ලියන වැඩේට බොහෝමයක් අය අකමැතියි. ඇත්තටම මේ සටහනේ ලියුම්කරුවාට වුනත් නිතරම එල්ල වෙන ප්‍රශ්නයක් තමයි ඇයි ඔච්චර අමාරු දෙයක් රස්සාව විදියට තෝරගත්තෙ කියන එක. ඒක ඉතිං ලියුම්කරුවාගෙ රස්සාව නිසා මහ විශේෂයක් නොවුනත්, බොහෝදෙනෙක් ලියනව කියන දේ දිහා ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම බලන්නෙ අවුලකින්. ඒක ඉතිං එක එක්කෙනාගෙ රස්සාව නිසා තමුන්ට හුරු වෙන දෙයක් වුනත්, කොයිකාටත් ලියන්නෙක් වෙන්න පුළුවන්නං ඒක තමුන්ට වගේම අනුන්ටත් හොඳයි. මුළු ලෝකයේම මිනිස්සු ලියන තරමට මිනිසුන් අතරේ ජීවිතය දැනෙන හැටි සහ මැවෙන හැටි දැනගන්න පුලුවන් වෙනව. ඒ නැතත් ඔලුව ඇතුළෙ හිරවෙච්ච දේවල් එළියට දාගන්න පුළුවන් මාධ්‍යයක් විදියටත් ලිවිල්ල දක්වන්න පුළුවන්.
1. මාධ්‍ය වැදගත් නෑ
සමහරු ලියන්න අකමැතිවෙන්නෙ ඒවා කියෙවුවම අනිත් අය හිනාවෙයි කියල හිතලයි. හැබැයි ලියන්න මාධ්‍යයක් අදාළම නෑ. පෙම්වතියට ලියන්න ලියුමක්, තමුන්ට ලියන්න පුළුවන් ඩයරියක්, අම්මලා ඩයරිය කියවයි කියල හිතනවනං ලියන්න එවර්නෝට් එකේ පාස්වර්ඩ් එකක් දාගෙන, කට්ටිය කියවනවට ආසා වුනත් තමුන් ගැන දැනගන්නවට ලැජ්ජයිනං ලියන්න අන්වර්ථ නමක් දාගෙන බ්ලොග් එකක්, ප්‍රසිද්ධ වුනත් කමක් නෑ කියල හිතෙනවනං පත්තර, වෙබ්, බ්ලොග් වගේම ෆේස්බුක් එකත් හොඳ ඉඩක්. වැදගත්ම දේ තමුන් විතරක් හෝ කියවන්න හිතාගෙන ලියන්න. ලියන්නෙ කවියක්ද කතාවක්ද කියලත් අදාළ නෑ, නීති රීති තහංචි දාගන්න ඕනෙත් නෑ. තමුන්ගෙ නිදහස. තමුන්ගෙ කන්ටෙන්ට්. තමුන්ගෙ ස්ටයිල් එක.
2. තමුංව හැඩගස්වගන්න
එක දෙයක් මතක තියාගන්න. කිසිම කෙනෙකුට ලියන්නෙ කොහොමද? සිතුවිලි මවාගන්නෙ කොහොමද? කියන එක උගන්වන්න බෑ. ඒක පුද්ගලානුබද්ධයි. හැකියාව තියෙන්නෙ ලියන්න උවමනා කරන මූලිකාංග සහ ලියන්න පුළුවන්ද බැරිද කියල හිතෙන අවිනිශ්චිත බව හිතෙන් ඇරගන්න එක උගන්වන්න විතරයි. එනිසා තමුංගෙ විචාරකයා තමුංම වෙන්න. නිර්දය විදියට තමුන්ගෙ වැරදි දකින්න. තමුන් ලියන දේවල අදහස කියවන මනුස්සයට හරියට යනවද? මේක මීට වඩා ලස්සනට ලියන්න පුළුවන් කොහොමද? මේ ලියපු ටික ෆ්‌ලෝ එකක් ඇතුව ලියන්නෙ කොහොමද? මේක කියවද්දි කියවන මනුස්සය අපහසුවෙන් පැටලිල්ල ලිහාගන්න ඕනද කියල තමුන්ම තීරණය කරන්න. තමුන් ලියාගෙන ගිහින් අනුන්ට කොළ පෙන්නන්න එපා.
3. හොඳ දේ කියවන්න
අනිවාර්යෙන්ම තමුන්ට අවංක, හිතට එකඟ තීරණයන් ගන්න පුළුවන් මනුස්සයෙකුට ලියන්න පුළුවන්. එහෙම කියන්නෙ හේතුවක් ඇතුව. එහෙම මනුස්සයෙකුට තමයි ඉස්සෙල්ල අපි කියපු විදියට තමුන්ව නිර්දය විදියට විවේචනය කරගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම එහෙම අයට තමයි හොඳ දේ තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත්. තමුන් කියවන්නෙ සිංහල නවකතාද, ඉංග්‍රීසි කවිද කියන එක අදාළම නෑ. ජේන් ඔස්ටන් ලෝක පූජිත වුනා කියල එයා තමුන්ටත් උත්තම චරිතයක් වෙන්න ඕන නෑ. තමුන්ට කියවන්න හොඳ දේ තමුන්ට තෝරගන්න හැකියාව තියෙන්න ඕන. ඕනම පොතක් ෆීල් වෙන්නෙ නැත්තං කියවන එක අතාරින්න. වැඩිපුර කියවන මනුස්සයට ලැබෙන පරිචය ඉහළයි. ඒ වගේම විවිධ රචනා ශෛලීන් අහුවෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වගේම එකම දේ විවිධ විදියට ලියන විදිය දැනගන්නත් පුළුවන්. අනිත් අතට හිතට අල්ලන දේ තවතවත් කියවීමෙන් සුළු සුළු වෙනස්කම් ග්‍රහණය වේවි.
4. ජීවිත ගැන කියවන්න
මිනිස්සු ආසයි ලෝකය අඳුරෙ ගිලිලා තියෙන වෙලාවට ඒකට පණ දෙන්න එන සුපිරි වීරයො ගැන කතා කියවන්න. මායා ලෝක, අඟුටුමිටි දූපත්, කතා කරන කුරුල්ලො, ඩයිනෝසර් යුග, විහිළු කතා, භූත කතා කියවන්න මිනිස්සු කැමතියි. හැබැයි තමුන්ගෙ ඇතුළෙ ඉන්න ලියන්නව එළියට ගන්න ආසා කරන මනුස්සයෙක් තරමක් දුරට ඒවායින් මිදිලා ජීවිත ගැන කියවීම වටිනවා. වඩා යථාර්ථය ගැන ලියපු මිනිස්සුන්ගෙ කතා කියවන්න. ජීවිත කතා, අත්දැකීම් කියවන්න. විවිධ චරිතවල ඇතුළ කියවන්න. පොලිස් නිලධාරීන්, දොස්තරලා, බේබද්දො, හොරු ගැන කියවන්න. ඔවුන් ඔබට මට හමුවෙන ලෝකෙ ඉන්නවා. ඔබ කවදා හෝ ලියන කතාවෙ වඩා සිත් ඇදගන්නා සුළු කොටසක් හොරා විසින් නිරූපණය කරාවි. පොත්ම කියවන්න ඕන නෑ. ෆිල්ම් බලන්නත් පුළුවන්.
5. ජීවිතය කියවීම
ජීවිත ගැන කියවලා තත්‍ය ලෝකය ගැන අදහසක් ගත්තම හැකි තරම් පාරට බහින්න. අඩුම තරමෙ බස් එකේ කෝච්චියෙදිවත් ස්මාට්ෆෝන් එකෙන් මිදෙන්න. ඉයර්ෆෝන් ගලවන්න. කාටවත් කියන්නවත්, අනිත් මිනිස්සුන්ගෙ තරාතිරම් මනින්නවත් නොයා හොඳ ඕපාදූප සොයන්නෙක් වෙන්න. අත්දැකීම් එකතු කරගන්න. සෑම වෘත්තිකයෙක් දිහාම හොඳින් බලන්න. ඔවුන්ගේ දින චරියාව ඒ ඒ මොහොතෙදි වෙනස් වෙන හැටි ගැන හිතන්න. දරදඬු තරුණ පොලිස් නිලධාරියෙක් තරුණියක් ඉදිරියෙ හැසිරෙන විදිය, වෙළෙන්දො තමන්ගෙ බඩු චාටුවෙන් මිනිස්සුන්ගෙ ඇඟේ ගහන්න හදන විදිය දිහා බලන් ඉන්න. ටිකක් කල් බලාගෙන ඉද්දි පොකට්කාරයො ගොදුරකට කිට්ටු කරන හැටි, බස්වල ටර්න් එක දිනාගන්න ගහන ගේම, පැත්තෙ චණ්ඩින්ගෙ ගෝලයො කඩවල්වලින් කාටත් නොපෙනි කප්පං ගන්න හැටි දකින්න හැකියාව ලැබේවි.
6. සපත්තු දෙකට බහින්න
එළිපහලියෙ දකින ජීවිත එහෙම්ම හිතින් අතෑරලා එන්න එපා. ඔබේ කොළයත් පෑනත් අසළ හෝ ඩිජිටල් තිරය අසලදී ඒවාට පණ දෙන්න. දැකපු දේට එහායින් හිතන්න. ඒ ඒ චරිතවල සපත්තු දෙකට බහින්න. තරුණියට ඇඟෑලුම් වුණු තරුණ පොලිස් නිලධාරියා තමන්ගෙ බිරින්දෑට සවසට කන්න කේක් කෑල්ලක් අරගෙන යන හැටි මවාගන්න. චාටුවෙන් බාල බඩු මිනිස්සුන්ගෙ ඇඟේ ගහල විකුණපු පේමන්ට් වෙළෙන්දා තමන්ගෙ දරුවාට හොඳම දෙළුම් ගෙඩිය තෝරගන්න වෙහෙසෙන හැටි ගැන හිතන්න. පොකට් ගහපු සල්ලිවලින් කුඩු ඇද්දට පස්සෙ තමුන්ගෙ ලෙඩ අම්මට බෙහෙත් අරන් දෙන්න සල්ලි මදිවෙච්ච, රතුවෙලා ගිළුණු ඇස් ඇති පුතෙක් ගැන හිතන්න. හිතෙන හැමදේම ලියන්න. පස්සෙ තමුන් තමුන්ගෙ විචාරකයා විදියට ඒවා හරිගස්සන්න.
7. සරලව කෙටියෙන්
හැමදාම ලියන්න. නොනවත්වා ලියන්න. කම්මැලි හිතුනොත් කම්මැලිකම ගැන ලියන්න. බොන්න හිතුනොත් බීමත්කම ගැන ලියන්න. එකම දේ කියවන්න එපා. එකම කෑම එක කන්න එපා. එකම විදියෙ කාලසටහනකට හැඩගැහෙන්න එපා. වෙනස් වෙන්න අත්දැකීම් වැඩිකරගන්න. අවශ්‍ය තරමට අත්දැකීම් ලැබුනම උවමනා තරම් නිදහසකින් ලියන්න පුළුවන් හැකියාව ලැබේවි. ප්‍රධානම දේ ලැජ්ජා වෙන්නෙපා. යමක් ගැන තමුන්ගෙ හැඟීම් එළියට දාන්න ලැජ්ජ වෙන්නෙපා. සමාජය අකමැති දෑ කියල හිතෙන දේවල් නොලියා ඉන්න එපා. කිසිවකට වහල් බවක් තියාගන්න එපා. ඒ වගේම ලිවීම ගැන කිසිවකුගෙන් ඉගෙනගන්න යන්නෙපා. ලිවීම මූලිකාංග සහ අදහස් අවුස්සාගැනීම හැරෙන්නට අනිත් කිසිවකුගේ රාමුවකට කොටුකරගන්න එපා.
Cover Image Source – medium.com
Leave a Reply