් කන්නේ කීයෙන් කී දෙනා ද? සමහරු ඒ රහට ආසා නැති නිසා කන්නේ අර උඩින් තියෙන සුදු පාට තට්ටුව විතරයි. ඉතින් එහෙම නම් කේක් කෑල්ලක් අමුතුවෙන් වියදම් කරගෙන එකතු කරන්න අවශ්‍යතාවක් නැහැනේ. කොහොමහරි මේ දේ එක්ක දැන් දැන් වෙඩිම්වල ඔය කේක් කෑල්ල වෙනුවට වෙන දෙයක් දෙන්න පෙළඹීමක් තියනවා. මෙහෙම දේවල් කරලා බලන්න තරම් වටිනවා. සංස්කෘතිකමය වශයෙන් හානියක් වෙන්නෙත් නැති එකේ උත්සාහ කරලා බලන්න.

 

1. කප්කේක්

Image Source – myrecipes.com

වෙඩින් කෑල්ල වෙනුවට කප් කියලා එකක් ඉස්සරහින් ආදේශ වීමක් විතරක් නම් මෙතනින් වෙන්නේ නැහැ. අනික් කාරණේ තමයි කප්කේක් කිව්වයි කියලා හන්දියේ කඩේ තියෙන ඉස්පන්චි දුන්නට හරියන්නෙත් නැහැ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කප්කේක් එකක් වෙන්න ම ඕනි. හොඳ අයිසින් තට්ටුවකුත් එක්ක (උත්තර ගෝලේ හිම පතනෙ වගේ එපා ඉතින්) අලුත හදපු කප්කේක් කෑල්ලක් බෙදනවා කියන්නේ කාගේත් හිත සතුටු වෙන වැඩක්. දැන් හිතන්න බටර් නම් එහෙමයි, චොකලට් නම් එහෙමයි, දෙක ම නම් ඒත් එහෙමයි. ඔයිට අමතර ව විවිධ රසවලින් යුතු කප්කේක් තියනවා. වෙඩින් කේක් හදන්න උදවිය ඉන්නවනේ. ඒ වගේ ම කප්කේක් හදන අයත් ඉන්නවා. නිකන් කඩේකින් ගිහින් ගන්නවට වඩා හෝම් බේකරි සිස්ටම් එකේ බිස්නස් එකක් කරන් ඉන්න කෙනෙක්ගෙන් ගන්න පුළුවනි නම් පංකාදුයි. වෙඩින් කේක් දෙනවා වගේ ම සුකුරුත්තමක් අස්සට දාලා දෙන්නයි තියෙන්නේ.

 

2. රසකැවිලි මල්ල

Image Source – pinterest.com

සුද්දගේ රටේ හැලෝවීන්වලට ගෙයින් ගෙට ගිහින් රසකැවිලි ඉල්ලනවා චිත්‍රපටවල දැකලා ඇති. එහෙම ගිහින් කොල්ලෝ කුරුට්ටෝ රසකැවිලි ටික දාගන්නේ ලොකු මල්ලකට. ඒ තරම් පත මල්ලක් නොවුණත් රසකැවිලි කීපයක මිශ්‍රණයක් විදියට පුංචි පාර්සලයක් දෙන්න පුළුවන් නම් හරි චුවීට් අප්පා. චොකලට්, ටොපී, චුයින්ගම් වගේ දෙවල් දාලා (හැබැයි ඉතින් ඩෙල්ටා ටොපි එහෙම දාන්න එපා). මේක ඇවිල්ලා වෙඩිමක් නිසා දෙකයි පනහේ රසකැවිලි මානසිකත්වයෙන් මිදෙන්න වෙනවා. පිටකොටුවේ පොඩ්ඩක් ඇවිද්දා නම් දිව්‍යලෝක වගේ රසකැවිලි කඩ තියනවා. ඒවා මේ රටේ වගේ නම් පේන්නේ නැහැ. අන්න එහෙම විච්චුර්ණ ගතියක් තියෙන රසකැවිලි ටිකකුයි දෙන්න ඕනි. මේවා බහාලන උරේ ගැනයි ඊළඟට සැලකිලිමත් විය යුත්තේ. නිකන් ම පොලිතින් උරයක දාලා දෙන්නේ නැතුව වෛවාරණ ඩිසයින් එකක් තියෙන පැකට් ටිකක් මුලින් හදාගන්න වෙනවා.

 

3. පැළ

Image Source – mywedding.com

කන්න ලැබෙන දෙයක් නම් නෙවෙයි ඊටත් වඩා වටිනා දෙයක්. මේක ජීවිත කාලෙටම පවතින මතක සටහනක් වෙන්න පුළුවන්. කැක්ටස්, බොන්සයි වගේ ඒවයෙන් පටන් අරගෙන සඳුන් පැළ, පොල් පැළ දක්වා මේ පැළ කතාව දුවනවා. ඊට අමතරව ලංකාවේ තියෙන බෙහෙත් පැළයක් හෝ පලතුරු පැළයක් දෙන්න පුළුවන්. එහෙම වුණාම වෙඩිමට ආපු අයට වගේම නොආපු අයටත් සෙතක් වෙනවා. එක පවුලකට එක පැළයක් ගානේ දුන්නම සමහරවිට කෑමවලට වඩා වියදම අතින් වුණත් අඩුයි. හැබැයි ඉන් ලබන දේ ඒ මුදල් එක්ක අලගු තියන්නවත් බැහැ.

 

4. කේක් ජාර්

Image Source – sugarhero.com

කළමනා විදියට ඉස්සෙල්ලාම එකම විදියේ ජෑම් බෝතල් වගේ ජාර් ටිකක් හොයාගන්න ඕනි. අඩු ගාණට එකම තැනකින් මෙහෙම දේවල් ගන්නවා නම් ඉතින් පිටකොටුව තමයි ලොවෙත්. ඊට පස්සේ මේ හැමකක් ම ආවරණය කරන්න බේබි රිබන් සහ නෙට් අවශ්‍ය පමණට ගන්න වෙනවා. මේ කළමනා හදාගත්තට පස්සේ තමයි අන්තර්ගතය ගැන හිතන්නේ. සමහරු ලේයර්ස් කීපයක පුඩින් එකක් දානවා. තවත් අය ගැටෝ කේක් දානවා. මේවා කොරගන්න එක අමාරුවක් නම් වගේ ම සල්ලිය භාගය තියෙනවා නම් මේ දේවල් කරලා දෙන්න හෝම් බේකරි බිස්නස් කරන කෙනෙක්ට භාර දෙන්න පුළුවන්. හැබැයි ඒ වියදම අඩු කරලා ගැටෝ එක විතරක් එහෙම පිටතින් ගන්න එක තමයි හොඳ.

 

5. සබන්

Image Source – lovinsoap.com

හරි ඉතින් හිනා වෙන්න එපා මේකත් අද කාලේ වෙඩිම්වල තියන අලුත් කැටයමක් තමයි. ඇත්තට ම විහිළුවක් වෙන්නේ සබන් දෙනවයි කියලා සන්ලයිට් කෑලි, බේබි සබන්  පිටින් බෙදුවොත් තමයි. එහෙම නැතුව හෑන්ඩ් මේඩ් සබන් හදන අය ඉන්නවා. එයාලාට කියලා තමන්ට අවශ්‍ය හැඩයෙන් කැමති දේවල් සඳහන් කරලා සබන් හදවගන්න පුළුවනි. ඊට පස්සේ ඉතින් මේක ලස්සනට අසුරාගන්න ඕනි. එතනයි ට්‍රික් එක තියෙන්නේ. මේ සබන් කැටයක් ද කියලා නොහිතෙන තරමට අසුරලා බෙදලා දෙන්න.

 

6. ජෝර්දාන් ආමන්ඩ්

Image Source – ohnuts.com

කොට්ටම්බා ඇටේ වගේ තියෙන ආමන්ඩ් වෙළඳපොළේ දැකලා ඇති. ඕක නිකන් ම කන එක වෙන ම ආතල් එකක්. හැබැයි වෙඩිමට දෙන්න ඕනි සරුව පිත්තල පාටට මෙහෙමයි. අපි චොකලට් බෝල කනවනේ. එතන දී රටකජ්ජ චොකලට් ආවරණයකින් වැහිලා තියෙන්නේ. ඒ වගේ මේ ආමන්ඩ් විශේෂය වෙන ම කැන්ඩි තට්ටුවකින් ආවරණය වෙලයි තියෙන්නේ. පාට පාටින් හදාගන්න පුළුවන් ආසාවේ බැහැ ඉතින්. ඕක හැමෝට ම කරන්නත් බැහැ ඒ ලස්සන පාට වැටෙන්න. මේවා මහා පරිමාණයෙන් ඕඩර් අරගෙන කරන අය ඉන්නවා. ජෝර්දාන් ආමන්ඩ් සංකල්පය ඉතාලියේ ඉතාමත් සුලබයි. කලින් රසකැවිලි මල්ලට වගේ ආමන්ඩ් 5ක් දාලයි දෙන්නේ. ඒක සුබයි කියනවනේ.

 

7. බ්‍රවුනීස්

Image Source – hersheys.com

බැලුවම නම් අර උඩ ලේයර් එක නැති වෙඩින් කේක් කෑල්ලක් වගෙයි. ඒත් ඉතින් කෑවම තමයි පිස්සු කොර වෙන්නේ. එදිනෙදා ගෙවල්වල පවා හදාගන්න බ්‍රවුනීස් කෑල්ලක් ලස්සනට ඔතලා දෙනවා නම් ආය මුකුත් ඕනි නැහැ ඒ වෙඩිම ගැන කල්පාවසානය තෙක් කතා කරයි. හෝම් බිස්නස් එකකින් ඕඩර් කරනවා නම් අතමිට සරුවට තියෙන්න ඕනි. ඒ නැතත් බ්‍රවුනිස් ගෙදර ඉඳන් හදන්නත් පුළුවන්. හැබැයි වෙඩින් කේක් දාලා දෙන සාම්ප්‍රදායික විදියට මේක අහුරන්න ගියෝතින් වැදගත්කම නැති වෙලා යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *