රුපියල් දෙකයි පනහක වැටුපකට වසරක්ම කතරගම දෙවියන්ට ආවඩන ආලත්ති අම්මලා

දෙවියන් ගැන කියද්දි ඉන්දියාවේදී නම් දේවදාසියන් ගැන කියවෙනවා. ඒත් දේවාල සම්බන්ධ කාර්යයන් ඉටු කළත් අපේ ආලත්ති අම්මලා සහ ඉන්දීය දේවදාසියන්ගේ කාර්යභාරයන් කිසිසේත් සමාන නැහැ. අපේ ආලත්ති අම්මලා දෙවියන්ට ආශිර්වාද කිරීමේ රාජකාරිය රජ කාලේ පටන් මේ දක්වා අඛණ්‌ඩව කරගෙන එනවා. ආලත්ති කියන්නේ ආවැඩීම හෙවත් ආශීර්වාද කිරීම යන අදහස. ඉතින් මේ ආලත්ති අම්මලා ගැන අපි කරුණු ටිකක් දැනගමු.

 

1. ආලත්ති බෑම

ආලත්ති බෑම යනු ආශිර්වාද කිරීමයි. පැරණි සිංහල රජවරුන් කාලයේ රජවරුන්ට උදේ සහ දවල් ආහාර කිසට පෙර ආශීර්වාද කිරීමේ චාරිත්‍රයක් තිබුනා. එසේම ඒ කටයුත්තේ යෙදෙන ගැහැණු පාර්ශවය එකල පටන්ම ආලත්ති අම්මලා ලෙස හැඳින්වුණා. මෙය කතරගම දේවාලයේ තවමත් දෙවියන් උදෙසා ක්‍රියාත්මක වන චාරිත්‍රයක්. ආලත්ති බෑම මහනුවර දේවාල සහ දළදා මාලිගාවේද පෙරහැර කාලයට සිදුකරනවා. පෙරහැර අවසානයේ ආලත්ති අම්මලා ආයුබෝව්වා යැයි ආලත්ති බෑම සිදුකරනවා. මහනුවර දළදා පෙරහැරේ රන්දෝලි පෙරහැර අවසානයේද ආලත්ති අම්මලා දෙදෙනෙක් ගමන් කිරීමේ චාරිත්‍රයක් තියෙනවා.

 

2. වල්ලි අම්මා සහ කඳ කුමරු

කඳ කුමරු යනු කවුරුන් වුවත් ඔහු කතරගමට ඉන්දියාවෙන් පැමිණි යම් බලගතු පුද්ගලයෙක් බව ජනප්‍රවාද වලින් පෙනී යන කරුණක්. එහිදී දෙවියන්ටම බාරිය වීමට කැපවූ වල්ලි අම්මා ස්කන්ධ කුමාරයා විසින් සහේට ගන්නවා. එතැනදී කතරගම වැදි පරපුරක හැදී වැඩුන වල්ලි අම්මාට එතෙක් ආවතේව කළ වැදි අම්මාවරුන් තමන්ට රාජකාරියක් පවරන්නැයි ඉල්ලා තිබෙනවා. ඒ අවස්ථාවේදී කඳ කුමරු දිවි ඇතිතෙක් ඔහුට ආශිර්වාද කරන්නට මේ අම්මලාට පවරා තිබෙනවා. ඒ වැදි පරපුරෙන් පැවත එන නිසා වැදි ඇඳුමට සමාන ඇඳුමකින් අදටත් ආලත්ති අම්මලා කතරගම දෙවොලේ පුද පූජා වලට සහභාගී වෙනවා.

 

3. කතරගම ආලත්ති අම්මාවරුන්ගේ සුදුසුකම්

කතරගම දෙවොලට අනුයුක්තව සේවය කරන ආලත්ති අම්මාවරු දොලහකි. එයින් දෙදෙනෙක් ගුරුන්නාන්සේලා ලෙස සැලකේ. ආලත්ති අම්මාවරියක් වීමට නම් කුල පරම්පරාව මූලික සාධකයක්. කතරගම හඳුන් ඔරුව ගමේ ගොයිගම කුලයේ කාන්තාවන් වැඩි වශයෙන් ආලත්ති අම්මාවරුන් බවට පත්වන්නේ කුල පරම්පරාවෙන් ආ රාජකාරියක් වන නිසාවෙනි. හඳුන් ඔරුව ගම දුටුගැමුණු රජතුමාගේ කාලේ පටන්ම ආලත්ති අම්මාවරුන්ගේ පරවේණි භුක්තියට කැප වී ඇති ගම්මානයකි. කතරගම දේවාලයට අයත් ආලත්ති අම්මාවරුන් පුහුණු කිරිම සහ ඔවුන් ඉවත්කිරීමේ බලය ප්‍රධාන ආලත්ති අම්මා සතු වුවත්, සම්පූර්ණයෙන් ඒ ගැන තීරණ ගැනීමේ අයිතිය දේවාලයේ ප්‍රධාන කපු මහතා සතු වේ. අලුත් ආලත්ති අම්මාවරුන් දේවාලටය පත් වීමට ප්‍රථමයෙන් ගෙවදීම නම් චාරිත්‍රයක් පැවැත්වෙන අතර කපුරාලලා මෙන්ම දේවාලයේ දේවකාර්යය නියම වූ සේවකයෝ සියල්ලෝම මුලින්ම සේවාවට එළැඹීමට ප්‍රථම ගෙවැදීම අනිවාර්ය වේ.

 

4. ඔවුන්ට පැවරුණු රාජකාරි

සෑම දිනකම දෙවියන්ගේ තේවාව පැවැත්වෙන අවස්ථාවල පහන්තිර රැගෙන යාතිකා කියමින් දෙවියන්ට ආශීර්වාද කිරීමට ආලත්ති අම්මලා කැපවී සිටී. සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන නානුමර මංගල්‍යයට සහාය වීමට මැණික් ගඟෙන් දිය ගෙන ඒමද ආලත්ති අම්මලා සිදුකරති. පෙරහැර හා උත්සව කාලයට පෙරහැරට ආශිර්වාද කිරීම හෙවත් ඇද්දුම බෑම පැවරී ඇත්තේ මේ ආලත්ති අම්මලාටය. දිනපතා පැවැත්වෙන තේවාවන් සඳහා ආලත්ති අම්මාවරු දෙදෙනකු සම්බන්ධ වේ. තේවාව අවස්ථාවේදී දෙවොල තුළට ගියහොත් දවුල් නද මැද්දේ දොහොත් මුදුන් තබා ආලත්ති අම්මාවරුන් දෙවියන්ට ආශිර්වාද කරන අයුරු දැකබලාගත හැකිය.

 

5. පෙරහැරේ ආවඩන ආලත්ති අම්මලා

කතරගම මහ පෙරහැරේ දේවාභරණ වඩම්මන හස්තියාට පිටුපසින් පැරණි වැදි තාලයට ඇඳ පැළඳගත් ආලත්ති අම්මලා ගමන් කරනවා. මොවුන් දෙවියන්ගේ දේවාභරණ පෙරහැරේ වැඩමවන්නට එළියට ගන්නා අවස්ථාවේ මෙන්ම අවසානයේ පෙරහැර දේවාලය වඩමවන අවස්ථාවේදීද දෙවියන්ට ආශීර්වාද කරනවා. පූජා අවස්ථාවලදී ආලත්ති අම්මාවරුන් “කප්පන් තිරයකට කාලයකට, ඉරහඳ පවතින තාක් ආයුබෝවේවා ” යැයි දෙවියන්ට ආශිර්වාද කරනවා.

 

6. වැටුප

මේ ආලත්ති අම්මලාගේ වැටුප වර්ෂයකටම රුපියල් දෙකයි ශත අසූවකි. ඒ මුදල පුරාණ කාලයේ සිට නියම වූවකි. ආලත්ති අම්මලාට මීට අමතරව නින්ද ගම් ආදියේ භුක්තිය හිමිය. එහෙත් අද වනවිට ඒ නින්දගම් ආදිය වෙනත් පාර්ශවයන්ට අයිති වී ඇති නිසා ඔවුන්ට ඒවායේ කොටස් ලැබෙන්නේ නැහැ. එහෙත් දේවාලයට සම්බන්ධ කුඹුරු වලින් වී හාල් ආදිය ආලත්ති අම්මලාට ලැබේ. කතරගම දෙවියන් වෙනුවෙන් කරන පූජාවන් ඉතා පිරිසිදුව පේවී, කැපවීමකින් කරන මේ ආලත්ති අම්මලා පුරාතනයේ සිට තමුන්ගේ රාජකාරිය නොපිරිහෙලා ඉටුකරති.

 

7. ආලත්ති අම්මලාගේ අනාගතය

දැනට සිටින ආලත්ති අම්මලාගෙන් බහුතරය මැදිවිය ගත කරන අය වෙති. ඔවුන්ගෙන් පසුව මේ තනතුර ඉදිරියට පවත්වාගෙන යෑමට සිය දියණිවරුන්ට පැවරීමට ආලත්ති අම්මලා අදහස් කරගෙන සිටිති. බස්නායක නිලමේතුමා සහ ප්‍රධාන කපු මහතා විසින් කතරගම දේවාලයේ ආලත්ති අම්මලා වෙනුවෙන් යම් යම් ප්‍රදානයන් කිරීමටද තීරණය කර තිබුණා. කෙසේ වෙතත් සිරිත් විරිත් හැම දෙයක්ම අලුත් වෙන යුගයක ඒ යුගයට ගසා ගෙන නොගොසින් දෙවියන් වෙනුවෙන් ආශීර්වාද කරන්නට සැදී පැහැදී ඉන්න ආලත්ති අම්මලා කතරගම දේවාලයේ පුද පිළිවෙත් ඉදිරියට ගෙනියන්නට ලොකු දායකත්වයක් දෙනවා.